දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
සත්‍ය තොරතුරු වුවද, ඇතැම් අවස්ථාවල වාර්තා කිරීමේදී ඒ සඳහා යොදා ගන්නා ඡායාරූප, වීඩියෝ නිසි පරිදි තොරතුරු තහවුරු කර නොගනිමින් පළ කිරීම තුළ අසත්‍ය තොරතුරු ජනතාව වෙත ළගා වනු ලබනවා. එලෙසින් පළ වූ වීඩියෝවක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවයි මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව, නෞකා 2,000ක නාවිකයින් 20,000ක් සිරවී ඇත” බවට දක්වමින් Newsfirst ප්‍රධාන මාධ්‍ය ධාරාවේ වීඩියෝවක් සංසරණය වුණා.
තව ත් සමාජ මාධ්‍ය සටහනක් පහතින්.
මෙම අවස්ථාව සැබවින්ම හෝමුස් සුමද්‍ර සන්ධිය ආශ්‍රිත වූ සිදුවීමක් ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
වීඩියෝවෙන් දැක්වෙන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නොව සිංගප්පූරුවයි!
අපගේ විමර්ශනයට අනුව, මෙම වීඩියෝවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය නිරූපණය නොවන බව තහවුරු විය. එහි දැක්වෙන්නේ ලොව කාර්යබහුලම නාවික මාර්ගයක් වන සිංගප්පූරු සමුද්‍ර සන්ධියයි. මෙය සිංගප්පූරු චැංගි ගුවන් තොටුපළට ගොඩබසින අවස්ථාවකදී ගුවන් යානයක සිට රූගත කරන ලද්දකි.
මෙම දර්ශන ප්‍රථමයෙන්ම මාර්තු 17 වන දින ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා ගිය සංචාරක වීඩියෝවක කොටසක් ලෙස පළ කර තිබූ අතර, එහි හෝර්මුස් සමුද්‍ර සන්ධිය ගැන කිසිදු සඳහනක් කර නොතිබුණි. වීඩියෝව පළ කළ පුද්ගලයාගේ ගිණුමේ ඇති දර්ශන පරීක්ෂා කිරීමේදී ද මෙය මැදපෙරදිග නොව සිංගප්පූරුවේදී ලබාගත් එකක් බව පැහැදිලි වේ.

මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සිංගප්පූරුව සමුද්‍ර සන්ධියේ නැව් නවතා ඇති අයුරු ගුවන් යානාවලදී දැක ගන්නට ලැබෙන අයුරු දැක්වෙන ඉහත වීඩියෝවට සමාන දසුන් ඇති වීඩියෝ පහතින්.
මීට අමතරව, සමුද්‍රීය නිරීක්ෂණ සංවිධානයක් වන TankerTrackers.com ද මෙම වීඩියෝව පිළිබඳ ප්‍රතිචාර දක්වමින්, මෙම දර්ශන හෝර්මුස් සමුද්‍ර සන්ධිය නොව සිංගප්පූරුවට අයත් ඒවා බව තහවුරු කර තිබුණේ මෙලෙසින්.

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ වත්මන් තත්ත්වය
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සාමාන්‍ය වාණිජ නාවික කටයුතු දැඩි ලෙස අඩාල වී ඇති අතර එය දැනට ප්‍රායෝගිකව වසා දමා ඇත.
රොයිටර් පුවත් සේවයට අනුව, උද්ගත වී ඇති ගැටුම් සහ ආරක්ෂක තර්ජන හේතුවෙන් 2026 පෙබරවාරි අග සිට හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන නැව් ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ නතර වී තිබේ.
මෙම අර්බුදය ආරම්භ වූයේ ඉරානය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සම්බන්ධ හමුදාමය ගැටුම් උත්සන්න වීමත් සමඟය. එහිදී මෙම මුහුදු මාර්ගය භාවිතා කිරීමට උත්සාහ කරන නෞකා වෙත ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි. මේ හේතුවෙන් නාවික ගමනාගමනය සීඝ්‍රයෙන් පහත වැටුණු අතර, බොහෝ නැව් සමුද්‍ර සන්ධියෙන් පිටත නැංගුරම් ලෑමට හෝ වෙනත් විකල්ප මාර්ග භාවිත කිරීමට පෙළඹී ඇත.
කෙසේ වෙතත් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ (IMO) සහ ප්‍රධාන ප්‍රවෘත්ති ආයතනවල මෑත කාලීන වාර්තාවලට අනුව, 2026 මාර්තු අග වන විට හෝමූස් සමුද්‍ර සන්ධියේ සහ ඒ අවට වාණිජ යාත්‍රා 2,000 ත් 2,500 ත් අතර ප්‍රමාණයක නාවිකයින් 20,000 ක් පමණ දැනට සිරවී සිටිති ඒ පිළිබඳ තොරතුරු මෙතනින්.
එම සංවිධානය පවා හෝමුස් සමුද්‍ර සන්දිය ආශ්‍රිතව සිරවී ඇති නෞකා ඉවත් කර ගැනීම සඳහා ආරක්ෂිත කොරිඩෝවක් (Safe corridor) සකස් කරන ලෙස ඉල්ලා ඇති අතර, එයින් මෙම බාධාව කෙතරම් බරපතළද යන්න පැහැදිලි වේ.
නවතම පුවත් වාර්තා වලට අනුව, හෝර්මුස් සමුද්‍ර සන්ධිය දැනට සම්පූර්ණයෙන්ම වැසී පවතින අතර, සීමිතව සිදුවන නෞකා චලනයන් පවා ඉතා ඉහළ අවදානමක් යටතේ පාලනය කරනු ලබන බව සඳහන් වේ.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනයේ සැබෑ තත්ත්වය
හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමා නැති බවත්, හිතවත් නෞකා සඳහා ඇතැම් කොන්දේසි යටතේ ගමන් කිරීමට අවසර ඇති බවත් ඉරාන නිලධාරීන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, ප්‍රායෝගිකව එහි සාමාන්‍ය මෙහෙයුම් සිදු නොවේ.
රොයිටර් පුවත් සේවයට අනුව, මෙම මාර්ගය භාවිතා කිරීම සඳහා ඉරාන බලධාරීන් සමඟ සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය වන අතර ඇතැම් රටවලට පනවා ඇති තහංචි හේතුවෙන් ගෝලීය නාවික ක්ෂේත්‍රය තුළ දැඩි අවිනිශ්චිතතාවයක් මතුව තිබේ.
එසේම, ප්‍රහාර එල්ල වීමේ අවදානම, මුහුදු බෝම්බ සහ ඉහළ රක්ෂණ ගාස්තු හේතුවෙන් ලොව ප්‍රමුඛ පෙළේ නැව් සමාගම් සහ රක්ෂණ ආයතන මෙම කලාපය තුළ මෙහෙයුම් සිදු කිරීමට මැලි කමක් දක්වයි. වාර්තා වලට අනුව නාවික ගමනාගමනය විශාල වශයෙන් පහත වැටී ඇති අතර, ඉතා සීමිත නෞකා ප්‍රමාණයක් පමණක් දැඩි පාලනයක් යටතේ ගමන් කරනු ලබයි.
යම් නෞකාවක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළද, එය හුදෙක් සුවිශේෂී අවස්ථාවක් මිස එම නාවික මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත වී ඇති බවට සාක්ෂියක් නොමැත.
Conclusion (අවසාන නිගමනය) :
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ දැක්වෙන්නේ, හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව, නෞකා 2,000ක නාවිකයින් 20,000ක් සිරවී ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් නොව, එය සිංගප්පූරු චැංගි ගුවන් තොටුපළට ගොඩබස්වන වාණිජ ගුවන් යානයක සිට රූගත කරන ලද, සිංගප්පූරුව ආසන්නයේ ඇති අධික නාවික තදබදය පෙන්වන සිංගප්පූරු සමුද්‍ර සන්ධියයි.
2026 පෙබරවාරි අග සිට හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතු දැඩි ලෙස අඩාල වී ඇති බව සත්‍ය නමුත්, මෙම වීඩියෝව නොමග යවන සුළු වේ.


