දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
2026 පෙබරවාරි 28 වන දින ආරම්භ වූ මෑත කාලීන මැද පෙරදිග යුධ ගැටුම් මේ වන විට දෙවන මාසයට එළඹ තිබෙනවා. 2026 අප්‍රේල් මස මුල් සතිය වන විට මැද පෙරදිග කලාපය දරුණු යුධ ගැටුම් මාලාවකට මැදිවී ඇති අතර, මෙය ප්‍රධාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කළ සෘජු යුද්ධය වටා කේන්ද්‍රගත වී තිබෙනවා. මෙවන් පසුබිමක මැද පෙරදිග යුධ ගැටුම් ලෙස දක්වමින් නොමග යවන සුළු වීඩියෝ පෙළක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
Claim 1 ;
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඉරාන අනතුරු ඇඟවීම් හමුවේ ජීවිත බේරාගැනීම සඳහා ඊශ්‍රායල භූමියෙන් ඉවත් වන ඊශ්‍රායල ජාතිකයන් ලෙස දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.
අදාළ වීඩියෝව සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් කිරීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
යුදෙව් ප්‍රධාන නිවාඩු දිනයක් වන පාස්කු උත්සවයේ ආරම්භයත් සමග ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබුණා. ඒ අනුව පසුගිය බදාදා (අප්‍රේල් 1) රාත්‍රියේ මධ්‍යම ඊශ්‍රායලයේ සයිරන් නැවත නැවතත් නාද වී තිබෙනවා.කෙසේ වෙතත්, ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉරානය තවදුරටත් ඊශ්‍රායලයේ පැවැත්මට තර්ජනයක් නොවන මට්ටමට පත් කර ඇති බවයි. නමුත් භූමියේ පවතින තත්ත්වය තවමත් අවදානම් සහගත බැවින් ජනතාව ප්‍රවේශම් වන ලෙස ආරක්ෂක අංශ නිරන්තරයෙන් අවවාද කරනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්.
ඊශ්‍රායල ජාතිකයන් ඊශ්‍රායලය අත් හැර යන දර්ශනයක් ලෙසින් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ වීඩියෝව හුවමාරු වී තිබුණේ මෙවන් පසුබිමක් තුළයි.
ඒ අනුව අප විසින් එවැනි පුවතක් හෝ අදාළ වීඩියෝව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර ඇත් ද යන්න පරීක්ෂා කළත් එවැන්නක් ඊශ්‍රායල මාධ්‍ය හෝ කිසිඳු ජාත්‍යන්තර මාධ්‍යයක් විසින් වාර්තා කර තිබුණේ නැහැ.
හිමාලයේ දළඹු දිලීරයක් සොයන පුද්ගලයින් දැක්වෙන 2025 මැයි මාසයේදී ලබා ගන්නා ලද වීඩියෝවක්
ඒ අනුව අප විසින් අදාළ වීඩියෝවේ රූප රාමු Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට ලක් කළා. 2025 මැයි 29 වන දින ඩොල්පා නම් ෆේස්බුක් පිටුවක් විසින් ප්‍රකාශයට පත් කරන ලද එම දර්ශන පෙල සහිත මුල් වීඩියෝව සොයා ගැනීමට හැකි වුණා.

නේපාල භාෂාවෙන් අදාළ වීඩියෝවෙහි “රුප් පතන්, ඩොල්පා දිස්ත්‍රික්කයේ යර්චගුම්බා එකතු කරන පුද්ගලයින්.” යනුවෙන් දක්වා තිබූ අතර වීඩියෝවේ මිනිසෙකු නේපාල භාෂාවෙන් “එය විවෘතයි” යනුවෙන් පවසනු ද අසන්නට ලැබෙනවා.
2025 ජුනි 2 වන දින MadeInNepal නම් Instagram ගිණුමක් ඔස්සේද අදාළ වීඩියෝවට සමාන වීඩියෝවක් උඩුගත කර තිබුණේ මෙලෙසින්.

අදාළ වීඩියෝවම Nedo Yatri නම් TikTok ගිණුමක් ඔස්සේ 2025 මැයි 29 වන දින උඩුගත කර තිබුණේ මෙලෙසින්.

චීන දළඹු දිලීරය ලෙසද හැඳින්වෙන සහ “හිමාලයානු වයග්‍රා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන යර්චගුම්බා , ඉතා වටිනා සාම්ප්‍රදායික චීන ඖෂධවලින් එකක් වන අතර චීනයේ රත්‍රන් මිල මෙන් තුන් ගුණයක් දක්වා එය මිල කළ හැකියි.

සෑම වසරකම මැයි සහ ජුනි අතර කාලය තුළ, නේපාලයේ සහ ටිබෙටයේ ගම්වැසියන් දහස් ගණනක් හිමාල කඳු පාමුල දළඹුවන්ගේ ශරීරය මත වැඩෙන පරපෝෂිත දිලීර එකතු කරනු ලබනවා.

ඒ අනුව අදාළ වීඩියෝව හිමාලයේ දළඹු දිලීරයක් සොයන පුද්ගලයින් දැක්වෙන වීඩියෝවක් බවත් එය 2025 මැයි මාසයේදී ලබා ගන්නා ලද වීඩියෝවක් බවත් ඒ අනුව පැහැදිලි වනවා.
Claim 2 ;
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඊශ්‍රායල ජාතිකයන් සයිප්‍රසයට පලා යන ආකාරය ලෙස දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.
අදාළ වීඩියෝව සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් කිරීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
2025 ජුනි මාසයේදී ඉරානය සහ ඊශ්‍රායලය අතර පැවති දින 12 ක යුද්ධය අතරතුර, ඊශ්‍රායල ජාතිකයන් යම් පිරිසක් සයිප්‍රසයට වෙත ගමන් ගෙන ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණ ද, මෑත කාලීනව උද්ගත වී ඇති මැදපෙරදිග යුධ ගැටුම් මධ්‍යයේ ඊශ්‍රායාල් ජාතිකයන් සයිප්‍රසය වෙත පලා යමින් සිටින බව දක්වන නිල තොරතුරු කිසිවක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ නැහැ.
2026 මාර්තු මස මුලදී ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමෙන් පසු ලෙබනනයේ දහස් ගණනක් ජනතාව පලා යාමට උත්සාහ කරන විට ඇතිවූ රථවාහන තදබදයක්
ඒ අනුව අප විසින් අදාළ වීඩියෝවේ රූප රාමු Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට ලක් කළා. ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට පහර දෙන විට එහි ජනතාව පලා යන ආකරය ලෙස දක්වමින් Eye on Palastine නම් Instagram ගිණුම ඔස්සේ අදාළ වීඩියෝව පල කර තිබුණේ මෙලෙසින්.

ජාත්‍යන්තර මාධ්‍ය විසින් අදාළ වීඩියෝව පල කර තිබුණේ මෙලෙසින්.

2026 මාර්තු මස මුලදී ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමෙන් පසු ලෙබනනයේ දහස් ගණනක් ජනතාව පලා යාමට උත්සාහ කරන විට ලෙබනනයේ දැවැන්ත රථවාහන තදබදයක් ඇති වූ ආකාරය අදාළ වීඩියෝවේ දැක්වෙනවා.
2026 මාර්තු මස මුලදී, ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම සැලකිය යුතු ලෙස උත්සන්න වූ අතර, මාර්තු 2 වන දින පමණ වන විට ඉරානයට එල්ල වූ එක්සත් ජනපද ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර සහ ඉරානයේ උත්තරීතර නායකයාගේ මරණය වාර්තා වීමෙන් පසුව මෙම තත්වය ආරම්භ වුණා. හිස්බුල්ලා සංවිධානය 2024 නොවැම්බර් මාසයේ පිහිටවූ සටන් විරාමය බිඳ දමමින් ඊශ්‍රායලයට මහා පරිමාණ රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ අතර, ඊට ප්‍රතිචාර වශයෙන්, ඊශ්‍රායලය බේරූට් සහ දකුණු ලෙබනනයේ ගුවන් ප්‍රහාර ඇතුළු දැවැන්ත ප්‍රහාරය මාලාවක් එල්ල කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මාර්තු අග වන විට ලෙබනනයේ 1,000 කට අධික පිරිසක් මිය ගොස් මිලියනයකට අධික ජනතාවක් අවතැන් වී තිබුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.
Claim 3 ;
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඩුබායි වෙත එල්ල වූ ප්‍රහාරයක් ලෙස දක්වමින් ගොඩනැගිල්ලක් ගිනි ගෙන ඇති ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
අදාළ වීඩියෝව සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් කිරීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මෑතකාලීන මැදපෙරදිග අර්බුදය හමුවේ ඩුබායි වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් සුන්බුන් වැටීම ඇතුළු සිදුවීම් කිහිපයක් ඇති වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගිනි ගැනීම් සහ ගොඩනැගිලිවලට හානි සිදු වීම් කිහිපයක් වාර්තා වී තිබුණා.
2026 පෙබරවාරි/මාර්තු මාස වල කලාපයේ දැඩි ගැටුම් හමුවේ ඉරාන ප්‍රහාර ඩුබායි ඇතුළු ගල්ෆ් කලාපයේ විවිධ ප්‍රදේශ ඉලක්ක කර ක්‍රියාත්මක වුණා. ඒ අනුව ඩුබායි හි බර්ජ් අල් අරාබි හෝටලයේ පිටත සුළු ගින්නක් ද, ඩුබායි මූල්‍ය මධ්‍යස්ථානය අසල ඩ්‍රෝන යානයක් කඩා වැටීමක් ද සහ පාම් ජුමෙයිරා ප්‍රදේශයේ ෆෙයාර්මොන්ට් ද පාම් හෝටලයේ ගින්නක් ද ඇති වී තිබුණා. එසේම ජෙබෙල් අලි වරායට සහ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට සුළු හානි සිදු වී තිබුණා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.
කෙසේ නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව හෝ එම ගොඩනැගිල්ල දැක්වෙන වෙනත් වීඩියෝවක් මෑතකාලීන ප්‍රහාර හමුවේ හානි සිදු වූ ගොඩනැගිලි අතර වාර්තා කර තිබුණේ නැහැ.
2025 සැප්තැම්බර් 23 වන දින ඩුබායි හි අල් බර්ෂා ප්‍රදේශයේ සාලේ බින් ලහෙජ් ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නක්
ඒ අනුව අප විසින් අදාළ වීඩියෝවේ රූප රාමු Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට ලක් කළා. එහිදී තහවුරු වූයේ අදාළ වීඩියෝව 2025 සැප්තැම්බර් 23 වන දින ඩුබායි හි අල් බර්ෂා ප්‍රදේශයේ සාලේ බින් ලහෙජ් ගොඩනැගිල්ලේ ඇති වූ විශාල ගින්නක් දැක්වෙන වීඩියෝවක් බවයි.

අදාළ ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ එමිරේට්ස් සාප්පු සංකීර්ණයේ සිට මීටර් කිහිපයක් දුරින් වන අතර, ගින්න හටගෙන මිනිත්තු කීපයක් ඇතුළත හදිසි ගිනි නිවම කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ගින්න මැඩපවත්වා තිබෙනවා. අදාළ අනතුරින් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක් වාර්තා වී නොමැති අතර මහල් 14 කින් යුත් ගොඩනැගිල්ලෙන් පදිංචිකරුවන් 150 ක් පමණ ආරක්ෂිතව ඉවත් කර තිබෙනවා.ඩුබායි සිවිල් ආරක්ෂක අංශය විසින් ගින්න නිවා දැමීමට ජලය ටැංකි වලින් සමන්විත ෂහීන් ඩ්‍රෝන යානා සාර්ථකව යොදවා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් හි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් තහවුරු කර තිබුණේ මෙලෙසින්.

Claim 4 ;
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායල සෙබලුන් සහ යුද ටැංකි අල්ලා ගන්නා අවස්ථාවක් ලෙස දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
අදාළ වීඩියෝව සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් කිරීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
2026 අප්‍රේල් මස මුල් සතිය වන විට ඊශ්‍රායල හමුදාව සහ හිස්බුල්ලා සංවිධානය අතර පවතින ගැටුම් දරුණු මට්ටමකට පැමිණ තිබේ. 2026 මාර්තු 2 වන දින ඇරඹුණු මෙම යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට ලෙබනනයේ පුද්ගලයන් 1,300කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර, ලක්ෂ 10කට ආසන්න පිරිසක් අවතැන් වී තිබෙනවා.
මෙවන් පසුබිමක් තුළ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායල සෙබලුන් සහ යුද ටැංකි අල්ලා ගන්නා අවස්ථාවක් ලෙස දක්වමින් හුවමාරු වන අදාළ වීඩියෝව කිසිඳු ජාත්‍යන්තර මාධ්‍යයක් හෝ පිළිගත හැකි විශ්වසනීය මූලාශ්‍රයක් ඔස්සේ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායල සෙබලුන් සහ යුද ටැංකි අල්ලා ගන්නා අවස්ථාවක් ලෙස දක්වමින් වාර්තා කර තිබුණේ නැහැ.
සිරියානු විපක්ෂ කණ්ඩායම් විසින් බටහිර ඇලෙප්පෝ ප්‍රදේශයේ සිරියානු රජයේ හමුදා ස්ථාන ඉලක්ක කර ගනිමින් දියත් කරන ලද සටනක්
ඒ අනුව අප විසින් අදාළ වීඩියෝවේ රූප රාමු Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට ලක් කළා. එහිදී 2024 දෙසැම්බර් 5 වන දින පල කරන ලද අදාළ වීඩියෝවේ පැරණි අනුවාදයක් හමුවුණා. එහි සඳහන් වූයේ සිරියානු විපක්ෂ කණ්ඩායම් විසින් “ආක්‍රමණය වැළැක්වීමේ” මෙහෙයුම දියත් කිරීමෙන් පසුව, අසාද් රජයේ හමුදාවන්ට අයත් ටැංකියක කාර්ය මණ්ඩලය සිරියානු විපක්ෂ සටන්කරුවන් විසින් අල්ලා ගන්නා ලද බවයි.

“ආක්‍රමණය වැළැක්වීමේ මෙහෙයුම” යනු 2024 නොවැම්බර් 27 වන දින “හයාත් තහ්රිර් අල්-ෂාම්” නායකත්වයෙන් යුත් සිරියානු විපක්ෂ කණ්ඩායම් විසින් බටහිර ඇලෙප්පෝ ප්‍රදේශයේ සිරියානු රජයේ හමුදා ස්ථාන ඉලක්ක කර ගනිමින් දියත් කරන ලද මිලිටරි ප්‍රහාරයකි. මෙයින් පසුව පාලන තන්ත්‍රයේ ආරක්ෂක අංශ වල බිඳවැටීමක් සිදු වූ අතර, එමඟින් ඇලෙප්පෝ නගරය සහ එහි ගම්බද ප්‍රදේශ විශාල ප්‍රමාණයක් විපක්ෂය විසින් අල්ලා ගනු ලැබුවා.
Claim 5 ;
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඊශ්‍රායල් හමුදාව තුළ විශාල බිද වැටීමක් සිදු වී ඇති බවත් සෙබලුන් යුද්ධයට විරුද්ධව කැරලි ගසා ඇති බවත් දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.
අදාළ වීඩියෝව සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් කිරීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මැදපෙරදිග යුධ අර්බුදය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින පසුබිමක ඊශ්‍රායල් හමුදාව තුළ කඩා වැටීමක් හෝ යුද්ධයට විරුද්ධව කැරලි ගැසීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ නැහැ.
2024/11/05 වන දින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සේවයෙන් පහ කිරීමෙන් පසු පැවති උද්ඝෝෂණයක දී ඊශ්‍රායල පොලිසියේ සාමාජිකයින් ගමන් ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ පටයක්
ඒ අනුව අප විසින් අදාළ වීඩියෝවේ රූප රාමු Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට ලක් කළා. එහිදී තහවුරු වූයේ අදාළ වීඩියෝව2024/11/05 වන දින හිටපු ඊශ්‍රායල ආක්‍රමණික හමුදා අමාත්‍ය යෝව් ගැලන්ට් සේවයෙන් පහ කිරීමෙන් පසු පැවති විරෝධතා උද්ඝෝෂණයක දී ඊශ්‍රායල පොලිසියේ සාමාජිකයින් ගමන් ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් බවයි.


ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් ධුරයෙන් පහ කිරීමට විරෝධය පළ කරමින් හයිෆා, ටෙල් අවිව් සහ ජෙරුසලම ඇතුළු නගර කිහිපයක දහස් ගණනක් ඊශ්‍රායල ජාතිකයින් වීදි බැස සිටි බවත් ගැලන්ට්ගේ සේවයෙන් පහ කිරීමට එරෙහිව හයිෆා හි ඊශ්‍රායල පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ප්‍රචණ්ඩ ගැටුම් ඇති වූ බවත් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබුණා. 2024/11/05 වන දින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සේවයෙන් පහ කරන බව නිවේදනය කර ඇති අතර පවතින හමුදා මෙහෙයුම් කළමනාකරණය කිරීම කෙරෙහි තමා විශ්වාස නොකරන බව පවසමින් එම ඉවත් කිරීම සිදු කර තිබෙනවා. ගැලන්ට්ගේ සේවයෙන් පහ කිරීමට විරෝධය පළ කරමින් 2024/11/5 දින සවස ඊශ්‍රායලයේ විවිධ ප්‍රදේශවල මහජන පෙළපාලි ගණනාවක් පැවැත්වුණු අතර විරෝධතාකරුවන් පැය 4 ක් පමණ ප්‍රධාන අයලෝන් වීදිය වසා දමා නෙතන්යාහු හෙළා දකිමින් සටන් පාඨ කියමින් සිට තිබෙනවා. 2024/06/11 බදාදා සවස Knesset ගොඩනැගිල්ල ඉදිරිපිට දහස් ගණනක් විරෝධතා දැක්වා ඇති අතර, පසුව මෙම ධුරයෙන් පහ කිරීම ප්‍රතික්ෂේප කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නිවසටද ගොස් තිබෙනවා.
අපගේකරුණුවිමර්ශනපිළිබඳතොරතුරුදැනගැනීමටඑක්වන්න
Facebook| Twitter| Instagram| Google News| TikTok


