
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
දේශපාලන සහ සමාජීය කරුණු හේතුවෙන් නිරන්තරයෙන් කතාබහට ලක් වන කච්චතිව් දූපත ආසන්න මුහුදේ යාත්‍රා කළ බව පැවසෙන යාත්‍රාවක ගෙන ගිය ධජයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“කච්චතිව් මුහුද ආයෙත් එයාලා” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසින්.
අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් සංසරණය වී තිබුණේ මෙලෙසින්.


අදාළ ධජය LTTE සංවිධානයේ ධජය ලෙස දක්වමින් පරිශීලකයන් විසින් අදාළ වීඩියෝ දර්ශනය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණේ මෙලෙසින්.


ඒ අනුව කච්චතිව් දූපත ආසන්න මුහුදේ යාත්‍රා කළ බවට පැවසෙන යාත්‍රාව සහ එහි ගෙන ගිය ධජය කුමක් ද යන්න සම්බන්ධයෙන් අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අප විසින් ඉහත වීඩියෝව හොඳින් පරීක්ෂා කිරීමේදී එම බෝට්ටුවේ ඔසවා ඇති ධජය ගොවියකුගේ රූපයක් සහ තවත් පුද්ගලයකුගේ උඩුකය රූපයක් ධජය තුළ පැහැදිලිව දැක ගත හැකියි.
+

LTTE ධජය සහ වීඩියෝවේ දැක්වෙන ධජය එකිනෙකට වෙනස්!
මූලික පරීක්ෂාවේදී අප විසින් LTTE ධජය සහ අදාළ වීඩියෝවේ දැක්වෙන ධජය වෙන් වෙන් වශයෙන් පරීක්ෂා කළ අතර එහිදී පැහැදිලි වූයේ LTTE ධජය සහ වීඩියෝවේ දැක්වෙන ධජය එකිනෙකට වෙනස් බවයි.


නාම් තමිලර් පක්ෂයේ නායක සෙන්තමිසන් සීමන්ගේ ධජය රැගත් බෝට්ටුවක්
LTTE ධජය සහ අදාළ වීඩියෝවේ දැක්වෙන ධජය එකිනෙකට වෙනස් වීම හේතුවෙන් අප විසින් අදාළ දර්ශන පෙළ සම්බන්ධයෙන් Reverse Image යෙදුමක් ඔස්සේ සිදු කළ පරීක්ෂාවේදී 2026 පෙබරවාරි 27 වන දින දමිළ බසින් පළ කරන ලද පුවත් වාර්තාවක් හමුවුණා.

නාම් තමිලර් පක්ෂයේ නායක සෙන්තමිසන් සීමන්ගේ ධජය රැගත් බෝට්ටුවක් කච්චතිව් මුහුදට යාත්‍රා කර ඇති බවත්, කච්චතිව්හි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍යයට සහභාගී වීම සඳහා බෝට්ටුව ගමන් කරමින් සිටි බවටත් අදාළ පුවත තුළ දක්වා තිබෙනවා. එම සම්පූර්ණ පුවත් වාර්තාව මෙතනින්.
එසේම කච්චතිව් දූපතේ පැවති ආගමික උත්සවය සඳහා සහභාගී වූ පුද්ගලයකු විසින් යූටියුබ් වෙත මුදාහැර ඇති වීඩියෝවක ද අදාළ ධජය සහිත දර්ශනයක් අන්තර්ගත වනවා. එම දර්ශන පෙළ ඔස්සේ ද පැහැදිලිව හඳුනා ගත හැක්කේ අදාල ධජය LTTE ධජයට සමාන නොවන බවයි.

එම සම්පූර්ණ වීඩියෝව පහතින්.
Naam Tamilar Katchi (NTK)
Naam Tamilar Katchi (NTK) යනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය කේන්ද්‍ර කරගත් දෙමළ ජාතිකවාදී දේශපාලන පක්ෂයක් වන අතර 1958 දී එස්. පී. ආදිත්තනාර් විසින් ආරම්භ කරන ලද මෙම පක්ෂය, 2010 වසරේදී වර්තමාන නායක සීමන් (Seeman) විසින් නැවත ප්‍රතිසංවිධානය කරන තිබෙනවා. ගොවියකුගේ රූපයක් නාම් තමිලර් කච්චි පක්ෂය විසින් ඔවුන්ගේ මැතිවරණ සංකේතය ලෙස භාවිතා කරනු ලබනවා.
වීඩියෝවේ දක්නට ලැබෙන කොඩිය සහ NTK පක්ෂයේ මැතිවරණ සංකේතය අතර සංසන්දනයක් පහතින්.


NTK මැතිවරණ සංකේතය සහ NTK පක්ෂයේ වර්තමාන නායක සීමන් ගේ ජායාරූපයක් අදාළ ධජය තුළ අන්තර්ගත වන බව ඒ අනුව පැහැදිලි වනවා.
කච්චතිව්හි ඓතිහාසික ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා පැමිණි බෝට්ටුවක්
කච්චතිව් දූපත තුළ වාර්ෂිකව ඓතිහාසික ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පවත්වන අතර ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් සහ ඉන්දියාවෙන් බැතිමතුන් පැමිණෙනු ලබනවා. 2026 කච්චතිව් උත්සවය පෙබරවාරි 27 සහ 28 යන දිනවල පැවැත් වී තිබෙන අතර, මෙම කාලය තුළ, විවිධ කණ්ඩායම්වල බැතිමතුන් සහ ආධාරකරුවන් රැගෙන තමිල්නාඩුවේ සිට බොහෝ බෝට්ටු දිවයිනට පැමිණ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්. අදාළ වීඩියෝවේ දක්නට ලැබෙන බෝට්ටුව ඉන්දියාවේ සිට උත්සවයට සහභාගී වූ පිරිසක් රැගෙන ගිය බෝට්ටුවක් බව ඒ අනුව පැහැදිලි වනවා.
නාවික හමුදා මූලස්ථානය – නාවික මාධ්‍ය අංශය
මේ සම්බන්ධයෙන් අප විසින් නාවික හමුදා මූලස්ථානයේ නාවික මාධ්‍ය අංශයෙන් විමසීමක් සිදු කළා. එහිදී ලෙෆ්ටිනන් කුමාර රණසිංහ මහතා විසින් සඳහන් කළේ කච්චතිව් දූපතෙහි වාර්ෂික උත්සවය පසුගිය මාසයේ පැවැත්වුණු බවත්, මාසයක් ගත වී ඇතත් එම උත්සව කාලය තුළ LTTE ධජය රැගත් බෝට්ටුවක් කච්චතිව් දූපත ආශ්රිත මුහුදේ යාත්‍රා කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට වාර්තා වී නොමැති බවත් ය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ කච්චතිව් දූපත ආසන්න මුහුදේ LTTE ධජයක් රැගත් බෝට්ටුවක් ගමන් කළ බව දක්වමින් හුවමාරු වන වීඩියෝව නොමඟ යවන සුළු එකක් බවයි. අදාළ වීඩියෝව තුළ දක්නට ලැබෙන ධජය තමිල්නාඩුවේ දේශපාලන පක්ෂයක් වන නාම් තමිලර් කච්චි පක්ෂයට අයත් වන අතර, අදාළ බෝට්ටුව 2026 පෙබරවාරි 27-28 දිනවල කච්චතිවු දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා සහභාගිවන්නන් රැගෙන ආ බෝට්ටුවක් බව අනාවරණය වුණා.


