ලංකාවේ මේ දිනවල පැතිරෙන චිකන්ගුන්යා තත්ත්වය ගැන ඔබ දැනුවත් ද ?

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකාව තුළ චිකුන්ගුන්යා රෝගය පැතිර යාමේ අවදානම හේතුවෙන් එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඔවුන්ගේ පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වී තිබූණා. ඒ අනුව ඒ පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදෙන මෙන් අපගේ පරිශීලකයින් ද කළ ඉල්ලීම් මුල් කරගනිමින් අප මේ සමබන්ධයෙන් සොයා බැලීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

“ශ්‍රී ලංකාව තුළ චිකුන්ගුන්යා පැතිරීමේ අවදානමක් ඇති බැවින් අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය සංචාරකයින්ට ලංකාවේ සංචාරය පිළිබඳ අනතුරු අඟවයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

Fb|Archive

සමාජ මාධ්‍යයේ සඳහන්වන ආකාරයට මෙරට චිකුන්ගුන්යා පැතිරීමේ අවදානම හේතුවෙන් අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය යන රටවල සංචාරකයින්ට මෙරට සංචාරය කිරීම පිළිබඳ අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ ද යන්න සම්බන්ධයෙන් සහ මෙරට පවතින චිකුන්ගුන්යා පැතිර යාමේ තත්වය සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් අප සිදුකරනු ලැබුවේ මෙලෙසින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

ශ්‍රී ලංකාවේ මේ දිනවල පැතිර යන චිකන්ගුන්යා රෝග තත්වය හේතුවෙන් අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය සංචාරකයින්ට මෙරට සංචාරය කිරීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවට මෙරට මාධ්‍ය වාර්තා කර තිබුණා. එම පුවත් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

ඊට අමතරව විදෙස් වෙබ් අඩවි කිහිපයක් ද එම පුවත වාර්තා කර තිබුණේ මෙලෙසින්  සහ මෙලෙසින් . මීට අමතරව මිනසෝටා විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පර්යේෂණ සහ ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ (CIDRAP) වෙබ් අඩවිය ඔස්සේ ද ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියන් සාගරයේ රටවල් කිහිපයක චිකුන්ගුන්යා පැතිරීම හේතුවෙන් එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවට තොරතුරු වාර්තා කර තිබුණා.

බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාල වෙබ් අඩවිය ද අප පරීක්ෂා කළ අතර එහි ශ්‍රී ලංකාවේ සංචාරකයින් මුහුණ දෙන “සෞඛ්‍ය අවදානමක්” ලෙස චිකුන්ගුන්යා, ඩෙංගු සහ සිකා වෛරසය ඇතුළත් කර තිබුණේ මෙලෙසින්.

එමෙන් ම ඉන්දියානු සාගර කලාපයට සංචාරය කිරීමට සැලසුම් කරන පුද්ගලයින්ට චිකුන්ගුන්යා රෝගයට එරෙහිව වැඩි දියුණු කළ පූර්වාරක්ෂාවන් භාවිතා කරන ලෙස  එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු  ඇඟවා තිබුණේ මෙලෙසින්.

එක්සත් ජනපදයේ ජාතික මහජන සෞඛ්‍ය ආයතනය හෙවත් රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) නිකුත් කළ 02 වන මට්ටමේ සංචාරක නිවේදනයට අනුව, මොරිෂස්, මයෝට්, රියුනියන්, සෝමාලියාව සහ ශ්‍රී ලංකාව යන රටවල චිකුන්ගුන්යා පැතිරීම් පවතී.

චිකුන්ගුන්යා පැතිරීමක් ඇති ප්‍රදේශයකට යන සංචාරකයින් සඳහා එන්නත් කිරීම එක්සත් ජනපදය විසින් නිර්දේශ කර ඇත. විශේෂයෙන් දරු ප්‍රසූතියට ආසන්න කාන්තාවන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට සංචාරය කිරීම නැවත සලකා බලන ලෙසද එක්සත් ජනපදය උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ ‘චිකන්ගුන්යා’ සහ ‘ඩෙංගු’ රෝග ව්‍යාප්තියේ ඉහළ යාම

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව මෙරට සෞඛ්‍ය අංශ පවසනවා.

මහාචාර්ය නීලිකා මලවිගේ

ශ්‍රී ලංකාවේ චිකුන්ගුන්යා රෝගය නැවත මතුවීම සම්බන්ධයෙන් සිදුකළ ජානවිද්‍යාත්මක පරීක්ෂණයක් උපුටා දක්වමින්  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති සහ අණුක විද්‍යා අංශයේ ප්‍රධානි විද්‍යාඥ, මහාචාර්ය නීලිකා මලවිගේ පවසන්නේ,  වසර 20කට පමණ පසු විශාල චිකන්ගුන්යා වසංගතයක් අත්විඳිමින් සිටින බවයි. මෙම පර්‍යේෂණය මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු මෙරට විද්වතුන් පිරිසක් සිදුකළ පර්යේෂණයකි.

X පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කර තිබෙනවා.

පසුගිය 2024 අවසානයේ සිට මෙම පැතිරීම ආරම්භ වී ඇති බව ත් ඔක්ස්ෆර්ඩ් නැත්තෝපෝර් විශ්ලේෂණ පද්ධතිය භාවිත කරමින් සම්පූර්ණ ජානමය අනුක්‍රමණයෙක් ඔස්සේ මෙම විකුන්ගුන්යා ප්‍රභේදය හඳුනාගත් බවත් එම පර්යේෂණයේ සඳහන් වනවා.

වර්තමාන වයිරසය, ඉන්දියානු සාගර කලාපයේ දක්නට ලැබෙන (IO) සුළු වෙනස්කම් කිහිපයක් සමග ඇති වී තිබෙන බවට සොයාගෙන ඇති බවත්, 2025 සිට චිකුන්ගුන්යා වයිරසයේ අද්විතීය විකෘතියක් පෙන්නුම් කරන බවත් එහි සඳහන් වනවා.

මෙම නව විකෘති වෛරසය මීට පෙර සංස්ලේෂණය කර නොමැති බැවින් ඒවා මදුරුවන් තුළ වයිරස් ප්‍රතිනිර්මාණයට බලපාන ආකාරය සොයා බැලිය යුතු බව පවසන අතර එසේ ම වෛරසය මිනිසාගේ ප්‍රතිශක්තිකරණය මඟ හැරීමට බලපාන්නේ කෙසේදැයි සොයා බැලීම වැදගත් බවත් සඳහන් කර ඇත.

එමෙන් ම මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය ද X පණිවිඩයක් ඔස්සේ, චිකුන්ගුන්යා වසංගතය හේතුවෙන් CDC ආයතනය ශ්‍රී ලංකාවේ සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවට ද සඳහන් කර තිබෙනවා.

 මහාචාර්ය චන්දිම ජීවන්දර

වසර 16ට පසුව ශ්‍රී ලංකාව තුළ වසංගතයක් ලෙස පැතිර යන චිකන්ගුනයා වෛරසය ඒඩීස් ඊජිප්ටයි මදුරු විශේෂය  (නාගරික ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ) හරහා සම්ප්‍රේක්ෂණය වැඩිකරන බවත් කලින් වාර්තා නොවූ විකෘතිතා දෙකක (nsP3:T224I  සහ nsP4:S90A)  මෙම වෛරසය පවතින බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා හා  ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ  මහාචාර්ය චන්දිම ජීවන්දර   සඳහන් කරනවා.

මෙම වෛරසය මිනිසාගේ ප්‍රතිශක්තිකරණය මගහැරීම හා  වෛරසය     මදුරුවා තුළ  ප්‍රතිනිර්මාණය   වූයේ කෙසේද යන්න පිලිබඳව සොයා බැලිය යුතු බව මහාචාර්යවරයා පවසනවා.

අසාත්මිකතා සහ ප්‍රතිශක්තිකරණ ආයතනයේ සිදු කරන ලද ඔවුන්ගේ පර්යේෂණවලින්  හෙළි වන්නේ දැනට සංසරණය වන චිකන්ගුන්යා වෛරසය 2006 – 2008 කාලය තුළ මෙරට පැතිර ගිය වෛරසය නොවන බවයි. 

වසර 2024 දෙසැම්බර් සිට 2025 අප්‍රේල් මාසය දක්වා කාලය තුළ වාර්තා වු  උණ  රෝගීන් 65 දෙනෙකු යොදා ගනිමින් කළ  පර්යේෂණයේදී  සියයට  35.4 චිකන්ගුන්යා රෝගයට ගොඳුරු වී ඇති අතර  සියයට 10.8 දෙනෙකු ඩෙංගු රෝගයට ගොඳුරු වී ඇතැයි හෙලිවි ඇති අතර  මෙම පර්යේෂණයෙන්  තහවුරු වී ඇත්තේ නියදි 6 කට සියයට 70ට වැඩි ජානමය ආවරණයක් තිබි ඇති බවය. 

මේ පිළිබඳව පළ වූ පුවත් මෙතනින් සහ මෙතනින්

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර 

තව ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරන්නේ, 2025 වසරේ ඩෙංගු රෝගීන් 21,000කට ඉහළ පිරිසක් වාර්තාවන බවයි. මැයි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 3500ක් වාර්තා වී ඇති බවත්, එය ක්‍රමක්‍රමයෙන් රෝගීන් වාර්තා වීමේ වැඩි වීමක් බවයි.

ඒ අතරිනුත් වාර්තා වූ රෝගීන්ගෙන් 45%ක් පමණ වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙන් බවයි වෛද්‍යවරයා සඳහන් කරන්නේ. ඉන් කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් තිබෙන බවත් එය 21%ක පමණ ප්‍රමාණයක් බවත් වෛද්‍යවරයා සඳහන් කරන්නේ. දෙවනියට වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වීම රත්නපුරයෙන් සහ තෙවන ස්ථානයට රෝගීන් වාර්ත වීම ගම්පහ දිස්ත්‍රීකයෙන් වාර්තාවන බවත් මෙම ප්‍රදේශ ඩෙංගු රෝගය සම්බන්ධයෙන් අවදානම් ප්‍රදේශ බවත් එම මහතා සඳහන් කරනු ලබනවා. 

ඊට අමතරව ත්‍රිකුණාමලය, කුරුනෑගල, යාපනය, ගාල්ල , මහනුවර වැනි දිස්ත්‍රික්ක අවදානමට ලක්විය හැකි දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග දෙක ම ඇති වන්නේ මදුරුවන්ගෙන් බවත් මේ දිනවල මෙම රෝග තත්වයන් පැතිරීමේ අවදානම් තත්වයක් පවතින බවත් වෛද්‍යවරයා පෙන්වාදෙනවා.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත්

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් ද පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවටත් දැනුවත් කිරීමක් කර තිබුණේ මෙලෙසින්.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි

ඩෙංගු සහ චිකුන්ගුන්යා මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ද පවසනවා.

ඔහු පවසන්නේ මේ වනවිට පවතින දත්ත අනුව මෙම වසරේ වාර්තාවන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක් සිදුවිය හැකි බවය.

එමෙන්ම උණ රෝගයක් පවතින්නේනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමුවන ලෙස නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පසුගිය දා සඳහන් කරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින් සහ මෙතනින්.

චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර

චිකුන්ගුන්යා යනු ඊඩිස් මදුරුවන්, එනම් ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti) සහ ඊඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus) යන මදුරුවන් දෂ්ට කිරීම හරහා පැතිරෙන වෛරස් රෝගයකි. ඩෙංගු උණ පතුරවන්නේ ද මෙම ඊඩිස් වර්ගයේ මදුරු විශේෂයම ය. 

චිකුන්ගුන්යා රෝගයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ දරුණු සන්ධි වේදනාවන් ඇතිවීමයි. සාමන්‍යයෙන් ඒඩිස් මදුරුවන් දෂ්ට කිරීමෙන් දින 4-8 කට පසුව රෝග ලක්ෂණ මතුවන අතර, මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ, අධික උණ, දරුණු සන්ධි වේදනාව, සන්ධි ඉදිමීම, මාංශ පේශි වේදනාව, හිසරදය,ඔක්කාරය සහ තෙහෙට්ටුව, සමේ කුෂ්ඨ,නාසයේ සහ අත්වල පැහැය වෙනස් වීම ආදියයි.

චිකුන්ගුන්යා වසංගතයේ විශේෂත්වය වන්නේ, මුලින් ඇති වෙන රෝග ලක්ෂණ (එනම් උණ ,මාංශ පේශි වේදනාව) සුව වීමෙන් පසු සන්ධි වේදනාව දීර්ග කාලයක් පැවතීමයි. චිකන්ගුන්යා රෝගී තත්වය ගැන තවත් විස්තර කිහිපයක් මෙතනින්.

මදුරුවන් පැතිර යාම වැළැක්වීම මෙහිදී කළ යුතු ප්‍රධාන කාර්යයක් වන අතර ඔබ රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්, වෛදවරයා හමුවීම කළ යුතුවනවා. රෝගය ඉක්මනින් හඳුනාගැනීමට හැකිවුනොත්, රෝග ලක්ෂණ හොඳින් පාලනය කිරීමට හැකියාව ඇත.  

Also Read : අධි අවදානම් covid-19 තත්වයක්, මේ දිනවල ලංකාවේ පැතිරෙනවා ද ?

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Avatar

Title:ලංකාවේ මේ දිනවල පැතිරෙන චිකන්ගුන්යා තත්ත්වය ගැන ඔබ දැනුවත් ද ?

Fact Check By: Piumika Lakshani  

Result: Insight


Leave a Reply