දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මේ දිනවල දිවා කාලයේ රටේ බොහෝ ප්‍රදේශවල පවතින්නේ, දැඩි උෂ්ණාධික කාලගුණ තත්ත්වයක්. මෙම තත්ත්වය යටතේ ඉදිරියේදී යම් යම් සිදුවීම් ඇති විය හැකි බවට තහවුරු නොකරන ලද, විවිධ අනුමානයන් සහිත සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ආකාරයක් දැකගත හැකියි. මේ එලෙස සංසරණය වන සටහනක් පිළිබඳ අප සිදු කළ විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
සෙල්ලම් නෑ මැයි ඉදන් තත්ත්වය තවත් දරුණුයි. එල්නිනෝ එනවා හැමෝම සූදානම් වෙන්න යනුවෙන් සඳහන් කරමින් පළ කර ඇති මෙම සටහන මගින් මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය සහිත කාලගුණය පිළිබඳ සඳහන් වන අතර මෙම තත්ත්වය ඉදිරියේදී මහා වැස්සක පෙරනිමිත්තක් බවත් එහි සඳහන් ය.
මැයි මාසයේ සිට එල්නිනෝ බලපෑම ඇති වන බවත් මෙම තත්ත්වය නිසා නිරිතදිග මෝසම මගහැරී යාමේ ඉඩක් ඇති බවත් ඒනිසාම වියළි කාලගුණික් තත්ත්වයක් පැවතිය හැකි බවයි. එම තත්ත්වය උඩ ජල මූලාශ්‍ර සිදීයාමක් සිදුවිය හැකි බැවින් දැන්ම සිට ඊට සූදානම් වන ලෙසත් මෙම සමාජ මාධ්‍ය සටහනේ සඳහන් කර ඇත. තවද අධික උෂ්ණත්වය නිසා මිනිස් සිරුරට ඇති විය හැකි බලපෑම අවම කර ගැනීම සඳහා ගතයුතු පියවර ද මෙම සටහනේ දැක්වේ.
මෙම සටහන මගින් මැයි මාසයේදී එල් නිනෝ තත්ත්වයක් අනිවාර්යයෙන්ම ඇති වන බවත් පවතින උණුසුම මහා වර්ෂාවක පෙරනිමිත්තක් බවත් ප්‍රකාශ කරයි.

සමාජ මාධ්‍ය සටහනේ සඳහන් කරුණුවල නිර්වද්‍යතාව විමසා බැලීමට අප මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ඉදිරියේදී අනිවාර්යයෙන්ම එල් නිනෝ තත්තවයක් ඇති වනවා ද ? ඒ වගේම පවතින උණුසුම මහා වර්ෂාවක පෙර නිමිත්තක් ද යන මූලිකවම මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි, සහ කාලගුණ විද්‍යාඥයින් හරහා තහවුරු කරගැනීමට අප පියවර ගත්තා.
කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුවේ ප්‍රතිචාරය
කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (23) දිනට බලපැවැත්වෙන පරිදි නිවේදනයේ සඳහන් වන්නේ, බස්නාහිර, සබරගමුව, උතුරු මැද, දකුණ සහ වයඹ පළාත් සහ මොනරාගල, මන්නාරම, වව්නියාව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි. ඒ අනුව ජනතාව විමසිලිමත්විය යුතු ආකාරය පිළිබඳව ද මෙලෙස උපදෙස් නිකුත් කර තිබේ.
මේ අතර මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ද මාර්තු 12 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් ජනතාවට කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.
අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, ඇතැම් ස්ථානවලට වැසි ඇති විය හැකි වුවත් සමස්තයක් ලෙස රට තුළ වැසි රහිත වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවයි. එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ, උණුසුම් කාලගුණයත් සමග අධික ලෙස මහන්සි වී සිදු කරන වැඩකටයුතුවලදි සැලකිලිමත් වන ලෙස සහ විශේෂයෙන් වැඩිහිටියන් සහ කුඩා ළමුන්, ක්‍රීඩාවල නිරත පාසල් සිසුන් සැලකිලිමත් විය යුතු බවයි.
කෙසේ වෙතත් පවතින අන්තර් මෝසම් කාල පරිච්ඡේදයෙන් පසු මැයි මාසයේදී නිරිතදිග මෝසම් කාලය එළැඹෙන බවත් ඒ සමග පැසිෆික් සාගරය තුළ ඇති වන එල් නිනෝ සංසිද්ධිය ඉස්මතු වෙමින් පවතින බව ද ඔහු සඳහන් කළා. එල් නිනෝ තත්ත්වය මැයි මාසයෙන් පසු එළැඹෙන මාසවලදී ක්‍රමක්‍රමයෙන් වැඩි වුවහොත් එය ලංකාවට බලපාන ආකාරය පිළිබඳව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු පැහැදිලි කළා. ඔහු සඳහන් කළේ, එල් නිනෝ තත්ත්වය ස්ථාපිත වුවහොත් නිරිතදිග මෝසම හරහා ශ්‍රී ලංකාවට අඩු වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතින බවයි. එල් නිනෝ තත්ත්වයේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරන බවත් දෙවන අන්තර් මෝසම (ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්) සාමාන්‍යයෙන් එල් නිනෝ කාල පරිච්ඡේදයන් තුළ වාර්ෂාව වැඩිවීම් සිදුවන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් අප්‍රේල් මැද වන විට බක්මහ අකුණු සමග ඇතිවන වර්ෂාව නිසා තරමක් දුරට උණුසුම කාලගුණික තත්ත්වයේ අඩුවීමක් සිදුවිය හැකි බවට ද අධ්‍යක්ෂ ජනරාල්වරයා අනාවැකි පළ කළ අතර කෙසේ වෙතත් අධික උණුසුම් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් පහව යාමක් අපේක්ෂා කරන්නේ, නිරිතදිග මෝසම ආරම්භ වන කාලපරිච්ඡේදයේ මැයි අවසානයේ සිට බවත් මීට පෙර වසරවලදී ද මෙවැනි උෂ්ණාධික කාලගුණ තත්ත්වයන් තිබී ඇති බවත් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.
මේ අතර සමාජ මාධ්‍ය සටහන්වල අන්තර්ගත කරුණු පිළිබඳ තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතාගෙන්ද විමසීමක් කළා. ඔහු ප්‍රකාශ කළේ, එල් නිනෝ සහ ලා නිනා හා සම්බන්ධ තත්ත්වයන් අසාමාන්‍ය නොවන බවත් ඒවා සාමාන්‍ය කාලගුණ වෙනස්වීම්වල කොටසක් බවයි. තව ද කාලයත් සමග විවිධ ත්‍රීවෘතාවයන්ගෙන් සමන්විත එම තත්ත්වයන් හඳුනාගනු ලබන්නේ, කෙටි කාලීන කාලගුණික වෙනස්වීම් මත පදනම්ව නොව දිගුකාලීන දත්ත මත පදනම්ව බව ද පැස්කුවෙල් මහතා ප්‍රකාශ කළා.
මේ අතර පවතින උෂ්ණාධික තත්ත්වය පමණක් භාවිත කරමින් මැයි මාසයේ මහා වැසි ලැබී ගංවතුර තත්ත්වයක් ඇති වනවාය යන්න පුරෝකතනය කළ නොහැකි බව සඳහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ගංවතුර හෝ නියං තත්ත්වයන් එකම සාධයකයන් නිසා පමණක් ඇති නොවන බවයි. තව ද එල් නිනෝ වැනි තත්ත්වයක් ඇති වුවත් එය පමණක් ප්‍රබල ආපදාවක් ඇති කිරීමට හේතුවක් නොවන බවයි.
මේ අනුව මැයි මාසයේදී අනිවාර්යයෙන්ම එල් නිනෝ තත්ත්වයක් ඇති වන බවට හෝ මහා දියවැස්මක් ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුුරු නොකරයි.
එල්නිනෝ යනු කුමක් ද? 2026 වසර පිළිබඳව විශේෂඥයින් ප්‍රකාශ කරන්නේ වත් මොනවාද?
එල් නිනෝ යනු පැසිෆික් සාගරයේ දේශගුණික රටාවක් වන අතර එමගින් සමකයට ආසන්නයේ මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යාමක් සිදුවන අතර එය ගෝලීය කාලගුණ රටාවන් වෙනස් කිරීමට ද හේතුවකි. එල්නිනෝ තත්ත්වය මෝසම් වැසි රටාවට ද බලපාන නමුත්, එය ඒ සඳහා බලපාන එකම සාධකය නොවේ.

World Meteorological Organization (WMO) 2026 පෙබරවාරි මාසයේදී නිකුත් කරන ලද යාවත්කාලීන කිරීම්වලට අනුව මාර්තු සිට මැයි දක්වා කාලය තුළ එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ අවදානම 10% පමණි. ලා නිනා තත්ත්වය දුර්වල වෙමින් පවතින අතර ඉදිරි මාසවලදී එල් නිනෝ අවදානම ක්‍රමයෙන් වැඩිවිය හැකි නමුත් එය තවමත් නිශ්චිත නොවන බව ඉහත වාර්තාව මගින් වැඩිදුරටත් පැවසේ.
ලා නීනා (La Niña) යනු මධ්‍යම සහ නැගෙනහිර උෂ්ණ කලාපීය පැසිෆික් සාගරයේ සාමාන්‍යයට වඩා අඩු මුහුදු මතුපිට උෂ්ණත්වයන් ඇතිවීමෙන් හැඳින්වෙන වායුගෝලීය ආකෘතියකි. මෙය එල් නීනෝ දකුණු දෝලනය (ENSO) චක්‍රයේ ශීත (cold) අදියර ලෙස සැලකේ.
තව ද මැයි මාසයේදී නිශ්චිතවම එල් නිනෝ තත්ත්වයක් ඇති වන බවට කාලගුණ විද්‍යාඥයින් හෝ පුරෝකථනය කර නොමැති අතර 2026 වසරේ මුල් භාගය තුළ සාමාන්‍ය තත්ත්වයක් අපේක්ෂා කරන අතර පසුව එල් නිනෝ තත්ත්වයක් ඇතිවිය හැකි වුවත් එය මැයි මාසයේදී අනිවාර්යයෙන් ඇති වනවා ය යන්න නිශ්චිත නොවේ.
ඒ අනුව පැහැදිලි වන්නේ, ලා නිනා තත්ත්වය අවසන් වෙමින් පවතින බවත් වසරේ මුල් භාගයේ සාමාන්‍ය තත්ත්වයක් පවතින අතර පසුව එල් නිනෝ තත්ත්වයක් ඇති විය හැකි නමුත් එය තවමත් නිශ්චිත නොවන බවයි. විස්තර මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්
උෂ්ණාධික කාලගුණය මේ වසරට පමණක් විශේෂ තත්ත්වයක් ද?
මාර්තු සිට අප්‍රේල් දක්වා කාලය ශ්‍රී ලංකාවේ ස්වභාවිකවම උෂ්ණාධික කාලයක් ලෙස සැලකෙන අතර සාමාන්‍යයෙන් වැසි නොලැබෙන කාලයකි. කාලගුණික දත්ත අනුව අප්‍රේල් මාසයේදී බොහෝ ප්‍රදේශ දහවල් උෂ්ණත්වය 30°C ක් පමණ වන අතර ඒ අනුව මෙම මාසයේ දහවල් කාලය අතිශය උෂ්ණාධික බව සුවිශේෂී තත්ත්වයක් නොවේ. මේ අතර ඉදිකිරීම් වැනි දේ නිසා ග්‍රාමීය ප්‍රදේශවලට වඩා නාගරික ප්‍රදේශවල උෂ්ණත්වය යම් තරමක් වැඩි බව ද පර්යේෂණවලින් හෙළිවී තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය දශක ගණනාවක් පුරා ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර 1991–2020 කාලසීමාව විශ්ලේෂණය කරන විට, අප්‍රේල් වන විට දිවයිනේ 2/3 වැඩි ප්‍රදේශ අතිශය උෂ්ණත්වය සහිත මට්ටමකට පත් වී ඇති බව හෙළිවී ඇත. එමෙන්ම, ශීත කාලය ලෙස සැලකෙන මාසවලදී පවා, ජනාකීර්ණ ප්‍රදේශවල ඇතැම් දින උණුසුම වැඩි දින බවට පත්ව තිබේ. කොළඹ සහ ආසන්න කාර්මික ප්‍රදේශවල තාප-ආර්ද්‍රතා දර්ශකය 1997 වසරේ සිට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර අප්‍රේල්-මැයි මාස මේ වනවිට වැඩිම බලපෑමක් සහිත කාලයන් ලෙස හඳුනාගෙන තිබේ. විස්තර මෙතැනින්, මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්

එල් නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවේ වැසි ඇතිවීමට බලපාන්නේ කෙසේ ද?
2026 වසරේදී එල් නිනෝ තත්ත්වයක් ඇතිවුවහොත් එය නිරිතදිග මෝසම් කාලපරිච්ඡේදයේ වැසි අඩුවීමකට මග පාදන නමුත් අවධානය යොමු කළ යුතු තවත් කරුණු කිහිපයක් පවතී.
මහවැලි සහ කැලණි ගංගා ද්‍රෝණි ආශ්‍රිත වැසි තත්ත්වයන් පිළිබඳ ඓතිහාසික විශ්ලේෂණයන් අනුව එල් නිනෝ වසරවලදී නිරිතදිග මෝසම් වැසි අඩු බව පෙන්නුම් කරයි.
එල් නිනෝ තත්ත්වයේ බලපෑම Indian Ocean Dipole (IOD) සමග එකතුව මත වෙනස් වන අතර, එල් නිනෝ තත්ත්වය ධන IOD සමඟ සමානව පවතින අවස්ථාවල වියළි තත්ත්වය තවත් තීව්‍ර විය හැකි නමුත්, දෙකම ඍණ තත්ත්වයේ පවතින විට වැසි නැවත වැඩි වීමටද ඉඩ ඇති බව විද්‍යාඥයන් පෙන්වා දෙයි. විස්තර මෙතැනින්
මේ දිනවල පවතින උෂ්ණාධිකබව මහා දියවැස්මක ලකුණක් ද?
උෂ්ණාධිකබව සහ අධික වැසි යන දෙකම කාලගුණ වෙනස්වීම් මත සිදුවන්නක් වන නමුත් කාලගුණ විද්‍යාව අනුව උෂ්ණත්වය ඉහළ යාම තුළ ගංවතුර අවදානම වැඩිවිය හැකි නමුත් මේ දිනවල පවතින උණුසුම නිසා ඉදිරියේදී මහා වැසි ඇති වී ගංවතුරක් ඇති වේ යැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක.
එල් නිනෝ තත්ත්වයක් ඇති වුවහොත් නිරිතදිග මෝසම් වැසි අඩුවීමට සහ ජලාශවල ජල මට්ටම් පහළ යාමට හේතුවිය හැකි අතර එයට විරුද්ධව Indian Ocean Dipole (IOD) වැනි වෙනත් සාධක සහ සාමාන්‍ය තත්ත්වයන් පවතින විට අධික වැසි ඇතිවීමට ද ඉඩ ඇත. මාර්තු මාසයේ උෂ්ණාධිකබව මත පදනම්ව මාස කිහිපයකට පසු මහා දියවැස්මක් ඇතිවන බවට අනාවැකි පළ කළ නොහැක.
World Meteorological Organization (WMO) සහ Department of Meteorology Sri Lanka යන ආයතන දෙකම වර්තමාන උෂ්ණාධික තත්ත්වය සහ මෝසම් වැසි රටාවන් නිරීක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටින අතර, උෂ්ණ තත්ත්වයක් හේතුවෙන් ගංවතුරක් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර නොමැත.
එල් නිනෝ තත්ත්වයක් නොමැතිවත් උෂ්ණත්වය ඉහළ යන්නේ ඇයි?
එල් නිනෝ තත්ත්වයක් නොපවතින අවස්ථාවලදී පවා ශ්‍රී ලංකාවේ උණුසුම් කාලගුණය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බව පර්යේෂකයෝ පෙන්වා දෙති. පසුගිය දශක කිහිපය තුළ ම උෂ්ණාධික බව පැහැදිලි ලෙස වැඩි වී ඇති අතර දශක 3ක දත්ත විශ්ලේෂණයන් අනුව 2020 අප්‍රේල් වන විට දිවයිනෙන් 2/3කට වැඩි කොටසක් අතිශය උෂ්ණාධික කාණ්ඩයේ පැවතී ඇත. සීතලම මාසය ලෙස සැලකෙන ජනවාරි මාසයේ පවා නාගරීක ප්‍රදේශවල යම් පමණක උෂ්ණ සහිත බවක් පෙන්නුම් කරයි. මෙකී වෙනස්කම් ගෝලීය උෂ්ණත්වය වැඩිවීම, හරිතාගාර වායු වැඩිවීම සහ නාගරික ප්‍රදේශවල උණුසුම වැඩිවීම හේතුවෙන් සිදුව ඇති බව හෙළිවී ඇත.
2025 වසරේ කොළඹ ස්ථාන ආශ්‍රිතව සිදුකරන ලද අධ්‍යනයක් අනුව 1977 වසරේ සිට තාප ආර්ද්‍රතා දර්ශකය ඉහළ යන ප්‍රවණතාවක් පෙන්වන අතර මේ වනිවිට අප්‍රේල් – මැයි උෂ්ණාධිකබව වැඩිම කාලය බවට පත්ව තිබේ.
වන ගහණය වැඩි කිරීම, යහපත් නගර සැලසුම් ඇතුළු ක්‍රියාමාර්ග කිහිපයක් ඔස්සේ උෂ්ණත්වය යම් පමණකට අඩු කළ හැකි නමුත් ගෝලීය උෂ්ණත්වය සම්පූර්ණයෙන්ම අඩු කිරීමට ඒවා ප්‍රමාණවත් නොවේ. Intergovernmental Panel on Climate Change (IPCC) සහ World Meteorological Organization (WMO) පෙන්වා දෙන්නේ එල් නිනෝ වැනි ස්වාභාවික කාලගුණ චක්‍ර මගින් සිදුවන්නේ, දැනටමත් උණුසුම් වී ඇති පද්ධතිය සුළු ලෙස වෙනස් කිරීමක් පමණක් බවයි.
ප්‍රායෝගිකව බලන විට, අද ENSO සාමාන්‍ය තත්ත්වයක වුවද, කාලගුණ වෙනස්වීම් සහ නගරීකරණය හේතුවෙන් 1980 හෝ 1990 දශකවලට වඩා වැඩි උෂ්ණත්වයක් ලෙස දැනීමට පටන්ගෙන තිබේ. වැඩි විස්තර මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මේ දිනවල කාලගුණික තත්ත්වයට අනුව උෂ්ණාධිකබව වැඩි නමුත් එය ඉදිරියේදී නිශ්චිතවම ඇති විය හැකි ව්‍යසනයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නොවන බවයි. මෙය ස්වාභාවිකව ඇති වන කාලගුණික තත්ත්වයක් වන අතර නාගරිකරණය සහ දීර්ඝ කාලයක් තිස්සේ උෂ්ණත්වය වැඩිවීම නිසා උෂ්ණාධික බව තවත් වැඩිවී තිබේ. දේශගුණික පද්ධති ඉතා සංකීර්ණ වන අතර එල් නිනෝ වැනි කාලගුණික රටා වර්ෂාපතන අවදානම වෙනස් කළ හැකි නමුත් එය එකම සාධකය නොවේ.
ඒ අනුව මැයි මාසයේදී අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට එල් නිනෝ තත්ත්වය බලපාන බව හෝ මහා දියවැස්මක් ඇති වන බවට වන සමාජ මාධ්‍ය සටහන් නොමග යන සුළු වේ.


