දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ETCA හෙවත් ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් කාලයක සිට විවිධ මත පළ වෙමින් තිබෙන අතර ඇතැම් දේශපාලන පක්ෂ හා වෘත්තීයවේදීන් මේ ගිවිසුම සම්බන්ධයෙන් විවේචනාත්මක මත පළ කරනු ලබනවා.
එක්ටා ගිවිසුම සම්බන්ධයෙන් වූ කථිකාව නැවත කරලියට පැමිණෙන්නේ, නව ජනපති අනුර දිසානායකගේ ඉන්දීය සංචාරයත් සමඟයි. ජනපති අනුර විපක්ෂය නියෝජනය කරන කාලයේ සහ මැතිවරණ වේදිකාවේ ඉන්දීය ගිවිසුම් පිළීබඳව දැක්වූ විරෝදාකල්ප හේතුවෙන් නව ආණ්ඩුවේ ඉන්දීය සබඳතා පිළිබඳ බොහෝ දෙනෙක්ගේ දැඩි අවදානයක් යොමුව තිබෙනවා.
ජනපති අනුරගේ ඉන්දීය සංචාරය අතර බොහෝ දෙනෙක් එට්කා ගිවිසුම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කර තිබුණු අතර මෙම ගිවිසුමට ජනාධිපති අනුර ඉන්දීය සංචාරය අතරතුර අත්සන් තබා ඇති බවට ද සටහන් හුවමාරු වී තිබුණා. එබැවින් අප ඒ පිළීබඳව කරුණු පරීක්ෂා කර බැලීමට තීරණය කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
ජනපති අනුර ඉන්දීය සංචාරය අතරතුර එට්කා ගිවිසුම අත්සන් කළ බවට සමාජ මාධ්‍ය සටහන් පළවී තිබුණේ මේ අයුරින්.
තව ද ජනපතිගේ ඉන්දීය සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි පද්ධතියක් සහ තෙල් නළයක් සම්බන්ධ කිරීමට එකඟ වූ බවටත් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මේ අයුරින්.
මෙම සටහන්වල දැක්වෙන ලෙස ජනාධිපති අනුර ඉන්දීය සංචාරය අතරතුර එට්කා ගිවිසුම අත්සන් කළා ද සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි පද්ධතියක් සහ තෙල් නළයක් සම්බන්ධ කිරීමට එකඟ වුණා ද යන්නත් අප සොයා බැලීමක් කළා.
කරුණු විමර්ශණය (Fact Check)
ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 15 වන දින ඉන්දියාවේ තෙදින නිල සංචාරයකට එක් වූ අතර 17 වන දා නැවත මෙරටට පැමිණියා. ඉන්දියානු සංචාරයේදී ජනාධිපති අනුර දිසානායක මහතා පිළිගැනීම සඳහා ඉන්දීය අගමැති අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ එරට ජනාධිපතිනිය වන දෟපති මුර්දු මහත්මිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රකයින් රැසක් එක්ව සිටිය අතර මහත් හරසරින් නිල උත්සවයකින් ජනාධිපති අනුරව ඉන්දියාවෙන් පිළිගනු ලැබුවා.
එමෙන්ම ජනපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර ද්වීපාර්ශවික සාකච්ඡාවක් 16 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නිල රැස්වීම් ස්ථානය වන හයිද්‍රාබාද් මන්දිරයේදී පැවැත්වුණා.
මෙහිදී මූලිකවම, ආරක්ෂක සහ බලශක්ති සහයෝගීතාවය, ආර්ථික ආධාර සම්බන්ධයෙන්,ඩිජිටල් යටිතල පහසුකම්, ධීවර සහ දමිළ සංහිඳියාව යන කරුණු සාකච්ඡා කර තිබෙනවා. මෙහිදී මූලිකවම බොහෝදෙනාගේ අවධානය යොමු වූ කරුණ නම් ඉන්දීය වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් මෙම සංචාරය තුළ කරුණු ඉදිරිපත් වී තිබේද යන්නයි. මෙම සාකච්ඡා සිදුවන අතරතුර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි සහ විපක්ෂයෙහි ද දීර්ඝ මත ගැටුම් මෙම ETCA හෙවත් ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සිදුවුණා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ETCA හෙවත් ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි පද්ධතියක් සහ තෙල් නළයක් සම්බන්ධ කිරීමට එකඟ වුණා ද?
ජනාධිපති අනුර දිසානායකගේ ඉන්දීය සංචාරයත් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි සහ ජනපති අනුර ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් නැවත සාකච්ඡාවක් කරළියට ගෙන තිබීම විශේෂිත වන අතර ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුමෙහි අඩංගු වූ කරුණු කිහිපයක් ඔවුන් අතර සාකච්ඡා වී තිබීම දක්නට පුලුවන. නමුත් ජනාධිපති අනුර එට්කා ගිවිසුම සම්බන්ධයෙන් එකඟ වූ බවට හෝ අත්සන් කිරීම සම්බන්ධයෙන් වූ කිසිදු කරුණක් මෙම සාකච්ඡාවේදී සිදුකර ඇති බවට තොරතුරු වාර්තා නොවී ය.
එට්කා වැනි ආන්දෝලනයට තුඩු දුන් ගිවිසුමක් ජනාධිපති අනුර අත්සන් කළේනම් එය මෙරට ප්‍රධාන පුවතක් ලෙස වාර්තාවන නමුත් එවැනි වාර්තා කිරීම් ජනාධිපති අනුරගේ ඉන්දීය සංචාරය අතරතුර හෝ ඉන් පසුව සිදුව ඇති බවක් දැකගත නොහැකි විය.
ජනාධිපති අනුරගේ ඉන්දීය සංචාරය අතරතුර සිදු වූ සාකච්ඡා පිළිබඳව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ තොරතුරු වාර්තා කර ඇති අතර එහි සඳහන් වන්නේ, ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුමෙහි අඩංගු වූ කරුණු මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ බවයි. නමුත් එහි එට්කා ගිවිසුමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නෑ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි පද්ධතියක් සහ තෙල් නළයක් සම්බන්ධ කිරීමට එකඟ වූ බවටත් එම නිවේදනයේ තොරතුරු සඳහන් වන්නේ නෑ.
එහි සඳහන් වන්නේ, එම යෝජනා සලකා බැලීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවන බවයි.
BBC සිංහල සේවය ද ජනාධිපති අනුරගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් ලිපියක් පළ කර ඇති අතර එහි ද සඳහන් වන්නේ, ඉන්දිය- ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA) දෙරට අතර වෙළඳ හවුල්කාරිත්වය වැඩිදියුණු කර ඇති බවත්, ඉන්දියාවේ ආර්ථික වර්ධනයේ වේගය සහ අවස්ථාවන් අවධාරණය කරමින් වෙළඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට විශාල හැකියාවක් ඇති බව දෙරටේ රාජ්‍ය නායකයින්ගේ අවධානයට යොමු වූ බවයි.
එහි ද එට්කා ගිවිසුමක් අත්සන් කිරීමක් පිළිබඳව හෝ ඊට එකඟ වූ බවක් හෝ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි පද්ධතියක් සහ තෙල් නළයක් සම්බන්ධ කිරීමට එකඟ වූ බවක් සඳහන් වන්නේ නෑ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කිහිපයක් ද අප පරීක්ෂා කර බැලූ අතර එම පුවත් තුළ ද ජනාධිපති අනුර සහ ඉන්දියාව අතර එට්කා ගිවිසුම අත්සන් කිරීමක් සිදු වූ බවට හෝ හෝ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි පද්ධතියක් සහ තෙල් නළයක් සම්බන්ධ කිරීමට එකඟ වූ බවක් සඳහන් වන්නේ නෑ. එම වාර්තා කිරීම් මෙතනින් සහ මෙතනින්.
විදේශ කටයුතු අමාඅත්‍ය විජිත හේරත්
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊයේ(20) ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදි ඔහු කියා සිටියේ, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ඉන්දීය සංචාරයේදී එට්කා ගිවිසුමට අත්සන් නොතැබූ බවත් එට්කා පිළිබඳව මෙතෙක් ඇති වී තිබෙන එකඟතාවන් තවත් සාකච්ඡාවලට භාජනය කරමින් සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට පමණක් ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බවයි.
එට්කා ගිවිසුම එසේත් නැතිනම් ශ්‍රී ලංකා – ඉන්දීය ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක්, සංවාදයක් කාලයක සිට පැවත එන බවත්, ජනාධිපතිවරයා රටට හානිදායි කිසිම ගිවිසුමකට අත්සන් නොතබන බවත් එහිදී අමාත්‍යවරයා මෙහිදී පැවැසුවා.
ඉන්දීය සංචාරයෙන් පසුව එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරන බවට කටකතා පැතිර ගිය බවත් එය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත් ඔහු ප්‍රකාශ කළ අතර දෙරට අතර මීට දශක කීපයකට පෙර අත්සන් තැබූ නිදහස් වෙළඳ ගිවිසුම අලුත් කර ඉදිරියට ගෙන යාමටද රජය බලාපොරොත්තු වන බවත් ඒ සඳහා සාකච්ඡා පැවැත්විය යුතු බවට දෙපාර්ශ්වය එකඟ වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.
සමස්ථයක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කර ගත්තේ අවබෝධතා ගිවිසුම් දෙකක් පමණක් බව අමාත්‍ය විජිත හේරත් පැවැසුවා.
ඉන් එක් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේ මෙරට රාජ්‍ය සේවකයන්ට රාජ්‍ය සේවය පිළිබඳ පුහුණුවක් ලබාදීම සඳහා බවත් ඒ යටතේ අවුරුදු පහක කාලයක් තුළ එක් රාජ්‍ය සේවයකුට සති දෙකක පුහුණු කාලයක් ලැබෙන පරිදි රාජ්‍ය සේවකයන් 1500 කට ඉන්දියානු රාජ්‍ය සේවයේ පුහුණු කිරීමේ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලැබුණු බවත් අමාත්‍යවරයා පැවැසනු ලැබුවා.
අනෙක් අවබෝධතා ගිවිසුම අත්සන් කරනු ලැබුවේ දෙරට අතර පවතින බදු ක්රමයන් යටතේ ද්විත්ව බදු පැනවීම වැළැක්වීමට බවද අපේ රටේ යම් ව්‍යාපාරයක් ඉන්දියාවේ කටයුතු කරනවා නම් හෝ ඉන්දියාවේ යම් ව්‍යාපාරයක් මෙරට කටයුතු කරනවා නම් එම ව්‍යාපාරයට එකම කරුණට දෙරටේම බදු ගෙවීමේ ක්‍රමය වළක්වා ගැනීම එහි හරය වූ බවද අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.මෙම අවබෝධතා ගිවිසුම දෙරටටම වාසිදායක වූ බවද අමාත්‍යවරයා පැවැසුවා.
මෙම කරුණු දෙක හැර වෙනත් කිසිම කරුණක් සම්බන්ධයෙන් නිශ්චිත එකඟතාවයන්ට නොපැමිණි බවද ඔහු අවධාරණය කළා.
තවත් යෝජනා පිළිබඳව, තාක්ෂණික කටයුතු පිළිබඳව සහ ඇතැම් ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් දෙරට අතර දීර්ඝකාලීන සාකච්ඡා පැවැත්වුණු බවද ඔහු පැවැසු අතර සාකච්ඡා කළා යනු ගිවිසුම්වලට එළැඹීමක් නොවන බවද ඔහු ප්‍රකාශ කරනු ලැබුවා.
ඒ අනුව මේ කරුණු වලින් පැහැදිලි වන්නේ, ජනාධිපති අනුර එට්කා ගිවිසුමට අත්සන් නොතැබූ බවත් එට්කා පිළිබඳව මෙතෙක් ඇති වී තිබෙන එකඟතාවන් තවත් සාකච්ඡාවලට භාජනය කරමින් සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට පමණක් එකඟ වී ඇති බවයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
කෙසේ නමුත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ජනපති අනුර දිසානායක මහතා ඉන්දු ලංකා සහයෝගීතාවය තව දුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද ETCA ගිවිසුම සමඟින් ඉදිරියට යාම යාම පිළිබඳව තමන් ජනපති අනුරට ප්‍රශංසා කරන බවට එහි දක්වා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රිණී ලක්මාලි හේමචන්ද්‍ර
පාර්ලිමේන්තු මන්ත්‍රිණී ලක්මාලි හේමචන්ද්‍ර පසුගිය දා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධි ධාරිතා විදුලි ජාල අන්තර් සම්බන්ධතාවයක් ස්ථාපිත කිරීම පිළිබඳවත්, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් ඉදිකිරීම පිළිබඳවත් ජනාධිපති අනුර ඉන්දියාව සමඟ එකඟ වූ බවට විපක්ෂය සිදුකරන චෝදනා අසත්‍ය වන බවයි.
මන්ත්‍රීවරිය පෙන්වාදෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ප්‍රකාශයේ පැහැදිලිව පෙන්වා දෙන්නෙ, මෙම අධි ධාරිතා විදුලි ජාල ඉදි කිරීම සහ තෙල් නළ පිළිබඳව සාකච්ඡා මට්ටමේ පවතින බව වන බවයි. එනම් මේවාට ජනාධිපති අනුර එකඟතාව පළ කර නොමැති බව මන්ත්‍රීවරිය පෙන්වා දෙනවා.
ETCA ගිවිසුම
ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA), 1998 දී අත්සන් කර 2000 දී ක්‍රියාත්මක කළ අතර එම ගිවිසුම මඟින් වෙළඳ බාධක අඩු කිරීම සහ භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීම සඳහා පහසුකම් සැලසීම මඟින් ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කර තිබෙනවා.
රටවල් දෙකක්. කාලයාගේ ඇවෑමෙන්, මෙම සහයෝගීතාවය පුළුල් කිරීම සඳහා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) වැනි අතිරේක ගිවිසුම් යෝජනා යෝජනා මඟින් දක්වා ඇත. 2016 සිට 2023 දක්වා වට 12ක් යටතේ මෙම සාකච්ඡා පැවතී ඇති අතර එහිදී දැනට පවතින ඉන්දියා ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තවත් පුළුල් කිරීමට සාකච්ඡා කර තිබෙනවා.
ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) මඟින් මෙරටට අත්වන වාසි අතර මූලිකවම වෙළඳපල ප්‍රවේශය, ආර්ථික විවිධාංගීකරණය, තාක්ෂණ හුවමාරුව රාජ්‍යතාන්ත්‍රික සබඳතා මේ අතර මූලික වාසි තත්වයන් ලෙස දැක්විය හැකිය.
ඒ අතරම ශ්‍රී ලංකාවේ වැඩි අවධානය යොමු වී ඇත්තේ මෙම ගිවිසුමෙන් මෙරටට අත්වන අවාසි සහගත තත්වයන් පිළිබඳවය. එය මෙම වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව දැරු මතය විය. මෙම ගිවිසුමෙහි අවාසි සහගත කරුණු ලෙස දැක්විය හැකි මූලිකම කරුණු වන්නේ වෙළඳපළ අසමතුලිතතාවය, දේශීය කර්මාන්ත සඳහා ඇතිවන තරගය, ඉන්දියානු භාණ්ඩ මත යැපීමට සිදුවීම, සීමිත අපනයන පදනම සහ සේවා වෙළඳාම ලිබරල්කරණය වීමයි.
මුලදී මෙම ගිවිසුම CEPA ගිවිසුම ලෙස ඉන්දීය ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම මගින් ආවරණය නොවූ අංශ ද ඇතුලත් වන පරිදි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික ගනුදෙනු පරිමාණය සහ අන්තර්ගතය පුළුල් කිරීමට ඉදිරිපත් වූ අතර මෙරට දේශිය කාර්මික කරුවන් සහ වෘත්තිකයන්ගේ විරෝධතා හමුවේ එම ගිවිසුම් සාකච්ඡා මට්ටමේ පමණක් ක්‍රියාත්මක විය. නමුත් යහ පාලන රජය වෙනත් නමකින් එම ගිවිසුමට අන්තර්ගතය අතින් බෙහෙවින් සමාන ETCA ගිවිසුම අත්සන් කිරීමට උත්සහ දැරීය.
ETCA අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සේවා වෙළදාම සම්බන්ධ සිමා ඉවත් කිරීම සිදුවනවා. එම සේවා අතරට, වෘත්තිය සේවාවන්, පර්යේෂණ සහ සංවර්ධන සේවාවන්, අධ්‍යාපන සේවාවන්, විදුලි සංදේශ සේවාවන්, ඉදිකිරීම් ආශ්රිත ඉංජිනේරු සේවාවන්, පරිගණක සේවාවන්, ඉඩම් ගනුදෙනු ආශ්රිත සේවාවන්, සෞඛ්‍ය සහ සමාජීය සේවාවන්, පරිසර සේවාවන්, සංචාරක කර්මාන්තය ආශ්රිත සේවාවන් වැනි සේවා අංශ සම්පුර්ණයෙන්ම ඇතුලත්වනවා.
ඇතැම් අය පෙන්වා දෙන්නේ මෙය සරලව සදහන් කළහොත් කුණු එකතු කිරීමේ සිට වෛද්‍ය සේවා සැපයීම දක්වාත්, ඉඩම් හුවමාරු ගනුදෙනු සම්බන්ධ සේවාවල සිට මහාමාර්ග දුමරිය මාර්ග ඉදිකිරිම ආශ්රිත සේවා දක්වාත්, කරනවෑමියන්ගේ සිට පරිගණක ඉන්ගිනේරු සේවා දක්වාත් සියලු සේවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නිදහසේ හුවමාරු කල හැකි භාණ්ඩ බවට පත්වෙනු ඇත. CEPA උත්සාහ කල දේ මෙයට බොහෝ දෙයින් සමාන ය. ඇත්තටම පෙනෙන්නේ අරමුණු සහ අන්තර්ගතය අතින් එය CEPA ගිවිසුම සංශෝධනය කිරීමෙන් සකස් කල එකක් බව ය. මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තාවක් මෙතනින්.
ඇතැම් විද්වතුන් පෙන්වාදෙන්නේ,මෙවන් ගිවිසුමකින් ශ්‍රී ලංකාවට වාසියක් ලැබිය හැක්කේ ගිවිසුම ඇති කරගන්නා රටේ ශ්‍රමය සදහා ගෙවීම ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් ඉහල අගයක පවතින්නේ නම් සහ ශ්‍රම සැපයුම ගත්විට දෙරට අතර සමතාවයක් පවතින තත්වයක බවය. අඩුම තරමේ දෙරට අතර ගනුදෙනුව සමතල බිමක කෙරෙන්නක් (level playing field) නම් ය. මෙහිදී තත්වය බෙහෙවින් ඉන්දියාවට වාසි වන්නකි. ඉන්දියාවේ ශ්‍රම අතිරික්තය යොදා ගනිමින් මෙරට හැම අංශයකම වගේ ශ්‍රම වෙළදපොල හිලෑකර හැසිරවීමට හැර මෙමගින් වෙන යහපතක් නම් දැකිය නොහැකි බව ඔවුන් පෙන්වා දෙනවා.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙම එට්කා ගිවිසුම සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනක දී පවසන්නේ, මෙය බැලූ බැල්මට හුදු වෙළඳ ගිවිසුමක් ලෙස පෙනෙන බවයි. නමුත් මෙය ඊට එහා ගිය භූ දේශපාලන න්‍යාය පත්‍රයක් බව ඔහු පෙන්වා දෙනවා.
මෙය ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමට වඩා වඩාත් පුළුල් ගිවිසුමක් බවත්, භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, ආයෝජන සහ විශේෂයෙන් පුද්ගලයන්ට දේශසීමා හරහා පැමිණ සේවා සැපයීමට මේ හරහා අවසර ලැබෙන බව ඔහු පෙන්වා දෙනවා.
මෙම සේවා ගිවිසුම පිළිබඳව එම මහතාගේ පැහැදිලි කිරීම පහතින්.
ජනපති වීමට පෙර සිටම ජනපති අනුරගේ ඉන්දීය ගිවිසුම් පිළිබඳ විරෝධය
ජාතික ජන බලවේගයේ ප්‍රධානතම කොටස්කරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම විටින් විට ඉන්දීය විරෝධි ප්‍රතිපත්තියක් දැරුවා.
එමෙන් ඉන්දු – ලංකා ගිවිසුම ඇතුළු දෙරට අතර ගිවිසුම් රැසක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගට ම විරෝධය පළ කිරීම එම පක්ෂය ඉන්දීය විරෝධී මතයක් දැරූ බවට සාක්ෂි දරනවා.
ඒ අනුව වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා මෙම ඉන්දීය ගිවිසුම සම්බන්ධයෙන් ආරම්භයේ සිටම විරුද්ධත්වය ප්‍රකාශ කර තිබූ අතර ඔහුගේ විරෝධතා මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ස්වෛරීභාවයට ඇති විය හැකි ඍණාත්මක බලපෑම් පිළිබඳ අදහස මුල් විය. මේ හේතුවෙන් ඔහු මෙම ගිවිසුම සමඟ ආරම්භයේ සිටම එකඟ නොවුනි.
නිගමනය (Conclusion)
අපගේ විමර්ශණය ඔස්සේ පැහැදිලි වන්නේ, ජනාධිපති අනුර එට්කා ගිවිසුමට අත්සන් නොතැබූ බවත් එට්කා පිළිබඳව මෙතෙක් ඇති වී තිබෙන එකඟතාවන් තවත් සාකච්ඡාවලට භාජනය කරමින් සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට පමණක් එකඟ වී ඇති බවයි. එමෙන් ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධි ධාරිතා විදුලි ජාල ඉදි කිරීම සහ තෙල් නළ පිළිබඳව සාකච්ඡා මට්ටමේ පවතින බවත් පැහැදිලි වන අතර ඒවා ඉදිකිරීමට ජනාධිපති අනුර එකඟ වී නොමැති බව පැහැදිලි වනවා.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:ජනපති අනුර ETCA ගිවිසුම අත්සන් කළා ද? විදුලි පද්ධතියක් සහ තෙල් නළයක් සම්බන්ධ කිරීමට එකඟ වුණා ද?
Written By: Piumika LakshaniResult: False
