දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
2023 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය අරමුදල් සීමා කිරීම්, සැපයුම් අභියෝග සහ දේශපාලන ප්‍රතිරෝධය හේතුවෙන් කිහිප වතාවක් කල් දමන ලදී. 2024 අගෝස්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් ඡන්දය ප්‍රමාද කිරීමෙන් රජය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තීරණය කිරීමෙන් පසුව, 2025 මාර්තු 17 සහ 20 අතර කාලය තුළ පළාත් පාලන මැතිවරණය සඳහා නව නාමයෝජනා පිළිගනු ලැබුණා.
ඒ අනුව මැයි 06 වන දාට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියල්ල සූදානම් ව තිබේ.
පළාත් පාලන මැතිවරණයේදී තෝරා ගනු ලබන්නේ?
මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වෙන මෙවර ඡන්ද විමසීම මහ නගර සභා 28ක් නගර සභා 36ක් ප්‍රාදේශීය සභා 275ක් ( කල්මුණ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර)ඇතුළු පළාත් පාලන ආයතන 339කට සමස්තයක් වශයෙන්, මෙම ආයතන සඳහා සාමාජිකයින් 8,297ක් තේරී පත් වනු ඇත.
මිශ්‍ර සමානුපාතික පළාත් පාලන මැතිවරණය යනු කුමක්ද?
යම් පළාත් පාලන බල ප්‍රදේශයක කොට්ඨාස මට්ටමින් සහ පොදු ලේඛනයකින් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම මිශ්‍ර සමානුපාතික ක්‍රමය වේ. 2017.10.12 දිනැති 2017 අංක 22 දරන ප්‍රාදේශීය සභා සංශෝධන පනත මගින් මෙම ප්‍රමාණයන් පහත ආකාරයට විය යුතු යැයි තීරණය කර ඇත.
ඒ අනුව කොට්ඨාස මට්ටමින්, 60%ක් සහ සමානුපාතික පදනමින් 40%කි.
පළාත් පාලන බල ප්‍රදේශයක කොට්ඨාස සහ කොට්ඨාස සඳහා වන මන්ත්‍රීධූර සංඛ්‍යාව ගණනය කරනු ලබන්නේ කෙසේද?
පසුගිය සීමා නීර්ණය කොමිෂන් සභාව මගින් ජනගහණය, භූමි ප්‍රමාණය, ජනවාර්ගික පදනම යන කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් මේ වන විට දිවයිනේ සියළුම පළාත් පාලන ආයතන සඳහා අදාල කොට්ඨාස මොනවාද යන්න පිළිබඳව තීරණය කර එම තීරණ 2015.08.21 දිනැති 1928/26 අංක දරන සහ 2017.02.17 දිනැති අංක 2006/44 දරන ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව පළාත් පාලන ආයතන බෙදා ඇති කොට්ඨාස වර්ග දෙකකි.
- කේවල කොට්ඨාස
- බහු කොට්ඨාස
දිවයිනේ සියළු පළාත් පාලන ආයතන වෙනුවෙන් ඇති කරන ලද කොට්ඨාස සහ සභික සංඛ්‍යාව පහත ආකාරයට වේ.
පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක සමානුපාතික පදනම මත තෝරා පත් කර ගනු ලබන සභික සංඛ්‍යාව ගණනය කරනු ලබන්නේ කෙසේද?
සෑම පළාත් පාලන ආයතනයකම කොට්ඨාස මගින් තේරි පත්වනු ලබන ප්‍රමාණය 60%ක් ලෙස සලකා ඉතිරි 40%ක ප්‍රමාණය සමානුපාතික පදනම මත තෝරා ගැනීමට කටයුතු කරනු ලැබේ. එම දෙකෙහිම එකතුව එම පළාත් පාලන ආයතනයෙහි මුළු සභික සංඛ්‍යාව වේ.
උදා-:
A නම් ප්‍රාදේශීය සභාව
කොට්ඨාස පදනමින් 60% ගණනය කිරීම
කේවල කොට්ඨාස – 14
සභිකයන් 02කින් සමන්විත බහු කොට්ඨාස – 01
කොට්ඨාස වල එකතුව – 15
කේවල අපේක්ෂකයින් – 14
බහු කොට්ඨාස අපේක්ෂකයින් – 02
අපේක්ෂකයින් එකතුව – 16
ඒ අනුව කොට්ඨාස පදනමින් 60% – 16
සමානුපාතික පදනමින් 40% ගණනය කිරීම
මුළු කොට්ඨාස පදනමින් අපේක්ෂකයන් සංඛ්‍යාව x 40/60
= 16 x 40/60
= 10.66 ( දශම ස්ථාන නොසලකා පූර්ණ සංඛ්‍යාවට ගණනය කරන්න)
ඒ අනුව සමානුපාතික පදනමින් 40% =10
ඒ අනුව A නම් ප්‍රාදේශීය සභාවේ මුළු සභික සංඛ්‍යාව (16+10) = 26 කි.
මෙම මැතිවරණ ක්‍රමය යටතේ සභිකයන් තෝරා පත් කර ගනු ලබන ආකාරය කෙසේද?
මීට අදාලව සභිකයන් තෝරා පත් කර ගැනීමේදී ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 04ක් පිළිබඳව අවධානය යොමු කළ යුතුවේ.
- කේවල කොට්ඨාස මට්ටමින් සභිකයන් තීරණය කිරීම
- බහු කොට්ඨාස වලට අදාලව සභිකයන් තීරණය කිරීම
- සමානුපාතික පදනම යටතේ සභිකයන් තීරණය කිරීම
- කාන්තා සභිකයන් තීරණය කිරීම
උදා-:
ඉහතින් සඳහන් කරන ලද A නම් ප්‍රාදේශීය සභාව කේවල කොට්ඨාස 14කින් සහ සභිකයන් දෙදෙනෙකුගෙන් සමන්විත බහු කොට්ඨාස 01කින් සමන්විත වන අතර X,Y සහ Z යන දේශපාලන පක්ෂ 03ක් එම ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කරන ලදැයි උපකල්පනය කරමු.
I. කේවල කොට්ඨාස මට්ටමින් සභිකයන් තීරණය කිරීම
කේවල කොට්ඨාසයට අයත් සියළුම ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද ගණන් කිරීමෙන් පසු වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා ලද පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයා එම කොට්ඨාසයට අදාල සභිකයා ලෙස තේරී පත්වේ.
ඉහත උදාහරණය යටතේ X පක්ෂය 1, 2, 4, 6, 7, 8, 9, 10, 11, 12, 14, යන කේවල කොට්ඨාස ජයග්‍රහනය කර ඇති බැවින් එම පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයන් එම කොට්ඨාස වල සභිකයින් ලෙස තේරී පත් වී ඇති අතර Y පක්ෂය 3, 5, 13 යන කොට්ඨාස ජයග්‍රහණය කර ඇති බැවින් Y පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයන් එම කොට්ඨාස වල සභිකයින් ලෙස තේරී පත් වී ඇත. Z පක්ෂය කිසිඳු කේවල කොට්ඨාසයක් ජයග්‍රහණය කර නොමැති බැවින් එම පක්ෂය සඳහා කේවල කොට්ඨාස යටතේ කිසිඳු සභිකයකු තේරී පත් වන්නේ නැත.
II. බහු කොට්ඨාස වලට අදාලව සභිකයන් තීරණය කිරීම
බහු සභික කොට්ඨාසයක වැඩිම ඡන්ද ලබා ගන්නා දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන ලද දෙදෙනා හෝ තිදෙනා එම කොට්ඨාසයේ සභිකයන් ලෙස නම් කරනු ලබති.
ඒ අනුව ඉහත උදාහරණයට අදාලව X පක්ෂය අංක 15 දරන සභිකයන් දෙදෙනෙකුගෙන් සමන්විත බහු කොට්ඨාසය ජයග්‍රහණය කරන ලද බැවින් එම පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයන් දෙදෙනා එම බහු කොට්ඨාසයේ සභිකයන් ලෙස තේරී පත්වෙති.
III. සමානුපාතික පදනම යටතේ සභිකයන් තීරණය කිරීම
පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුල තරඟ කළ සියළුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ලබා ගන්නා ලද මුළු ඡන්ද සංඛ්‍යාවේ එකතුව එම පළාත් පාලන ආයතනයට තෝරා පත් කර ගැනීමට නියමිත මුළු සභික සංඛ්‍යාවෙන් මෙන් ලැබෙන අගය තීරක අගය නම් වේ.
මෙම තීරක අගයෙන් එක් එක් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබා ගත් ඡන්ද සංඛ්‍යා බෙදීමෙන් එම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලට හිමිවන මුළු සභික සංඛ්‍යාවන් තීරණය කරනු ලබයි.
එම එක් එක් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට හිමිවන මුළු සභික සංඛ්‍යා වලින් ඔවුන් කොට්ඨාස පදනමින් ලබාගන්නා ලද සභික සංඛ්‍යා අඩු කිරීමෙන් පසු ඉතිරිවන ශේෂය එම එක් එක් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලට සමානුපාතික ලැයිස්තුවෙන් හිමිවන සභික සංඛ්‍යාව නිරූපණය කරයි.
යම්කිසි දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක එම ශේෂය ඍණ අගයක් ගන්නේ නම්, එනම් සමානුපාතිකව හිමිවිය යුතු සංඛ්‍යාවට වඩා කොට්ඨාස පදනමෙන් තේරී පත්වී ඇත්නම් එම වැඩිවන සංඛ්‍යාවෙන් එම පළාත් පාලන ආයතනය සඳහා තේරී පත්වන සංඛ්‍යාවද වැඩි වේ.(Over Hang)
ඒ අනුව ඉහත උදාහරණයට අනූව,
වලංගු මුළු ඡන්ද සංඛ්‍යාව | 57540 |
තෝරා පත් කර ගත යුතු සභික සංඛ්‍යාව | 26 |
තීරක අගය | 57540 / 26 |
2213 |
IV. කාන්තා සභිකයන් තීරණය කිරීම
අදාල පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ තරඟ කරන ලද සියළුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතරින් මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 20% කට වඩා අඩුවෙන් ඡන්ද ලබාගත් සහ සභිකයන් තිදෙනෙකු හෝ ඊට අඩුවෙන් ලබා ගත් පක්ෂ වල ඡන්ද ප්‍රමාණයන් ඉවත් කොට ඉතුරු ඡන්ද ප්‍රමාණය අදාල පළාත් පාලන ආයතනය සඳහා තේරී පත් විය යුතු අවම කාන්තා මන්ත්‍රීධූර සංඛ්‍යාවෙන් (25% ක සභික සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවෙන්) බෙදීමෙන් පසු ලැබෙන අගයෙන් එම ඡන්ද සංඛ්‍යාවට අදාල දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව බෙදීමෙන් එක් එක් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් පත් කළ යුතු කාන්තා සභික සංඛ්‍යාව තීරණය කරනු ලබයි.
උදා-: ඉහතින් සඳහන් කරන ලද A නම් ප්‍රාදේශීය සභාවට අදාලව ප්‍රකාශිත ප්‍රතිඵල අනුව එක් එක් පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රතිශතය සහ ආසන සංඛ්‍යාව පහත පරිදි වේ.
ඒ අනුව කාන්තා නියෝජනය පිළිබඳව සලකා බැලීම සඳහා අදාල කර ගනු ලබන්නේ X සහ Y යන පක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය පමණි.
ඒ අනුව X සහ Y යන පක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයේ එකතුව (27938+23274) | 51212 |
25% කට සමාන සභික සංඛ්‍යාව (26 / 4) | 6.5 |
තීරක අගය (51212 / 6.5) | 7878.76 |
X පක්ෂය පත් කළ යුතු කාන්තා මන්ත්‍රී ධූර සංඛ්‍යාව (27938 / 7878.76) | 3.5 = 3(දශම ස්ථාන නොසලකා පූර්ණ සංඛ්‍යාව සැලකීමෙන්) |
Y පක්ෂය පත් කළ යුතු කාන්තා මන්ත්‍රී ධූර සංඛ්‍යාව (23274 / 7878.76) | 2.95= 2 (දශම ස්ථාන නොසලකා පූර්ණ සංඛ්‍යාව ගැනීමෙන්) |
ඡන්ද විමසීම සඳහා නාමයෝජනා ලබා දී ඇති පක්ෂ, කණ්ඩායම් හා අපේක්ෂක සංඛ්‍යාව
- දේශපාලන පක්ෂ සංඛ්‍යාව – 49
- ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව – 257
- අපේක්ෂක සංක්‍යාව- 75,589
සභාපති / උප සභාපති හා නගරාධිපති / නියෝජ්‍ය නගරාධිපති තෝරා ගනු ලබන ආකාරය
යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් අදාල පළාත් පාලන ආයතනයේ මුළු සභික සංඛ්‍යාවෙන් 50% කට වඩා ලබාගෙන ඇත්නම් එම දේශපාලන පක්ෂයේ ලේකම්වරයාට හෝ අදාල ස්වාධීන කණ්ඩායමේ නායකයාට මෙම ධූරයන් සඳහා පත්කිරීම් සිදුකළ හැකිය.
කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් 50%කට වඩා වැඩි සභික සංඛ්‍යාවක් ලබාගෙන නොමැති අවස්ථාවක එම පළාත් පාලන ආයතනයේ මංගල සභා වාරයේදී සභිකයන්ගේ ඡන්දයෙන් ධූරයන් සඳහා පත් කිරීම් කළ හැකිය.
ප්‍රධාන දිනයන්
තැපැල් ඡන්දය 2025 අප්‍රේල් 24, 25, 28 සහ 29 යන දිනවල පැවතුණි. ප්‍රධාන මැතිවරණ දිනය 2025 මැයි 6 දිනට නියමිතය. සාර්ථක අපේක්ෂකයින් 2025 ජුනි 2 වන විට බලයට පත්වීමට අපේක්ෂා කෙරේ.
ඡන්දය දිය හැක්කේ කාටද?
මෙම මැතිවරණයේදී මිලියන 17.3 ක පුරවැසියන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත. මැතිවරණ දිනයේදී පුද්ගලිකව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළු රජයේ සේවකයින් 648,000 කට අධික සංඛ්‍යාවක් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අනුමත කර ඇත.
ඇස්තමේන්තුගත පිරිවැය
2025 පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන 11 ක් පමණ වැය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. මෙම අයවැය මගින් රට පුරා මැතිවරණයක් සඳහා අවශ්‍ය සැපයුම්, ආරක්ෂාව, පිරිස් සහ පරිපාලන සහාය ආවරණය කෙරේ.
නිරීක්ෂණය සහ අධීක්ෂණය
මැතිවරණය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම වගකිව යුතුය. පැෆ්රල් වැනි ස්වාධීන සංවිධාන මැතිවරණ දිනයේදී දිගුකාලීන නිරීක්ෂකයින් 160ක් යොදවා ඇති අතර කෙටිකාලීන නිරීක්ෂකයින් 3,000කට අධික සංඛ්‍යාවක් යෙදවීමට සැලසුම් කර ඇත. කෘතිම බුද්ධිය හරහා ජනනය කරන ලද අන්තර්ගතයන් ඇතුළුව සමාජ මාධ්‍ය වේදිකාවල වැරදි තොරතුරු සහ හානිකර අන්තර්ගතයන් නිරීක්ෂණය කිරීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කර ඇති අතර මැතිවරණය අළලා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කොට නිවැරදි තොරතුරු වලින් සමාජ මාධ්‍ය පරිශීලකයින් දැනුවත් කිරීමට Factcrescendo Sri Lanka අප කණ්ඩායම ද, මැතිවරණ කොමිසම සමගින් කටයුතු කෙරෙනු ඇති.
මෙම මැතිවරණය වැදගත් වන්නේ ඇයි
අපද්‍රව්‍ය කළමනාකරණය, මාර්ග නඩත්තුව, නගර සැලසුම් කිරීම, මහජන සෞඛ්‍ය සහ ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය වැනි තීරණාත්මක සේවාවන් සඳහා පළාත් පාලන බලධාරීන් වගකිව යුතුය. තේරී පත් වූ නියෝජිතයින් නොමැති විට, මෙම ආයතන පරිපාලන කොමසාරිස්වරුන් විසින් පවත්වාගෙන යනු ලබන අතර, මහජන වගවීම සීමා කරයි. මෙම මැතිවරණය පුරවැසියන්ට බිම් මට්ටමේ ප්රජාතන්ත්රවාදී පාලනය යථා තත්ත්වයට පත් කිරීමට අවස්ථාව ලබා දෙයි.
ඡන්දය නිවැරදිව භාවිත කරන්නේ කෙලෙසද?
එක් ඡන්ද හිමියෙකුට එක් ඡන්ද පත්‍රිකාවක් පමණක් නිකුත් කෙරෙන අතර ඡන්ද පත්‍රිකාවේ තරග කරන පක්ෂවල නම් හා සලකුණු ද, ස්වාධීන කණ්ඩායම් තරග කරන්නේ නම් ස්වාධීන කණ්ඩායම යන වචන ද හඳුනා ගැනීමේ අංක හා සලකුණ ද, පමණක් මුද්‍රණය කර තිබේ. ඡන්දය ලබා දීම සඳහා එක් කතිර ලකුණුක් පමණක් භාවිත කළ යුතුය. එමෙන් ම ඡන්ද පත්‍රිකාවේ වෙනත් කිසිම සලකුණක් යෙදීමෙන්, ඇඳීමෙන් හෝ ලිවීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය වේ.
පළාත් පාලන මැතිවරණයේදී ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රැගෙන යායුතු අනන්‍යතා ලේඛන මොනවාද?
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී සියලුම ඡන්ද හිමියන් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තමාට අයත් ඡන්ද පොළ වෙත යනවිට, පහත සඳහන් අනන්‍යතා ලේඛනවලින් එකක් රැගෙන යාම අනිවාර්ය බව ත්, එහි දී එය පරීක්ෂාව සඳහා ඡන්ද පොළේ නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ
එම වලංගු අනන්‍යතා ලේඛන වන්නේ,
- පුද්ගලයින් ලියාපදි කිරීමේ දෙපාර්මේන්තුව මගින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත( පැරණි හෝ නව හැඳුනුම්පත)
- වලංගු විදේශ ගමන් බලපත්ය
- වලංගු රියදුරු බලපත්‍රය
- විශ්‍රාම වැටුප් දෙපාර්තේන්තුව විසින් නිකුත් කළ රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත( පැරණි හෝ නව ඉ-හැඳුනුම්පත)
- වැඩිහිටි හැඳුනුම්පත( ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ)
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය
- මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත
- මැතිවරණ කොමිෂන් සභාව විසින් පූර්ණ ආබාධ සහිත තැනැත්තන් සඳහා නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඡායාරූප සහිත තාවකාලික රියදුරු බලපත්‍රය
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියුතු අය සඳහා වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව නිවාඩු ලැබෙනු ඇති.
ඒ සඳහා සේවා ස්ථානයේ සිට තම ඡන්ද පොළට යා යුතු දුර ප්‍රමාණය අනුව ලබා දිය යුතු අවම නිවාඩු කාල සීමාව පහතින්.
කෙසේ වෙතත් ඇතැම් අවස්ථා වලදී ඇතැම් ඡන්ද හිමියන්ට ඡන්ද පොළට යෑමට හෝ ඊමට දින තුනක් අවශ්‍ය වන අවස්ථා ඇත්නම් ඒ සඳහා අවස්ථානෝචිතව දින තුනක් නිවාඩු දීම සිදු කළයුතු බව මැතිවරණ කොමිස දන්වා තිබේ.
පුංචි ඡන්දෙට පාසල් නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
මැයි මස 6වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 සහ 6 දෙදින නිවාඩු ලැබෙනු ඇති
එමෙන් ම මැයි මස 7වනදා පාසල් නැවත ආරම්භ කරනු ලැබේ.
නිහඬ කාලය
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තරග කරන දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්ට ප්රචාරක කටයුතු සිදුකිරීම සඳහා ලබාදී තිබූ කාලසීමාව අද (03දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනු ලබනවා.
මැතිවරණ නීතියට අනුව ඡන්ද විමසීම සිදුකරන දිනට පැය 48කට පෙර සියලුම ප්රචාරක කටයුතු අවසන් කළ යුතු වනවා.
එමෙන්ම පළාත් පාලන ආයතන මට්ටමින් පිහිටුවා ඇති නිවේදන මාධ්‍ය කාර්යාල හා එක් එක් කොට්ඨාස සඳහා පිහිටුවා ඇති නිවේදන කොට්ඨාස කාර්යාල හැර සියලු ප්රචාරක කාර්යාල අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ගලවා ඉවත් කළ යුතු වෙයි. එමෙන්ම වර්ග අඩි 60 ප්‍රමාණයේ දැන්වීම් පුවරු හැර අනෙකුත් සියලු සැරසිලි අද මධ්‍යම රාත්‍රි 12.00 වනවිට ඉවත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.
එනමුත් 2025.05.03 දින පවත්වන අවසන් දේශපාලන ප්රචාරක රැස්වීම් වල වීඩියෝ දර්ශන හා විස්තර 2025.05.04 දිනය තුළ එක් එක් රූපවාහිනී/ ගුවන් විදුලි නාලිකාවල එක් ප්‍රධාන ප්රවෘත්ති විකාශයක පමණක් ප්‍රචාරය කිරීමට සහ 2025.05.04 දින පළ කරනු ලබන ප්රවෘත්ති පත්‍රවල එම රැස්වීම් වල ඡායාරූප හා වාර්තාව පළ කිරීමට හැකියාව තිබෙනවා.
ඒ අනුව 2025.05.03 දින පවත්වන අවසන් දේශපාලන ප්රචාරක රැස්වීම් වල වීඩියෝ දර්ශන හා විස්තර 2025.05.04 දිනය තුළ එක් එක් නාලිකාවේ හා ප්රවෘත්ති පත්රවලට අනුබද්ධ සමාජ මාධ්‍ය හා සෙසු සියලුම සමාජ මාධ්‍යවලත් පළ කිරීමේ අවස්ථාව මැතිවරණ කොමිසම ලබාදී තිබෙනවා.
එසේම මෙම අවසන් ප්රචාරක රැස්වීම් විස්තර ප්‍රසිද්ධ කිරීමේ දී සියලුම පක්ෂ /කණ්ඩායම් වලට සහ අපේක්ෂකයන්ට සම අවස්ථා ලැබෙන පරිදි පුවත්පත්වල ඉඩ කඩ හා නාලිකාවල හා විකාශ කාල වෙන් කිරීම කළ යුතු බව ත් මැතිවරණ කොමිසම අවදාරණය කරනවා.
තවද, 2025.05.04 දින සියලුම රූපවාහීනී නාලිකාවල දවසේ පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේ දී පුවත්පත්වල පුවත් සිරස්තලය පමණක් ඉදිරිපත් කිරීම කළ යුතු අතර ප්‍රවෘත්තියට අදාළව වෙනත් කිසිදු අදහසක්/ යෝජනාවක් හෝ ප්‍රවෘත්තියට පටහැනි අදහසක් වැඩසටහන ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් විසින් පළ නොකළ යුතු අතර එදිනට පසුව එනම්, 2025.05.05 හා 06 දිනවල පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේ දී හෝ වෙනත් අයුරකින් හෝ කිසිදු දේශපාලන ප්රචාරක ප්‍රවෘත්තියක් පක්ෂ කණ්ඩායම්/ අපේක්ෂක ප්‍රවර්ධනය හෝ අගතියට පත්වන ආකාරයේ ඉදිරිපත් කිරීමක් සිදු නොකරන ලෙස සියලුම මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය නාලිකා ප්‍රධානීන්, ප්රවෘත්ති අංශ ප්‍රධානීන්, ප්රවෘත්ති සංස්කාරකවරුන්, කර්තෘ මණ්ඩල අධ්යක්ෂවරුන්, ප්‍රධාන කතෘවරුන් හා සියලුම සමාජ මාධ්‍ය හිමිකරුවන් වෙත දැනුම්දී තිබෙනවා.
මූලාශ්‍ර : මැතිවරණ කොමිසම
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
