දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“චන්ද්‍රිකා මැතිණිය 1964 ජූලී 1 දා ලංඩන් හීත්‍රෝ ගුවන් තොටුපලේදී,අගමැති සිරිමාවෝ මැතිනිය සමග පොදු රාජ්‍යය මණ්ඩලීය නායක හමුවට එංගලන්තයට ගිය අවස්තාවක ගත් ඡායාරූපයකි” යනුවෙන් සඳහන් කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ඡායාරූපයක් සහිත සටහනක් හිටපු අමාත්‍යවරයකු විසින් තම නිල ෆේස්බුක් ගිණුමේ පල කර තිබුණේ මෙලෙසින්.


මෙම ඡායාරූපය සත්‍ය වශයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය පෙනී සිටින 1964 වසරේ ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපලේදී ලබා ගත් ඡායාරූපයක් ද යන්න පරීක්ෂා කිරීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
1964 වසරේ ලන්ඩන් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව (Commonwealth Prime Ministers’ Conference) 1964 ජූලි 08 වන දා සිට 15 වන දා දක්වා පැවැත්වුණු අතර ඒ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 18 ක නායකයින් සහභාගී විය.
පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ නිල ලේඛනාගාරය (The Commonwealth) මගින් 1964 සමුළුව අවසානයේ නිකුත් කළ නිල ප්‍රකාශය මෙතනින්. එහි සහභාගී වූ රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව Ceylon යනුවෙන් සහ සහභාගී වූ රාජ්‍ය නායකයා වශයෙන් සිරිමාවේ බණ්ඩාරනායක මැතිනියගේ නම සටහන් වී ඇත්තේ මෙලෙසින්.

එසේම මෙම රාජ්‍ය තාන්ත්‍රික ගමන සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සහභාගී වී ඇත්ද යන්න පරීක්ෂා කිරීම සඳහා අප විසින් 1964 පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින්ගේ සමුළුව සඳහා සහභාගී වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පෙනීසිටින ජායාරූප අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කළ අතර එහිදී හමුවූ 1964 වසරේ ජූලි මස 06 වන දින ලන්ඩනයට පැමිණි අගමැති සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය සහ ඇගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය පෙනී සිටින ඡායාරූපයක් මෙතනින්.

සිරිමාවෝ මැතිණිය සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය 1964 ජූලි 6 වනදා ලන්ඩනයට පැමිණි අවස්ථාව දැක්වෙන “Evening Standard” පුවත්පත සඳහා ලබාගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ඡායාරූපයක් gettyimages හි මෙලෙස පල කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය සහ මෙම ඡායාරූපය අතර සමාන බවක් දර්ශනය වන නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය මුල් කළු සුදු ඡායාරූපය වෙනස් කරමින් වර්ණ යොදා නැවත ප්‍රතිනිර්මාණය කර ඇති බවක් නිරීක්‍ෂණය කල හැකියි.
AI සහාය මෘදුකාංග භාවිතයෙන් වැඩිදියුණු කර, සංස්කරණය කර හෝ ප්‍රතිසාධනය කර ඇති ඡායාරූපයක්
එසේම අප විසින් අදාල ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් ද යන්න සහ එහි SynthID ජල සලකුණ අන්තර්ගත වන්නේද යන්න Google Gemini ඔස්සේ පරීක්ෂා කළ අතර එහිදී තහවුරු වූයේ අදාල ඡායාරූපය Google AI විසින් ජනනය කරන ලද එකක් නොවූවත්, එය වෙනත් AI සහාය මෘදුකාංග භාවිතයෙන් වැඩිදියුණු කර, සංස්කරණය කර හෝ ප්‍රතිසාධනය කර ඇති බවයි.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය
මේ පිළිබඳව තවදුරටත් තහවුරු කරගැනීම සඳහා අප හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගෙන් මේ පිළිබඳව විමසීමක් කළා. එහිදී එතුමිය ප්‍රකාශ කර සිටියේ 1964 වර්ෂයේ තම මව වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමග ලන්ඩනය වෙත ගිය බවත් එම ගමනේදී හීත්‍රෝ ගුවන් තොටුපලේදී ලබාගත් එක් ඡායාරූපයක් ඇති බවත් නමුත් එම ඡායාරූපය මෙය නොවන බවත් ය. මෙම ජායාරූපයෙහි තම මුහුණේ අස්වාභාවික බවක් දිස්වන බව ද එතුමිය විසින් ප්‍රකාශ කර සිටියා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ 1964 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ සමුළුව සඳහා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමග ලන්ඩනය වෙත ගිය ගමනේදී ලබාගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ඡායාරූපයක් ලෙස හුවමාරු වන ඡායාරූපය එහි මුල් ඡායාරූපය ඇසුරින් කෘත්‍රිම බුද්ධි සහයක මෘදුකාංග භාවිතයෙන් වැඩිදියුණු කළ ඡායාරූපයක් වන බවයි.
Title:චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය පෙනී සිටින 1964 වසරේ ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපලේදී ලබා ගත් ඡායාරූපයක් ද?
Fact Check By: Pavithra HansaniResult: Insight


