දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය දා මහනුවර පැවැත් වූ දළදා ප්‍රදර්ශනයට නුවරට පැමිණි පිරිස විසින් කුණු කසළ නිසි ක්‍රමවේදයකින් තොරව බැහැර කිරීම ත්, මළපහ කළමනාකරණ කිරීම නිසි පරිදි සිදු නොවීම නිසා විථීවල අසූචි රැගත් බෑග් දැමීම යන කාරණා දළදා ප්‍රදර්ශනයට සමගාමීව ප්‍රධාන මාධ්‍ය ධාරාවල මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, අවධානය යොමු වුණා. මේ අතර එම දිනවල පැවැති ආහාර දන්සැල් සම්බන්ධයෙන් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“දළඳා වඳින්න ආපු ජනතාවට බඩ විරේක වෙන බෙහෙත් දීලා, දන්සැල් දෙන මුවාවෙන් මේක කරලා තියෙන්නේ, අදාළ අයට එරෙහිව තදින් ක්‍රියා කරනවා” යනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කියයි යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
මෙම සටහන් බහුලව ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.
මෙම සිදුවීම සත්‍යයක් ද, යන්න සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇත්දැයි යන්න පිළිබඳ බොහෝ පාඨකයින් අපගෙන් විමසීමක් කළ අතර මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
දළදා ප්‍රදර්ශනය පැවතී සමයේ වන්දනා කිරීමට පැමිණි ජනතාවට දන්සල් ලබා දුන් ස්ථාන වලින් බඩ විරේක වීමට බෙහෙත් ලබා දී ඇති බවට සිදුවීම් අනාවරණය වී ඇත්දැයි යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් පරීක්ෂා කිරීමට පියවර ගත්තා.
නමුත් එවැනි සිදුවීමක් ප්‍රධාන මාධ්‍ය විසින් හෝ වාර්තා කර නොතිබුණු බැවින් අප මේ පිළිබඳව නුවර දළදා මාලිගාවේ පොලිස් ස්ථානයෙන් විමසීමක් කරනු ලැබුවා.
එම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් තහවුරු කළේ, දන්සල් වලින් හෝ එලෙසින් බැතිමතුන්ට බඩ විරේක වීමට බෙහෙත් ලබා දී ඇති බවට සිදුවීම් අනාවරණය හෝ වාර්තා වීමක් හෝ නොමැති බවයි.
අප මේ පිළිබඳව දළදා මාලිගාව මාධ්‍ය අංශයෙන්ද, විමසීමක් කළ අතර, ඔවුන් පැවසුවේ, එවැනි සිදුවීමක් ගැන මාලිගාවට වාර්තා නොවූ බවත්, දළදා මාලිගාව විසින් පවත්වනු ලැබූ දන්සැල් වල ද, ඒ ආකාරයෙන් සිදුවීම් නොවූ බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බවට හෝ පොලීසිය හෝ ආරක්ෂක අමාත්‍යාංශය විසින් හෝ දන්වා නොමැති බවයි.
අප මහනුවර මහා නගර සභාවෙන් ද, සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන පරිදි සිදුවීම් වාර්තා වී ඇත්දැයි යන්න විමසා සිටියා. ඔවුන් පෙන්වා දුන්නේ ද, දළදා ප්‍රදර්ශනය පැවති කාලයේ පැවැත්වුණු දන්සැල් සියල්ල මහ නගර සභාව යටතේ ලියාපදිංචි වී ඇති අතර නිසි ප්‍රමිතියෙන් ලබා දුන් බවත්, බඩ විරේක බෙහෙත් ඇතුළත් කරමින් හෝ බඩ විරේක බෙහෙත් ලබා දුන් බවට කිසිදු පැමිණිල්ලක් හෝ ලැබී නොමැති බවයි. එමෙන් ම ඒ සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කෙරෙනවානම් ඒ පිළිබඳව පොලීසිය විසින් හෝ දැනුවත් කළ යුතු බවත්, එවැනි විමර්ශනයක් පිළිබඳ කිසිදු දැනුවත් කිරීමක් ද මෙතෙක් සිදු ව නොමැති බවයි ඔවුන් වැඩි දුරටත් පැවසුවේ.
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා විසින් හෝ මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බවට දැක ගැනීමට නොහැකි බැවින් අප මේ පිළිබඳ තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප ආරක්ෂක අමාත්‍යාංශයෙන් විමසීමක් කර ඔවුන් ද සඳහන් කලේ එවැනි ප්‍රකාශයක් පිළිබඳව දැනුවත් වී නොමැති බවයි. කෙසේවතත් මේ පිලිබඳ අමාත්‍යවරයාගෙන්ම විමසා තහවුරු කිරීමෙන් පසු මෙම ලිපිය යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.
ඒ වගේම අදාළ ප්‍රකාශය අරුණ ජයසේකර මහතා මාධ්‍ය වෙත සිදුකරන අවස්ථාව ලෙස දක්වා ඇති රූප රාමු වෙත ද අප අවධානය යොමු කළ අතර එම දර්ශන Reverse Image සෙවුමකට ලක්කළ විට අනාවරණය වුයේ ද මෙය මෑතක සිදුවීමක් නොවන බවයි. එම රූප රාමු අඩංගු මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්. මීට මාස කිහිපයකට පෙර, එනම් 2025 ජනවාරි මස 25 වෙනිදා එම රූප රාමු අයත් පුවත වුයේ යෝෂිත රාජපක්ෂ මහතා එකී වකවානුවේ දී අත්අඩංගුවට ගත් අවස්ථාක දී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අදහස් දැක්වීමක කොටසක්.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “දළඳා වඳින්න ආපු ජනතාවට බඩ විරේක වෙන බෙහෙත් දීලා, දන්සැල් දෙන මුවාවෙන් මේක කරලා තියෙන්නේ, අදාළ අයට එරෙහිව තදින් ක්‍රියා කරනවා” යනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය පැවසූ බවට ප්‍රධාන මාධ්‍ය ධාරවක පළ වී නොමැති අතර ඒ සම්බන්ධ කිසිදු ප්‍රකාශයක් දැක ගැනීමට නොහැක.
අදාළ සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබෙන්නේ මීට මාස කිහිපකට පෙර සිදුවීමක රූප රාමු වන අතර, මෙහි සඳහන් ආකාරයේ විමර්ශනයක් හෝ සිදුවනවා ද, යන්න පිළිබඳ අදාළ අංශ හරහා විමසීමක් සිදු කළ අතර ඔවුන් තහවුරු කළේ, දළදා ප්‍රදර්ශනයට පැමිණි ජනතාවට බඩ විරේක ලබා දුන් බවට කිසිදු පැමිණිල්ලක් නොමැති බවත්, විමර්ශනයන් ද, සිදු නොවන බව ත් ය.
Title:දළදා ප්‍රදර්ශනය සමයේ පැවති දන්සැල් පිළිබඳ විමර්ශනයක්?
Fact Check By: Pavithra SandamaliResult: Misleading


