අඩු මුදලකට ලබාදීමට හැකිව තිබියදීත් ආණ්ඩුව ත්‍රීරෝද රථයකින් 510,000 ක ආදායමක් ලබන බවට ජනපති මෑතකදී ප්‍රකාශයක් කළා ද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ත්‍රිරෝද රථ මගින් ආණ්ඩුව විශාල ආදායමක් උපයන බවට ජනාධිපතිවරයා සිදුකරන ලද බව කියන ප්‍රකාශයක් මෑතකාලීනව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වුණා. මේ එම වීඩියෝව පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

420,000 ට දෙන්න පුළුවන් ත්‍රීවීලර් එකක් 930,000 විකුණලා ත්‍රීවීලර්ය එකකින් ආණ්ඩුව 510,000 ක ආදායමක් හොයනවා – ලීසිං මාෆියාවට ආණ්ඩුව යටවෙලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෑතකාලීනව සිදු කරන ලද ප්‍රකාශයක් බවට හැඟී යන පරිදි මෙම වීඩියෝව ෆේස්බුක් වෙත මුදාා හැර ඇත්තෙ, 2026. ජනවාරි 25 වැනිදා ය. 

රු. 420,000 ලබා දිය හැකි ත්‍රීවීලර් රථයක් 930,000ට අලෙවි කරන බවත් එක් ත්‍රීරෝද රථයකින් 510,000 ක ආදායමක් ආණ්ඩුව උපයන බවත් ලීසිං මාෆියාවට වඩා ත්‍රිරෝද රථ රියැදුරන් ගොදුරු වී සිටින්නේ, ආණ්ඩුවේ මාෆියාවකට බවත් මෙහිදී ප්‍රකාශ වේ.  ලීසිං සඳහා ක්‍රමවේදයක් සැකසීමට ප්‍රථම ත්‍රිරෝද රථ සඳහා පනවා ඇති අධික බදු බර ඉවත් කළ යුතු බවත් ත්‍රිරෝද රථයක් සඳහා 120%ක විතර බද්දක් ඇති බවත් ත්‍රීරෝද රථ රියැදුරෙකු රු. 1000ක් උපයද්දී රු. 500ක් ආණ්ඩුවට යන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරන බවක් දැකගත හැකියි. 

මේ අතර තමන් පෞද්ගලිකවම මහ බැංකුවේ මුදල් මණ්ඩලය හමුවී ඇති බවත් ක්ෂුද්‍ර මූල්‍ය ණය මාෆියාවට රටේ ජනතාව ගොදුරු වී ඇති ආකාරය පිළිබඳවත් ලීසිං ආයතනවල ක්‍රියාත්මක වන මාෆියාව පිළිබඳව ද ජනාධිපතිවරයා මෙම වීඩියෝව තුළදී අදහස් පළ කරයි.

Facebook

මේ අතර සත්‍ය ලෙසම මෙය ජනාධිපතිවරයා විසින් මෑතකදී සිදු කරන ලද ප්‍රකාශයක් බවට විශ්වාසය පළ කරමින් විශාල පිරිසක් හුවමාරු කර ගෙන තිබූ අතර වීඩියෝව සඳහා පළ කර තිබූ අදහස් දෙස බැලීමේදී ද එය තවදුරටත් තහවුරු වේ. 

මෙම වීඩියෝව තවදුරටත් මෙලෙස | Archived Link සහ මෙලෙස ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණා. 

මෙම වීඩියෝවට සවන් දීමේදී ජනාධිපතිවරයා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ පාර්ශවයේ සිටිමින් රජය විවේචනය කිරීම තුළ බැලූ බැල්මට ඇතේ, කිසියම් ආකාරයේ ප්‍රශ්නසහගත බවකි. ඒ අනුව මෙම වීඩියෝවේ නිර්වද්‍යතාව විමසා බැලීමට අප මෙලෙස පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ජනාධිපතිවරයා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ත්තේ සිටිමින් තමන් ජනාධිපතිත්වය දරන රජය සම්බන්ධව මෙවැනි විවේචනයක් සිදු කළ යන්න පිළිගත නොහැකි තත්ත්වයක් වන අතර  මෑතකාලීනව එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට ද ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ කිසිදු පළ කිරීමක් දැක ගත නොහැකි විය. තව ද අප සිදු කළ පරීක්ෂාවේදී ජනාධිපතිවරයාගේ නිල සාමාජ මාධ්‍ය ගිණුම්වල හෝ මෑතකාලීනව ත්‍රිරෝද රථ වෘත්තිකයින් හමුවූ බවට හෝ ‍මෙවැනි ප්‍රකාශයක් සිදු කළ බවට තොරතරු නොමැත.  

සමාජ මාධ්‍යයෙහි සංසරණය වන වීඩියෝවේ සැකමුසු තැන් 

ත්‍රිරෝද රථ රියැදුරන් අසාධාරණයකට ලක්ව ඇති බව කියමින් අදහස් පළ කරන මෙම වීඩියෝවේ පසුබිම ජාතික ජන බලවේගයේ ලාංඡනය දැකගත හැකි අතර රටේ ජනාධිපතිවරයා ලෙස යම් රැස්වීමක් හෝ සමුළුවක් අමතන්නේ නම්, එවැනි වේදිකාවක පසුබිමේ ඔහු නියෝජනය කරන පක්ෂයේ ලාංඡනය තිබීම පිළිගත නොහැකි තත්ත්වයකි. තවද ජනාධිපතිවරයාගේ මුහුණේ ස්වභාවය ද වත්මන් පෙනුමට වඩා යම් වෙනසක් පෙන්නුම් කරයි. එමෙන්ම වීඩියෝවට හොඳින් සවන් දීමේදී   “මං දැක්කා ඕගොල්ලෝ ගිහිල්ලා රාජ්‍ය නායකයාගෙන් ඉල්ලනවා ලීසිං සඳහා ක්‍රමවේදයක් සකසන ලෙසයනුවෙන් සඳහන් කරන අතර මෙය අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදු කළ ප්‍රකාශයක් නොවන බව එමගින් ද  පැහැදිලි වේ. 

අනුර කුමාර දිසානායක  2020 දී වෘත්තීය ත්‍රිරෝද රථ රියැදුරු සමුළුව අමතා කළ ප්‍රකාශයක්  

ඒ අනුව අප මෙම වීඩියෝවේ රූපරාමු Reverse image සෙවුමක් වෙත යොමු කර පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා. ඒ අනුව මෙම වීඩියෝව 2020 වසරේ ජූලි 5 වැනිදා සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද වීඩියෝවක් බවට තහවුරු විය. 

වෘත්තීයට ගෞරවයක් – ආරක්ෂිත සේවයක් රැවටීමේ දේශපාලනය පැරදවීමට මාලිමාව දිනවමු යන තේමාවෙන් පැවැත්වූ වෘත්තීය ත්‍රිරෝද රථ රියැදුරු සමුළුවේ දී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් පළ කරන ලද අදහස් ජාතික ජන බලවේග නිල ෆේස්බුක් පිටුවේ මෙලෙස පළ කර තිබුණා. 

Facebook

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා එම සමුළුව අමතා අදහස් පළ කරන අතර එහිදී ඔහු ත්‍රී රෝද රථ වෘත්තිකයින්ගෙන් රටට සිදුවන සේවය පිළිබඳව දීර්ඝව කරුණු ඉදිරිපත්කරන ජනතා විමුක්ති පෙරමුණු නායකයා ලෙස ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, ත්‍රිරෝද රථ රියැදුරන් සමාජයට හා ආර්ථිකයට දෙන දායකත්වයට සමාන වෘත්තීමය ගරුත්වයක් පෙරලා ඔවුන්ට හිමි නොවන බවයි. තව ද විනාඩි 13.36 පමණ සිට ඔහු සමාජ මාධ්‍යයේ හුවමාරු වන වීඩියෝවේ දැකගත හැකි රු. 420,000 ලබා දිය හැකි ත්‍රීවීලර් රථයක් 930,000ට අලෙවි කරන බවටත් ආණ්ඩුව එක් ත්‍රීරෝද රථයකින් 510,000 ක ආදායමක් උපයන බවත් ලීසිං මාෆියාවට වඩා ත්‍රිරෝද රථ රියැදුරන් ගොදුරු වී සිටින්නේ, ආණ්ඩුවේ මාෆියාවකට බවටත් ආදී වශයෙන් ප්‍රකාශය සිදු කරනු ලබයි. 

මේ අතර දැනට ජනාධිපතිවරයා භාවිත කරන නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ද 2020. 7.25  වැනිදා අදාළ වීඩියෝව මෙලෙස පළ කර තිබුණා.  

ජනාධිපති මාධ්‍ය අංශය 

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන මෙම වීඩියෝව මෑතකාලීනව ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයක් නොවන බව ජනාධිපති මාධ්‍ය අංශයෙන්  තහවුරු කළා. ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ, මෙය අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන්  පසු සිදු කළ ප්‍රකාශයක් නොව 2020 වසරේදී ත්‍රිරෝද රථ රියැදුරු සමුළුව අමතා කළ  අනුර කුමාර දිසානායක මහාතා සිදු කළ කතාවක කොටස් බවයි. 

කුමන රජයක් විසින් හෝ එක් ත්‍රිරෝද රථයකින් රු. 510,000 ක් මිලක් උපයන බව පැවසීම තුළින් මූලික පිරිවැය සහ සිල්ලර මිල අතර මිල නිවැරදිද යන්න තේරුම් ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වාහනයක මිලට බලපානු ලබන  බදු ගණනය කරන්නේ කෙසේදැයි අපි පරීක්ෂා කළෙමු.

ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද ඇතුළු අනෙක් වාහන බදු ගණනය කරන ආකාරය

ශ්‍රී ලංකාවේ වාහන මිලකරණ ක්‍රමය සංකීර්ණ වේ. මන්ද එය පාරිභෝගිකයා වෙත ළඟා වීමට පෙර වාහනයේ ආනයන වටිනාකමට බදු ගණනය කරන බැවිනි. මෙයින් අදහස් කරන්නේ වාහනයක මූලික වටිනාකම සහ එහි සිල්ලර මිල අතර වෙනස රජයේ ආදායම ලෙස පමණක් අර්ථ දැක්විය නොහැකි බවයි.

බදු ප්‍රධාන වශයෙන් එන්ජින් ධාරිතාව සහ වාහන වර්ගය මත පදනම් වේ.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයට අනුව, වාහන බදු ගණනය කරනු ලබන්නේ වාහනයේ වෙළඳපොළ මිල මත නොවේ. ඒවා ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ, වාහන වර්ගය, එන්ජින් ධාරිතාව (cc), ඉන්ධන වර්ගය ම පවතී.

නිෂ්පාදන බද්ද විශාලතම බදු සංරචකයයි.  නිෂ්පාදන බද්ද යනු ආනයනික වාහන සඳහා යොදන ප්‍රධාන බදු වලින් එකකි. රජයේ ගැසට් නිවේදනවලින් පෙන්නුම් කරන්නේ වාහන කාණ්ඩය සහ වයස අනුව නිෂ්පාදන බදු 200% සිට 300% දක්වා පරාසයක පැවතිය හැකි බවයි.

ආනයනය කරන ලද වාහනවල අවසාන මිලට බදු ස්ථර කිහිපයක් ඇතුළත් වන බව කර්මාන්ත විශේෂඥයින් සටහන් කරයි, ඒවාට ඇතුළත් වන්නේ:

  • නිෂ්පාදන බද්ද
  • රේගු ආනයන බද්ද
  • විශේෂ වාහන බදු
  • සුඛෝපභෝගී බද්ද (ඇතැම් වාහන සඳහා)
  • අගය එකතු කළ බද්ද (VAT)

මෙම බදු ආනයනය කරන ලද වාහනයේ CIF අගය (පිරිවැය, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහනය) මත අනුපිළිවෙලින් යොදනු ලැබේ.

ඇතැම් අවස්ථාවලදී, සියලුම බදු ඒකාබද්ධ කළ විට, වාහනයක මුළු බදු බර මූලික වටිනාකමෙන් 400%–600% දක්වා ළඟා විය හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසා තිබුණේ මෙලෙසින්.

වාහනයක මිල වෙනස් වීමට බලපාන සාධක

CIF අගයවාහනයේ මූලික ආනයන වටිනාකම
රේගු බද්දආනයනික භාණ්ඩ සඳහා රේගු බදු 
නිෂ්පාදන බද්ධඑන්ජින් ප්‍රමාණය මත පදනම් වූ ප්‍රධාන බද්ද
වැට් බද්දවෙනත් බදු එකතු කිරීමෙන් පසු වැට් බද්ද අය කෙරේ
වෙනත් වියදම්නැව්ගත කිරීම, ලියාපදිංචි කිරීම, අලෙවි නියෝජිත ආන්තිකය(dealer margins)

ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ මිල සංසන්දනය (2020 සහ 2026)

එක් ත්‍රිරෝද රථයකින් රජය රු. 510,000 ක් උපයන බවට කරන ප්‍රකාශය තක්සේරු කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථවල වෙළඳපල මිල කාලයත් සමඟ වෙනස් වී ඇති ආකාරය අප විසින් පරීක්ෂා කරනු ලැබුවා.

2020 පමණ මිල

වෙළඳපොළ ලැයිස්තුගත කිරීම්වලින් පෙනී යන්නේ 2020 මාදිලියේ බජාජ් RE ත්‍රිරෝද රථ දැනට සැතපුම් ගණන සහ තත්ත්වය අනුව රු. මිලියන 1.6 ත් 1.79 ත් අතර ප්‍රමාණයකින් භාවිත කළ ත්‍රිරෝද රථ වෙළඳපොලේ අලෙවි වන බවයි.

උදාහරණයක් ලෙස:

බජාජ් RE 2020 – රු. 1,660,000

බජාජ් RE 2020 – රු. 1,720,000

බජාජ් RE 2020 – රු. 1,795,000

මෙම ලැයිස්තුගත කිරීම් 2020 දී පමණ නිෂ්පාදනය කරන ලද ත්‍රිරෝද රථවල ආසන්න වෙළඳපල වටිනාකම වේ.

2019 – 2020 පමණ කාලය තුළ Bajaj RE ත්‍රිරෝද රථ සඳහා සාමාන්‍ය මිල ගණන් තත්ත්වය සහ මාදිලි වර්ෂය අනුව දළ වශයෙන් රුපියල් මිලියන 1.62 සිට රුපියල් මිලියන 1.89 දක්වා පරාසයක පැවති බවයි.

20252026 දී මිල

ත්‍රිරෝද රථ නිල බෙදාහරින්නා වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම විසින් අලෙවි කරන ලද නවතම Bajaj RE ත්‍රිරෝද රථයක මිල දැනට ආසන්න වශයෙන්,

නව Bajaj RE 4-stroke ත්‍රිරෝද රථයක් සඳහා රු. 1,995,000ක් වේ.

මෑත කාලීන ත්‍රිරෝද රථ ලැයිස්තුගත කිරීම් (2024-2026 මාදිලි) සාමාන්‍යයෙන් රුපියල් මිලියන 1.9 සිට රුපියල් මිලියන 2.05 දක්වා පරාසයක පවතින බවයි.

කෙසේ වෙතත්, රු. 420,000 ක් වටිනා ත්‍රිරෝද රථයක් රුපියල් 930,000 කට අලෙවි කරන බවට ජනපති පෙර 2020 වසරේ කළ ප්‍රකාශය, මූලික ආනයන වටිනාකම සහ සිල්ලර මිල අතර සරලව කළ සංසන්දනයක් මත රඳා පවතින බව පෙනේ.

විශේෂයෙන්ම වාහන මිල සහ බදු වැනි ආර්ථික කරුණු සම්බන්ධයෙන්, මූලික ආනයන වටිනාකම සහ අවසාන වෙළඳපොළ මිල සෘජුවම සසඳා “රජයේ ආදායම” ලෙස පෙන්වීම නිවැරදි විග්‍රහයක් නොවේ. එවැනි මිලකරණයට බහු බදු, ආනයන වියදම්, ප්‍රවාහන ගාස්තු, වෙළඳ නියෝජිත ආන්තික (dealer margins) සහ වෙළඳපොළ තත්ත්වයන් ඇතුළත් වන අතර එම නිසා මෙවැනි සරල ගණනයකින් නිගමනයකට පැමිණීම නොමග යවන කරුණක් ලෙස පෙන්වා දිය හැක.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෑතකාලීව සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන 420,000 ට දෙන්න පුළුවන් ත්‍රීවීලර් එකක් 930,000 විකුණලා ත්‍රීවීලර්ය එකකින් ආණ්ඩුව 510,000 ක ආදායමක් හොයනවා – ලීසිං මාෆියාවට ආණ්ඩුව යටවී ඇති බවටත් වන වීඩියෝව වත්මන් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෑතකාලීනව සිදු කරන ලද ප්‍රකාශයක් නොව බවයි. එම වීඩියෝව 2020 වසරේදී ජනාතා විමුක්ති පෙරමුණු නායකයා ලෙස අනුර කුමාර දිසානායක ත්‍රිරෝද රථ රියැදුරු සමුළුව අමතා සිදුකළ කතාවෙන් උපුටා ගන්නා ලද කොටසක් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදුකරන ලද ප්‍රකාශයක් බවට හඟවමින් සමාජය නොමග යවන ආකාරයෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවයි. 

Avatar

Title:අඩු මුදලකට ලබාදීමට හැකිව තිබියදීත් ආණ්ඩුව ත්‍රීරෝද රථයකින් 510,000 ක ආදායමක් ලබන බවට ජනපති මෑතකදී ප්‍රකාශයක් කළා ද?

Fact Check By: Sagarika Chathumali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *