දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
කාලීන වශයෙන් සමාජයේ ආන්දෝලනයට තුඩු දෙන සිදුවීම් හා සම්බන්ධව දේශපාලනඥයින් විවිධ ප්‍රකාශ සිදු කර ඇති බව කියමින් සමාජ මාධ්‍යයේ සටහන් පළ කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. මේ එලෙස නිර්මාණය කරමින් සමාජ මාධ්‍යට මුදා හැර ඇති සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
Claim 01 :
ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින දැනට කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන ඉෂාරා සෙව්වන්දිගේ උපන්දිනයට පොලීසිය කේක් කපා ඇත්තේ ඇගේ මානසිකත්වය ගැන සිතමින් බවටත් එය ඉතාම මානුෂීය තීරණයක් බවටත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් සිදු කර ඇතැයි, කියමින් මෙම සටහන පළ කර ඇත්තේ, Newswire නිල ෆේස්බුක් පිටුවේ සටහන් ආකෘතියට සමානවයි.

මෙහි නිර්වද්‍යතාව පරීක්ෂා කර බැලීමට මෙලෙස පියවර ගත්තා.
Fact Check 01:
ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පසුව නේපාලයට පලා ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කරමින් සිටින ඉෂාරා සෙව්වන්දිගේ උපන්දිනය වෙනුවෙන් සාදයක් සූදානම් කිරීමේ පුවතක් පිළිබඳව පසුගිය දා මාධ්‍ය බොහාමයක් මෙලෙස, මෙලෙස සහ මෙලෙස තොරතුරු වාර්තා කර තිබුණා. එම සිදුවීම සම්බන්ධයෙන් එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
ඒ අනුව මෙම සිදුවීමට අදාළව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සිදුකර ඇතැයි පැවසෙන, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශය සහිත සටහන Newswire ආකෘතියට සමාන බැවින් අප මූලිකවම එම ෆේස්බුක් පිටුව පරීක්ෂාවට ලක් කළා. නමුත් අප සිදු කළ පරීක්ෂාවේදී එම ෆේස්බුක් පිටුවේ හෝ වෙබ් අඩවියේ හෝ එවැනි සටහනක් හෝ පුවතක් වාර්තා කර නොමැති බව තහවුරු වුණා.
මේ අතර ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් Newswire අවධාරණය කර ඇත්තේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසණය වන ආකාරයේ සටහනක් සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කර නොමැති බවයි. සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන අදාළ සටහන Newswire සටහන් ආකෘතිය සහ නිල ලාංඡනය ව්‍යාජ ලෙස යොදාගනිමින් සකසන ලද අසත්‍ය සටහනක් බව ද එහි සඳහන් වේ.

සුනිල් වටගල අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්
අප කළ විමසීමකදී මහජන ආරක්ෂක නි. අමාත්‍ය සුනිල් වටගල මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ, නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කර ඇතැයි කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන සම්පූර්ණයෙන් ම අසත්‍යයක් බවයි. එකී සිදුවීමට අදාළව නියෝජ්‍ය අමාත්‍යවරයා කිසිදු ප්‍රකාශයක් සිදු කර නෙමැති බව ද ඔහු සඳහන් කළා.
මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ ද සටහනක් තබමින් පවසන්නේ, අදාළ සටහන අසත්‍යයක් බවයි.

Claim 02 :
තමන්ට කොළඹ සිට මරුටි රථයකින් පොළොන්නරුවට පැමිණීමට නොහැකි බවත්, අමාත්‍යවරයෙකුට රටේ එක තැනක සිට තවත් ස්ථානයකට යාම සඳහා වේගවත් සැප පහසු වාහනයක් අවශ්‍ය බවත් අමාත්‍යවරුන් භාවිත කරන වාහන සමාජ මාධ්‍යයේ පළ කර අමාත්‍යවරුන් පිළිබඳව ජනතාවගේ සිත් තුළ වෛරයක් ඇති කරවීම ශිෂ්ඨ නොවන බවටත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව කියමින් මෙම සටහන පළ කර තිබේ.

විශාල වශයෙන් අදහස් ඉදිරිපත් වී තිබූ සහ හුවමාරු කරගෙන තිබූ මෙම සටහන තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස | Archived Link, මෙලෙස | Archived Link සහ මෙලෙස | Archived Link පළ වී තිබුණා.
මෙහි සත්‍යතාව විමසා පාඨකයින්ගෙන් ද ලද ඉල්ලීම් සලකා අප මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට මෙලෙස පියවර ගත්තා.
Fact Check 02:
පසුගිය සතියේ සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පොළොන්නරුව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවල නිරීක්ෂණ චාරිකාවක නිරතවීම සඳහා V8 මාදිලියේ සුඛෝපභෝගී රථයක් භාවිත කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුළ ද විවිධ කතාබහ නිර්මාණය වී තිබුණා. පසුගිය මාර්තු 24 වනදා මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී යුදමය තත්ත්වය හමුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මුහුණදීම සඳහා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට අමාත්‍යවරයා ජනතාවගෙන් සිදුකළ ඉල්ලීම ද ඈඳා ගනිමින් අමාත්‍යවරයා පොළොන්නරුවට යාම සඳහා V8 රථයක් භාවිත කිරීම දර්ශන ද සහිතව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර තිබූ අකාරය මෙතැනින් සහ මෙතැනින්. මේ අතර අමාත්‍යවරයා සිදු කළ බව කියමින් ඉහත සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වන්නේ එම සිදුවීම පිළිබඳ කතාබහක් වටපිටාක් තුළදීවීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් මෙවැනි වටපිටාවක් තුළ අමාත්‍යවරයෙකුට රටේ එක තැනක සිට තවත් ස්ථානයකට යාම සඳහා වේගවත් සැප පහසු වාහනයක් අවශ්‍ය බවට අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදු කළේ නම්, එය ද ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබිය යුතු වුවත් කිසිදු මාධ්‍යක් විසින් එවැනි පුවතක් වාර්තා කර නොමැත. ඒ අනුව ද සමාජ මාධ්‍ය සටහනේ සත්‍යතාවතක් නොමැති බව යම්තක් දුරකට තහවුරු වේ.
සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයෙන් අමාත්‍යවරයෙකුට රටේ එක තැනක සිට තවත් ස්ථානයකට යාම සඳහා වේගවත් සැප පහසු වාහනයක් අවශ්‍ය බවටත් ආදී වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් අමාත්‍යවරයා විසින් සිදු කර නොමැති බව සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ද අප කළ විමසීමේදී ප්‍රකාශ කළා. මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි. තව ද අමාත්‍යවරයා සමාන්‍යයෙන් භාවිත කරන්නේ, කැබ් රථය වුව ද එම අවස්ථාවේ කැබ් රථය අලුත්වැඩියාවක් සඳහා යොමු කර තිබූ බැවින් එදින අමාත්‍යාංශයෙන් වෙන් කර තිබූ අනෙක් රථය අමාත්‍යවරයාට භාවිත කිරීමට සිදුවූ බව ද මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළා.
මේ අතර අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා තිබුණේ, සමාජ මාධ්‍යයෙහි සංසරණය වන සටහන අසත්‍යයක් බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සෙව්වන්දිගේ උපන්දිනයට පොලීසිය කේක් කපා ඇත්තේ ඇගේ මානසිකත්වය ගැන සිතමින් බවට ප්‍රකාශයක් නොමැති බවත් එවනි සටහනක් Newswire නිල ෆේස්බුක් පිටුවේ ද පළ කර නොමැති බවයි.
මේ අතර අමාත්‍යවරයෙකුට රටේ එක තැනක සිට තවත් ස්ථානයකට යාම සඳහා වේගවත් සැප පහසු වාහනයක් අවශ්‍ය බවටත් ආදී වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා විසින් ද සිදුකර නොමැත.


