ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් වල නව පුහුණුකරුවන් සම්බන්ධයෙන් හුවමාරු වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

False Sports

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් කතාබහක් ඇති වී තිබෙන සමයක ඒ සම්බන්ධයෙන් හුවමාරු වූ නොමග යවන සුළු සටහන් පෙලක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ  කරුණු පරීක්ෂාවක් පහතින්.

Claim 1 ;සමාජ මාධ් සටහන් (Social Media Posts) :

“ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ජොනතන් ට්‍රොට්” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ සටහනක් පල වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මේ සම්බන්ධයෙන් තවත් සටහන් සමාජ මාධ්‍ය තුළ පල වී තිබුණේ මෙලෙසින්.

Facebook Facebook Facebook 

සැබෑ ලෙසම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ජොනතන් ට්‍රොට් ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ජොනතන් ට්‍රොට් 2022 ජූලි මාසයේදී ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වූ අතර 2026 T20 ලෝක කුසලානයෙන් පසු ඔහු එම තනතුරෙන් නිල වශයෙන් ඉවත් විය. අවසන් තරගයෙන් පසු ඇෆ්ගනිස්තාන කණ්ඩායමෙන් ට්‍රොට්ගේ සමුගැනීම සම්බන්ධයෙන් ICC නිල වෙබ් අඩවියෙහි පල කර තිබුණේ මෙලෙසින්.

එසේම 2024 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සනත් ජයසූරිය මහතා, 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයෙන් ඉවතට විසිවීමත් සමඟ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඔහුගේ කොන්ත්‍රාත් කාලය 2026 ජූනි දක්වා තිබුණද, පකිස්ථානය සමඟ පැවැති අවසන් තරගයෙන් පසු ඔහු සිය තීරණය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

ජොනතන් ට්‍රොට් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් වී ඇති බවට සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වන්නේ මෙවැනි පසුබිමකදී ය.

සනත් ජයසූරියගෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා සිටින අපේක්ෂකයන් අතර ජොනතන් ට්‍රොට් ප්‍රමුඛ අපේක්ෂකයෙකු බව The Morning විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්. එම පුවත 2026 මාර්තු 05 වන දින වාර්තා කර ඇති අතර ඒ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආරංචි මාර්ග තවමත් එම පත්වීම නිල වශයෙන් තහවුරු කර නොමැති බවද ඔවුන් විසින් වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

කෙසේ නමුත් ජොනතන් ට්‍රොට් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වූ බවට කිසිඳු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් ඔස්සේ වාර්තා කර තිබුණේ නැහැ.

ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන්

ඊයේ දින එනම් 2026 මාර්තු 09 වනදා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස  හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ගැරී කර්ස්ටන් (Gary Kirsten) පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නව පුහුණුකරු පත් කිරීම පිළිබඳ ICC නිල වාර්තාව මෙතනින්. සනත් ජයසූරියගෙන් හිස්වන එම තනතුර සඳහා ඔහු 2026 අප්‍රේල් 15 වනදා සිට වසර දෙකක කාලයකට පත් කර ඇති බව එහි දක්වා තිබෙනවා.

2026 අප්‍රේල් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි, ජාතික පිරිමි කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ගැරී කර්ස්ටන් පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් වාර්තා කර තිබෙනවා. ඒ මෙලෙසින්.

එසේම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ගැරී කර්ස්ටන් පත් කිරීම සම්බන්ධයෙන් වාර්තා කර තිබෙනවා. එම මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතා ගෙන් ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ගැරී කර්ස්ටන් පත් කර ඇති බවයි.

Claim 2 ; සමාජ මාධ් සටහන් (Social Media Posts) :

” ශ්‍රී ලංකා legend සනත් ජයසූරිය බංග්ලාදේශයට යයි. ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු බංග්ලාදේශයේ නව පිතිකරණ පුහුණුකරු වීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් සිටී”. යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

Facebook Facebook Facebook

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

2024 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සනත් ජයසූරිය මහතා, 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයෙන් ඉවතට විසිවීමත් සමඟ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඔහුගේ කොන්ත්‍රාත් කාලය 2026 ජූනි දක්වා තිබුණද, පකිස්ථානය සමඟ පැවැති අවසන් තරගයෙන් පසු ඔහු සිය තීරණය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. සනත් ජයසූරිය මහතා බංග්ලාදේශ නව පිතිකරන පුහුණුකරු ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වන්නේ මෙවන් පසුබිමකදීය.

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය පත් කරන බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් හෝ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයෙන් (BCB) නිල තහවුරු කිරීමක් සිදු කර නැහැ.

2027 පෙබරවාරි දක්වා එම තනතුරේ රැඳී සිටීමට අපේක්ෂා කරන බවට වත්මන් බංග්ලාදේශ ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු මොහොමඩ් අෂ්රෆුල් ගෙන් ප්‍රකාශයක්

2025 නොවැම්බර් මස මුලදී බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ‘විශේෂඥ’ පිතිකරණ පුහුණුකරු (Specialist Batting Coach) ලෙස මොහොමඩ් අෂ්රෆුල් පත් කරනු ලැබුවා. ඒ පිළිබඳ පල වූ මාධ්‍ය වාර්තා මෙතනින්.සනත් ජයසූරිය මහතා මීළඟ පිතිකරණ පුහුණුකරු වශයෙන් පත් වන බවට වන කටකතා මධ්‍යයේ, වත්මන් පිතිකරණ පුහුණුකරු මොහොමඩ් අෂ්රෆුල් තමා දැනටමත් ක්‍රිකට් මණ්ඩලය සමඟ ගිවිසුමක් යටතේ සිටින බවත් 2027 පෙබරවාරි දක්වා එම තනතුරේ රැඳී සිටීමට අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කරන ලද බව දක්වමින් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

එසේම බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ මොහොමඩ් අෂ්රෆුල්ගේ කොන්ත්‍රාත්තුව තවත් වසරකින් දීර්ඝ කර ඇති බව දක්වමින් 2026. 03.08 වන දින මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන්නේ ෆිල් සිමන්ස් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතා ගෙන් ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ එවැනි පත් කිරීමක් සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් කමිටුව විසින් හෝ සනත් ජයසූරිය මහතා විසින් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැති බවත් දැනට කටකතාවක් වශයෙන් පමණක් පවතින්නක් බවත් ය.

අපගේකරුණුවිමර්ශනපිළිබඳතොරතුරුදැනගැනීමටඑක්වන්න

Facebook| Twitter| Instagram| Google News| TikTok

Result Stamp

Title: ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් වල නව පුහුණුකරුවන් සම්බන්ධයෙන් හුවමාරු වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

Fact Check By: Pavithra Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *