අලුත් ආණ්ඩුවක් පත්වන තුරු ලංකාවට ණය හෝ ආධාර ලබානොදීමට G7 කණ්ඩායමෙන් තීන්දුවක් ගෙන නැහැ!

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

ලංකාවේ උද්ගතව ඇති ආර්ථික අර්බුද තත්ත්වය හමුවේ විදෙස් රටවලින් ලබාගත හැකි අඩු පොලී ණය හෝ ආධාර මත රඳා පැවතීමට ශ්‍රී ලංකා රජයට සිදුව තිබෙනවා. එමනිසා ලංකාවට ලැබෙන ජාත්‍යන්තර ආධාර පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති කාලයකයි අප ජීවත්වන්නේ. 

එවන් පසුබිමක් තුළ ලංකාවට ආධාර දෙන රටවල් සහ සංවිධාන සම්බන්ධයෙන් නිරන්තර කතාබහක් සමාජ ජාලාවල ඇතිව තිබෙනවා. මේ G7 කණ්ඩායම සහ ශ්‍රී ලංකාව පිලිබදව පලවූ නොමගයවනසුලු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන් 

G7 කණ්ඩායම ලංකාවට ණය හෝ ආධාර ලබාදීම , වර්තමාන ආණ්ඩුව බලයේ රැදී සිටිනතාක් නොකරන බවටත් ,යලි ආධාර ලබාදෙන්නේ මහා මැතිවරණයකින් බලය ලබාගන්නා අලුත් ආණ්ඩුවක් යටතේ වන බවට තීරණයක් ගත් බව හගවමින් සමාජ ජාලා සටහන් පැතිර ගොස් තිබුණේ පහත අයුරින්.

“මහා මැතිවරණයකින් ජනතා කැමැත්ත පරිදි රජයක් පත්වෙන තුරු ශ්‍රී ලංකාවට එක ඩොලරයක් දෙන්නේ නැහැ”

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

එම සටහන් ෆෙස්බුක් තුළ පැතිර තිබුණේ මෙලෙසින්.

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම )

G7 කණ්ඩායම 

G7 කණ්ඩායම සමන්විත වන්නේ ලෝකයේ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් බලවත් රටවල් 7 කින්. එම රටවල් වන්නේ බ්‍රිතාන්‍යය ,ඇමෙරිකා එක්සත් ජනපදය ,කැනඩාව , ජපානය , ජර්මනිය ,ඉතාලිය සහ ප්‍රංශයයි. ලෝක ජනගනයෙන් 10 % කටත් ,ලෝකයේ ඇති මුළු ධනයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට මෙම රටවල් උරුමකම් කියයි.

කෙසේ වෙතත් මෙය නිල සංවිධානයක් ලෙස මුලස්ථානයක් සහිතව ක්‍රියාත්මක වන්නේ නැත.නමුත් වාර්ෂිකව මෙම රටවල් 7 රාජ්‍ය නායකයන් හමුවී දේශගුණික විපර්යාස ,ආර්ථික අර්බුද ආදී ගෝලීය ගැටලුකාරී තත්වයන් පිලිබදව සාකච්ඡා කරනවා. එමෙන්ම මෙම රටවල නියෝජිතයන් වසර පුරාම විවිධ ස්ථානාවලදී හමුවී ගෝලීය වශයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් පිලිබදව සාකච්ඡා කරනවා. මෙම සංවිධානය පිලිබදව වැඩි විස්තර කියවිය හැකියි මෙතනින්. Archived.

G7 කණ්ඩායමේ  මුලිකත්වය දරන රට සහ නායකයා වසරින් වසර වෙනස්වෙනවා.මේ වන විට G7 කණ්ඩායමේ මුලිකත්වය  දරන්නේ ජර්මනියයි.

G7 කණ්ඩායම ලංකාවට ණය ලබා නොදීමට තීරණය කළ බවට මාධ්‍ය වාර්තා දැක ගන්නනට ලැබනේනේ නැහැ

අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා ඔස්සේ සිදුකළ පරික්ෂාවේ දී අනාවරණය වුයේ, G7 කණ්ඩායම විසින් ලංකාවට ණය ලබා දීමට තීරණය කළ බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බව සහ ඔවුන් මෙවන් තීරණයක් ගත් බවට G7 කණ්ඩායම නියෝජනය කරන කිසිදු රාජ්‍ය නායකයෙක් හෝ ඔවුන්ගේ නිල නියෝජිතයෙක් පවසා නොමැති බවයි.

වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිධුරයට පත්වීමට පෙර 2022 මැයි මාසයේ අගමැති ධුරයට පත්වූ විට G7 කණ්ඩායම විසින් ලංකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් ඔවුන් පවසා තිබුණේ ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාවට ණය ගෙවීම හා සම්බන්ධව යම් සහන කාලයක් ලබාදීමට හෝ ඒ සදහා යම් සහනයක් ලබාගැනීම සදහා සහාය වීමට G7 කණ්ඩායම සුදානම් බවයි. එමෙන්ම එම කටයුත්ත සදහා යම් සහයක් ලබාදෙන ලෙස ඔවුන් චීනයෙන් ද ඉල්ලා සිටියා. ඒ සම්බන්ධයෙන් වන රොයිටර්ස් පුවත් වාර්තාවකට පිවිසිය හැකියි මෙතනින්. Archived

එසේම ණය සහන ලබා ගැනීමට ශ්‍රී ලංකාවට සහය වන බවට G7 කණ්ඩායම විසින් සිදුකර තිබු නිවේදනය පිළිබඳව තම කෘතවේදීතාව පළකරමින් රනිල් වික්‍රමසිංහ මහතා 2022 මැයි මස පළකර තිබු ට්විටර් පණිවුඩයක් මෙතනින්

එසේම පසුගිය ජුනි මාසයේ දී පැවති G7 සමුළුවේ දී ඇමරිකානු ජනපති ජෝ බයිඩන් විසින් ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට ඩොලර් මිලියන 20 ක අමතර ආධාරයක් ලබාදීමක් පිළිබඳව දැනුම් දී තිබුනේ මෙලෙසින්

මීට දින කිහිපයකට පෙර COP27 සමුළුවට සම්බන්ධවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ජර්මානු චාන්සලර්වරයාද වන  G7 කණ්ඩායමේ වර්තමාන නායකත්වය /සභාපතිත්වය උසුලන  Olaf Scholz  සමග ලංකාවේ පවතින වර්තමාන ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක තත්ත්වය සහ රටවල් දෙකටම බලපාන දේශගුණික විපර්යාසයන් පිලිබදව සාකච්චා කරන ආකාරය සේයාරුවක්ද සමගින් ලංකාවේ ජර්මන් තානාපති කාර්යාලය සිය නිල ෆේස්බුක් ගිණුමේ පළකර තිබුණේ මෙලෙසින් Archived

මේ පිලිබදව අප සමග අදහස් පලකළ ජාත්‍යන්තර කටයුතු පිළිබද ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ  පවසා සිටියේ G7 රටවල් මැතිවරණයකින් අලුත් ආණ්ඩුවක් පත්වන තුරු වත්මන් ආණ්ඩුවට කිසිදු ආධාරයක් හෝ ණය මුදලක් ලබා නොදෙන බවට පළවන සමාජ ජාලා සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

මේ පිළබදව අප මේ වන විට G7 කණ්ඩායමේ නායකත්වය උසුලන ජර්මනියේ මතය දැනගැනීම සදහා කොළඹ පිහිටි ජර්මන් තානාපති කාර්යාලයෙන් අදහස් විමසු අතර ඔවුන් ලබාදෙන පිළිතුර අනුව මෙම ලිපිය යාවත්කාලින වනු ඇත.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය )

ලංකාවේ මහ මැතිවරණයක් පවත්වා අලුත් ආණ්ඩුවක් පත්වන තුරු G7 කණ්ඩායමේ රටවල් විසින් ලංකාවට ණය /ආධාර මුදල් ලබාදීම අත්හිටුවා ඇති බවට පළවන සමාජ ජාලා සටහන් පදනම් විරහිත සහ අසත්‍යයි. එවන් තීරණයක් G7 රටවල් විසින් ගත බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර එම රටවල්වල අරමුදල් ඔස්සේ මෙරට රජය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති මේ වන විටත් ක්‍රියාත්මකයි.

Avatar

Title:අලුත් ආණ්ඩුවක් පත්වන තුරු ලංකාවට ණය හෝ ආධාර ලබානොදීමට G7 කණ්ඩායමෙන් තීන්දුවක් ගෙන නැහැ!

Fact Check By: Kalana Krishantha 

Result: False


Leave a Reply