ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධූර බෙදන ක්‍රමය හරියටම දැන ගන්න!

Election Awareness Parliamentary Election

මහ මැතිවරණයක දී දිස්ත්‍රික්ක මට්ටමේ ආසන වෙන් කිරීමෙන් පස්සේ හුඟ දෙනෙක්ගේ අවධානය යොමුවෙන්නේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධුර 29 බෙදෙන්නේ කොහොමද කියන කාරණයයි.

මහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී දිස්ත්‍රික්ක පදනමින් ඔබ කැමතිම එකම පක්ෂයක අපේක්ෂකයින්, උපරිම වශයෙන් තුන්දෙනෙක්ට ඡන්දය ලබා දෙන්න පුළුවන් වුනත්, ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ට මනාප පළ කිරීමට අවස්ථාවක් මබට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මේ මන්ත්‍රී ධුර බෙදී යන්නේ අදාළ පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම්, මුළු දිවයිනෙන්ම ලබාගන්නා සමස්ත ඡන්ද ප්‍රමාණය මත වීම නිසයි.

ඉතින් සමානුපාතික ක්‍රමයට පවැත්වෙන මෙම ඡන්දයේ, ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධූර 29, එක් එක් පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම අතර බෙදෙන්නේ කොහොම ද කියලා අප මෙවර මහ මැතිවරණයේ ප්‍රථිඵල හරහා විමසා බලමු.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව සෙවීම සඳහා පළමු වෙන්ම කළ යුතු දෙය නම්, දිවයිනේ වලංගු මුලු ඡන්ද සංඛ්‍යාව වන 11,148,006 ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධූර 29 න් බෙදීමයි.

ඉන්පසු එක් එක් පක්ෂයට හිමිවන ආසන ගණන බැලීම සඳහා එක් එක් පක්ෂය හෝ  ස්වාධීන කණ්ඩායම දිවයිනෙන් ම ලබා  ඇති ඡන්ද සංඛ්‍යාව, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාවෙන් බෙදනු ලබනවා.

මෙලෙසින් ගණනය කිරීමෙන් පසු ලැබෙන අගය, පූර්ණ සංඛ්‍යාවට වටයා ඡන්ද ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම් සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන පළමු වටගේ ගණනය කිරීමේ දී හිමිවෙනවා.

එනම්, වැඩිම ඡන්ද ලබාගත් පිළිවෙළට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පෙළගස්වා ඉහත ලැබෙන අගයෙන් බෙදා එක් එක් පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව තීරණය කරනවා.

මෙවර ප්‍රතිඵල පරික්ෂා කිරීමේදී පැහැදිලි වන්නේ 3.44% ට වඩා සමස්ත ඡන්ද ප්‍රතිශතයක් (ඡන්ද ප්‍රමාණය අනුව කිව්වොත් ඡන්ද 384,414 කට වඩා) ලැබිල තියෙන්නේ පක්ෂ 3කට විතරයි.

ඒ පක්ෂ නම්,

  • ජාතික ජන බලවේගය (මාලිමාව) – 61.56%
  • සමගි ජන බලවේගය (ටෙලිෆෝනය) 17.66%
  • නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (සිලින්ඩරය) – 4.49%) පමණයි.

හරියටම මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර බෙදිලා ගියේ කොහොම ද ?

සරලව පැවසුවොත්, කලින් ගණනය කරපු, මෙවර එක ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ආසනයකට අවශ්‍ය  වූ ඡන්ද සංඛ්‍යාව වන 384,414 ට සාපේක්ෂව එක් එක් පක්ෂය ආසන කීයක් ලබාගත්තේ ද ගන්න තමයි මෙහිදී ගණනය කෙරෙන්නේ.

මෙවර 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී, වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් ජාතික ජන බලවේග පක්ෂයට, මේ විදියට කරපු පළමු වටයේ ගණනයේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 17ක් ලැබෙනවා. ඉන්පසුව ද එම පක්ෂයේ මුළු ඡන්ද ගණනින් තවත් ඡන්ද 328,148 ක් ඉතිරි වන බැවින් එය දෙවන වටයේ ගණනයට ඉතිරි වෙනවා.

එය හිමිවුනේ ඔවුන් ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව වන 6,863,186 (හැට අටලක්ෂ හැටතුන්දහස් එකසිය අසූ හය) මෙවර එක ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ආසනයකට අවශ්‍ය  වූ ඡන්ද සංඛ්‍යාව වන 384,414 න්  බෙදු ලැබුනු පිලිතුර වන 17.85 අනුවයි.

මේ විදියටම ගණනය කරාම දෙවනියට ඡන්ද ලබාගෙන තිබු සමගි ජන බලවේගයට ලැබෙන අගය වන්නේ 5.12 ක්, ඒ අනුව ආසන 5 කුත් දෙවන වටයට ඉතිරි ඡන්ද 46,646 කුත් ඔවුන්ට ලැබුනා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණටත්, මේලෙසින් එක් අසනයකුත් දෙවන වටයේ ගණනයට ඉතිරි ඡන්ද 116,421 කුත් තිබෙනවා.

හැබැයි මේ පළමු වටගේ ගණනය කිරීමෙන් පස්සේ දැනට වෙන් වෙලා තියෙන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගණන (17+5+1) 23 කි. ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 6 ද දැන් පක්ෂ හා ස්වාධින කණ්ඩායම් අතරට බෙදීම සිදු කළ යුතු වනවා.

දැනට ගණනට ලබා නොගත්, මීළඟට ඡන්ද ලබාගෙන තිබු සෙසු ඉදිරියෙන්ම සිටින පක්ෂ මෙන්ම, NPP, SJB, NDF පක්ෂවල ඉහත ගණන කිරීමෙන් ඉතුරු වෙලා තිබෙන ඡන්ද ප්‍රමාණයත් සලකමින් තමයි දැන් දෙවන වටගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර බෙදී යාම සිදුවන්නේ.

ඉතින් මෙතැනින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් තිබෙන පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම්වලට තමයි දැන් ආසන වෙන් වන්නේ.

ඒ අනුව ඡන්ද 350,429ක් ලබාගත් පොදුජන පෙරමුණටත්, ඉතිරි ඡන්ද 328,148ක් තිබෙන ජාතික ජන බලවේගයටත්, ඡන්ද 257,813ක් ලබාගත් ඉලංගෛ තමිල් අරුස කච්චි පක්ෂයටත්, ඡන්ද 178,006 ලබාගත් සර්වජන බලයටත්, ඉතිරි ඡන්ද 116,421ක් තිබෙන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණටත් , අවසාන වශයෙන් ඡන්ද 87,038 තියෙන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට අවසාන ආසනයත් ලෙසින් ඉතිරි ආසන 6 බෙදිලා යනවා.

ඒ අනුව ඡන්ද 83,438ක් ලබාගත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයට හෝ ඡන්ද  66,234ක් ලබාගත් එකසත් ජාතික පක්ෂයට හෝ මෙවර ජාතික ධුර මන්ත්‍රී ආසනයක් හිමිවෙන්නේ නැහැ. ඒ වගේම සමගි ජන බලවේගයට දෙවන වටයට ඉතිරි ඡන්ද 46,646ක් පමණක් තිබෙන නිසා ඔවුන්ටත් දෙවන වටයේ දී ආසනයක් ලැබෙන්නේ නැහැ.

හැබැයි ගිය වර, 2020 පර්ලිම්නේතු මැතිවරණයේ දී ඡන්ද බෙදී තිබු ආකාරය අනුව ඡන්ද හැට අට දහසකට අඩුවෙන් ගත් පක්ෂ දෙකකටත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමිවුනත්, මෙවර එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය ඡන්ද අසු තුන්දාහකටවඩා ඡන්ද ලබාගත්තත් ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්රිධුරයක් හිමිවන්නේ  නැහැ. එයට හේතුව මෙවර ඡන්ද පක්ෂ අතරේ බෙදී ගිය අනුපාතයයි.

ඉතින් මේ විදියට ගණනය කරාම අවසාන වශයනේ ජාතික ජන බලවේගයට 18ක් (17+1), සමගි ජන බලවේගයට 5ක්, නව ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණට  2ක් (1+1) , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට  1 ක් , ඉලංගෛ තමිල් අරුස කච්චි පක්ෂයට 1ක්, සර්වජන බලයට 1ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට 1ක් ලෙස තමයි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29 බෙදිලා යන්නේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර බෙදී ගිය හැටි ඔබට පහත වගුවෙන් තව දුරටත් පැහැදිලිව දැකගන්නට පුළුවන්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *