මේ දිනවල පවතින නව කොවිඩ් වෛරස තත්වයක් බවට හුවමාරුවන සමාජ මාධ්‍ය සටහන්වල ඇත්ත මෙන්න !

COVID False Health

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

විවිධ රෝග තත්වයන්, වෛරස තත්වයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් විට සංසරණය වන, ව්‍යාජ නොමඟ යවන සුළු තොරතුරු හේතුවෙන් ජනතාව කලබලයට සහ බියට පත්වන අවස්ථා අප දැක ඇත්තෙමු. ඒ අනුව මේ දිනවලත් ඒ ආකරයෙන් ම නව කොවිඩ් වෛරස තත්වයක් පවතින බවට තොරතුරු හුවමාරු වෙමින් පැවති බැවින් අප ඒ පිළිබඳ කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

නව කොවිඩ් වෛරස තත්වයක් පවතින බවටත්, එහි රෝග ලක්ෂණ පිළිබඳවත්, ඉන් ආරක්ෂා වීමට ජනාකීර්ණ ස්ථානවලට යාමෙන් වළකින ලෙස සහ මුහුණු ආවරණ පළඳින ලෙසටත් දැනුවත් කරමින් පණිවිඩයක් වට්ස් ඇප් ඔස්සේ බොහෝදෙනෙක් අතර හුවමාරු කරගෙන තිබුණා.

මෙම තත්වයෙන් ප්‍රවේශම්වන ලෙසත් මෙම පණිවිඩය පිළිබඳ අන් අයව දැනුවත් කරන ලෙසටත් එහි වැඩිදුරටත් සඳහන් වනවා. මෙම පණිවිඩය පෙනහළු විශේෂඥ, වෛද්‍ය රිටේෂ් කුමාර් දැනුවත් කළ එකක් බවට සහ වෛද්‍යවරයා තැබූ සටහනක් බවට ෆේස්බුක් සබැඳියක් ද මෙහි දක්වා තිබෙන නමුත් එම සබැඳියේ මේ වන විට එවන් සටහනක් දැකගත නොහැකි ය.

මෙම පණිවිඩය ම ෆේස්බුක් ඔස්සේ ද පළකර තිබුණේ මෙලෙසින්.

Fb|Archive

ඒ අනුව ලංකාවේ මෙවැනි තත්වයක් පවතිනවා ද යන්න සම්බන්ධයෙන් අප සොයා බැලීමක් සිදුකරනු ලැබුවේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප පළමුව ලංකාවේ මෙවැනි කොවිඩ් වෛරස තත්වයක් පවතින බවටත්, මෙරට සෞඛ්‍ය අංශයන් විසින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබේ ද යන්න පිළිබඳවත් පරීක්ෂා කර බැලූ නමුත් එවැනි දැනුවත් කිරීමක් සිදුකර ඇති ආකාරයක් දැකගත නොහැකි විය.

මෙරට කිසිඳු මාධ්‍යයක් හරහා හෝ කොවිඩ් තත්වයක් ලංකාවේ මේ දිනවල පැතිර යාමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමක් සිදුකර තිබුණේ නෑ.

ඒ අනුව, ලංකාවේ මේ දිනවල මෙවැනි නව කොවිඩ් වෛරස තත්වයක් පවතිනවා ද යන්න පිළිබඳව වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය රන්ජිත් බටුවන්තුඩාව සම්බන්ධ කරගනු ලැබුවා.

වෛද්‍ය රන්ජිත් බටුවන්තුඩාව

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රන්ජිත් බටුවන්තුඩාව සඳහන් කළේ අවසන් වරට ව්‍යාප්ත වූ කොවිඩ් වෛරස ප්‍රභේදය වඩාත් දරුණු එකක් නොවන බවත්, ලෝකයේ රටවල් එන්නත්කරණයට බොහෝසෙයින් යොමු වූ නිසාවෙන් මෙම තත්වය පාලනය කරගත හැකි වූ බවයි. 

එසේම, දරුණු නොවන කොවිඩ් වෛරස ප්‍රභේදයක් වර්තමානයේ ද චීනය, සිංගප්පූරුව වැනි ඇතැම් රටවල වරින් වර ව්‍යාප්ත වීමේ තත්වයක් දැකගත හැකි නමුත් වර්තමානයේ ලංකාවේ එවැනි තත්වයක් නොමැති බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

එනමුත් මේ දිනවල වැසි කාලගුණික තත්වය හේතුවෙන් ලංකාවෙ ඩෙංගු, චිකන්ගුන්යා වැනි තත්වයක් දැකගත හැකි බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

ලෝකයේ ඇතැම් රටවල මේ දිනවල දක්නට ලැබෙන කොවිඩ් තත්වය අධි අවදානම් සහගතයි ද?

හොංකොං, සිංගප්පූරුව, චීනය සහ තායිලන්තය යන අග්නිදිග ආසියාවේ සමහර ප්‍රදේශ හරහා COVID-19 නව රැල්ලක් පැතිර යමින් තිබෙන අතර එම රටවල ආසාදනවල සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වෙනවා

මේ රටවල දැකගන්නට උප ප්‍රභේද  ලැබෙන JN.1 කොවිඩ් ප්‍රභේදයෙන් පැවත එන ඒවා අදාළ සෞඛ්‍ය අංශ පවසනවා.

විශේෂයෙන් සිංගප්පූරුවේ පසුගිය වසර තුළ රෝගීන් සංඛ්‍යාව සියයට 28 කින් ඉහළ ගොස් ඇති අතර, මැයි 3 වන විට රෝගීන් 14,200 ක් වාර්තා වී තිබෙන බව ද වාර්තා වනවා.

කෙසේ වෙතත් අධි අවදානම් සෞඛ්‍ය තත්වයක් නොමැති සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න, එන්නත් කරන ලද පුද්ගලයින් සඳහා, වත්මන් COVID-19 රැල්ල සෘතුමය උණ පැතිරීමකට සමාන තත්වයක් බවත්, එය දරුණු තත්වයක් නොවන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්ත කර තිබෙනවා.

එනමුත් ප්‍රතිශක්තිය අඩු අවදානම් සෞඛ්‍ය තත්ව ඇති අය මෙන් ම වයස්ගත පුද්ගලයින්ට යම් බලපෑමක් ඇති බව මෙම පුවත්වල සඳහන්වනවා.

මේ සම්බන්ධයෙන් පළවී ඇති පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ඒ අනුව, සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල හුවමාරු වන සටහනට හේතු වෙලා තියෙන්නේ මොකක් ද කියලත් අපි හොයලා බැලුවා.

මීට වසර හතරකටත් පෙර, කොවිඩ් වසංගත සමයේ මුල්වරට හුවමාරු වූ සටහනක සිංහල පරිවර්තනයක්!

අප ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී පෙනී ගියේ මෙම පණිවිඩය ම 2021 වසරේදී ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති ආකාරයයි. 2021 යනු මෙරට කොවිඩ් වෛරස තත්වය ව්‍යාප්තව පැවති කාල වකවානුවකි.

Fb|Archive

Fb|Archive

ශ්‍රී ලංකාවේ 2021 වසරේ මෙන් ම මෙම වසරේ දී ද හුවමාරුවන මෙම පණිවිඩය ඉංග්‍රීසි භාෂාවෙන් හුවමාරු වූ පණිවිඩයක පරිවර්තනයක් බව අප වැඩිදුරටත් කළ සොයා බැලීමේදී පෙනීගියා.

ඒ අනුව මෙම පණිවිඩය ම 2021 වසරේ දී ද වෙනත් රටවල පිරිස් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළකර ඇති ආකාරය දැකගත හැකිවිය.

Fb|Archive   Fb|Archive

මෙම එක් සමාජ මාධ්‍ය සටහනකට දක්වා තිබූ අදහසක(Comment) දැක්වුණේ, මෙය Copy Paste කළ පණිවිඩයක් බවයි. ඒත් සමඟ ම Dr Ritesh Kumar, Pulmonologist නම් ගිණුමකින් මෙම පණිවිඩය ම 2021 වසරේදී පළ කර ඇති බවට ඡායාරූපයක් ද එම අදහස් දැක්වීමේ පළකර තිබුණා. මන් ද මෙම සෑම පණිවිඩයක ම සඳහන් වන්නේ, වෛද්‍ය රිටේෂ් කුමාර් නම් පෙනහළු විශේෂඥයෙක් විසින් මෙම දැනුවත් කිරීම සිදුකළ බවටයි.

ඒ අනුව වෛද්‍ය රිටේෂ් කුමාර් නම් පෙනහළු විශේෂඥයෙක් සිටිනවා ද යන්න ද අප සොයා බැලීමක් කළ අතර ඉන්දියාවේ එවැනි විශේෂඥ වෛද්‍යවරයෙක් සිටින බව අපට දැකගත හැකිවිය. ඔහුගේ ෆේස්බුක් ගිණුම මෙතනින්.

එනමුත් එම ගිණුමේ මෙවැනි පණිවිඩයක් වාර්තමානයේ දැකගත නොහැකි ය. ලංකාවේ හුවමාරුවන පණිවිඩවල ද මෙහි මුල් පළකිරීමේ සමාජ මාධ්‍ය සබැඳිය දක්වා තිබුණ ද එහි එම මුල් පළ කිරීම මේ වනවිට දැකගත නොහැකි ය.

එමෙන් ම 2021 වසරේදී කෙන්යානු රතු කුරුස සංවිධානය විසින් ද මෙවැනි ම පණිවිඩයක් නිකුත් කළ බවට ද එම වකවානුවේදී ව්‍යාජ පුවත් හුවමාරු වී ඇති අතර ඒ සමබ්න්ධයෙන් සිදුකළ කරුණු පරීක්ෂාවක් මෙතනනින්.

ලංකාවේ මේ දිනවල පවතින අවදානම් සෞඛ්‍ය තත්වයන්

ලංකාවේ පවතින වැසි කාලගුණයත් සමඟ ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගයන් පැතීරීමේ තත්වයක් පවතින බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. ඒ අනුව මැයි මාසයේ ගෙවුණු දෙසතියේ පමණක් ඩෙංගු රෝගීන් 2355ක් පමණ වාර්තා වී තිබෙනවා. බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වන අතර එය 48%ක ප්‍රතිශතයකි. 

අවදානම් ලෙස හඳුනාගත් දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 95ක මැයි 19 දා සිට 24 වන දා දක්වා විශේෂ මදුරු මර්දන වැඩටහනක් ක්‍රියාත්මක කරන බව ද ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරනවා.’

එමෙන් ම මේ දිනවල පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග දෙක ම ඇති වන්නේ මදුරුවන්ගෙන් බවත්, ස්වල්ප වශයෙන් හෝ ජලය එක් රැස්වන ස්ථානවලින් මෙම මදුරුවන් බෝවිය හැකි බවත්, එවැනි ස්ථාන පිරිසිඳු කරන ලෙසත් වෛද්‍යවරයා පෙන්වාදෙනවා.

මෙම රෝග තත්වයන්වලදී තද උණ සමඟ තද හිසරදය, ඇස් යට වේදනවා, ඇඟපතේ වේදනවා, සමේ රතු පැහැති පැල්ලම් ඇතිවීම, මෙන් ම චිකන්ගුන්‍ යා රෝගයේදී විශේෂයෙන් ම තද උණක් සමඟ හන්ධිපත් වේදනාව සහ හන්ධිවල ඉදිමුම ඇති වන බවත්, වයස්ගත හෝ සෞඛ්‍ය අවදානම් තත්ව ඇති අය උණ ඇතිවන පළමු දිනයේ ම සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් වෙත යොමුවන ලෙස වෛද්‍ය සමරවීර සඳහන් කරන්නේ.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් ද පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවටත් ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරිය සිදුකළ දැනුවත් කිරීම පහතින්.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

මේ දිනවල නව කොවිඩ් වෛරස තත්වයක් පවතින බවටත් ඉන් ආරක්ෂාවන ලෙසටත් දැනුවත් කරමින් පළ වන පණිවිඩය, 2021 වසරේදී කොවිඩ් වෛරස තත්වය බෝහෝසෙයින් ලෝකය පුරා ම ව්‍යාප්ත වූ අවධියේ සංසරණය වූ නොමඟ යවන සුළු පණිවිඩයකි. 

එය මේ දිනවල ද සංසරණය වන නමුත් ලංකාවේ දැනට කොවිඩ් පැතිරීමක් නොමැති බවයි වෛද්‍ය රන්ජිත් බටුවන්තුඩාව සඳහන් කරන්නේ. මෙරට සෞඛ්‍ය අංශ විසින් ද එවැනි කොවිඩ් වෛරස තත්වයක් ලංකාවේ ව්‍යාප්තවන බවට නිල වශයෙන් දැනුම්දීමක් කර නැත.  

කෙසේවෙතත් විශේෂයෙන්ම අග්නිදිග ආසියානු ඇතැම් රටවල නැවත කොවිඩ් ව්‍යාප්ත වීමේ තත්වයක් පැවතිය ද, එය ද පෙර කොවිඩ් ප්‍රභේදවලට වඩා අධි අවදානම් ප්‍රභේන්දයක් නොවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

එනමුත් ලංකාවේ මේ දිනවල ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග තත්වයන් වැසි කාලගුණයත් සමඟ ව්‍යාප්ත වෙමින් පවතින බවයි මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

Avatar

Title:මේ දිනවල පවතින නව කොවිඩ් වෛරස තත්වයක් බවට හුවමාරුවන සමාජ මාධ්‍ය සටහන්වල ඇත්ත මෙන්න !

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply