දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සත්ත්ව ලෝකයේ සුන්දරත්වය විදහාපන සිදුවීම්වලට අදාළ දර්ශන, ඡායාරූප දැකගැනීමට ද බොහෝ පිරිසක් දක්වන්නේ, දැඩි උනන්දුවක්. ඒ නිසාම සත්ත්ව ලෝකයෙන් වාර්තාවන විශේෂ සිදුවීම් ඉතා ඉක්මනින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද සංසරණය වේ. මේ එලෙස වාර්තා වූ තල්මසෙකු පිළිබඳ ප්‍රවෘත්තියක් සහ ඊට අදාළව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ, සංසරණය වන ඡායාරූප කිහිපයක් පිළිබඳ සිදුකළ විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
2007 දී, ඇලස්කාවේ දඩයම්කරුවන් දුනුහිස තල්මසෙකු තුළ විශ්මයජනක සොයාගැනීමක් සිදු කළ බවත් තල්මසාගේ ශරීරයේ මස් වල තැන්පත් වී ඇති 19 වන සියවසේ දඩයම් හෙල්ලයක කොටසක් සොයා ගත් බව කියමින් මෙම සටහන පළ කර ඇත්තේ, එම සිදුවීම පිළිබඳ විස්තරයක් ද සහිතවයි.
885 – 1895 අතර කාලයේදී මෙම හෙල්ලය තල්මසාගේ සිරුරේ ඇනී ඇති බවත් එම එය වසර 100 කට අධික කාලයක් සිරුරේ රැඳී තිබීම තුළ තල්මසුන්ගේ ආයුෂ කාලය පිළිබඳ සාක්ෂි සපයන බවත් එහි සඳහන් ය. මෙම සමාජ මාධ්‍ය සටහන පළ කර ඇත්තේ, හෙල්ලයක කොටසක් හිස කොටසෙහි රැඳී ඇති තල්මසෙකුගේ ඡායාරූපයක් ද සහිතවයි.

TikTok ඔස්සේ ද මෙම ඡායාරූපය සහිත සමාජ මාධ්‍ය සටහන මෙලෙස Archived Link පළ කර තිබිණ.
තවත් පරීශිලකයෙකු මෙම සිදුවීම ඡායාරූපයක් ද සහිතව Instagram ඔස්සේ පළකර තිබුණේ මේ ආකාරයෙනි.

“මේ තල්මසා කොච්චර වේදනාවකින් ජීවත් වෙන්න ඇති ද” යනුවෙන් සඳහන් කරමින් මෙම සිදුවීම ඡායාරූපයක් සහිතව කෙටි වීඩියෝවක් ලෙස යූ ටියුබ් ඔස්සේ ද මෙලෙස පළ කර තිබුණා.
මේ ආකාරයේ විශාල හෙල්ලයක කොටසක් සමඟ සියවසකට වැඩි කලක් වේදනාවෙන් ජීවත්වූ තල්මසෙකු ගැන මෙලෙසින් හුවමාරු වන පුවත් ගැන අපගෙන් ද කිහිපදෙනෙකුම විමසා සිටි අතර අප මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඇලෙස්කාවේදී සොයා ගත් තල්මසා
සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන සටහන්වලින් කියැවෙන ආකාරයේ සිදුවීමක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ දැයි අප විමසා බැලූ අතර එහිදී Reuters, CBS, සහ Telegraph ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක්ම මෙම සිදුවීම වාර්තා කර තිබෙනු දැකගත හැකි විය.
මෙම වාර්තවලට අනුව 2007 වසරේදී ඇලස්කාවේ දඩයම්කරුවන් විසින් ටොන් 50 ක් පමණ බර දුන්නක හැඩය සහිත හිස සහ දුන්නක හැඩය සහිත මුඛය නිසා දුනු හිස තල්මසා ලෙසින් හඳුන්වන (Bowhead Whale) සොයාගෙන ඇති අතර තල්මසාගේ බෙල්ල සහ උරහිස් තලය අසල අස්ථියේ ගැඹුරට තැන්පත් වී තිබූ ලෝහ කැබැල්ලක් හමුවී ඇත.
ඒ අනුව එම අවි කොටස තල්මසාගේ වයස නිර්ණය කිරීමට ද යොදාගත් අතර, එහි දැක්වෙන්නේ, 19 වන සියවසේ අගභාගයේදී නිෂ්පාදනය කරන ලද, කෙටි දුරක සිට විදීමෙන් මත්ස්‍ය දඩයම සඳහා යොදාගැනුණු “bomb lance” නමැති අවියක කොටසක් බවත්, ප්‍රහාරයෙන් තුවාල වුවද මාරාන්තික නොවන ස්ථානයකට එල්ල නොවීම නිසා තල්මසා ජීවිතය ගලවා ගෙන අවි කොටසද සහිතව දීර්ඝ කාලයක් ජීවත් වී ඇති බවත් විශේෂඥයින් පෙන්වා දෙනවා.
මේ අතර මෙම සිදුවීම වාර්තා කර ඇති ඉහත මාධ්‍ය වාර්තා සියල්ලම තහවුරු කරන්නේ, එම අවි කොටස අඟල් තුනහමාරක් පමණ දිග බවත් එය අවුරුදු 100කට අධික කාලයක් තල්මසාගේ සිරුරේ සිරවී තිබී ඇති බවත් ය.
ඇලෙස්කාවේ North Slope Borough හි වනජීවී කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වනජීවී ජීව විද්‍යාඥ ක්‍රේග් ජෝර්ජ්ට පවසා ඇත්තේ, සාක්ෂිවලට අනුව තල්මසා මිය යන විට අවුරුදු 115 ත් 130 ත් අතර වයසක පසුවී ඇති බවයි.
මෙම සොයා ගැනීම තල්මසුන්ගේ වයස තීරණය කරන අක්ෂි කාච පිළිබඳ ඇමයිනෝ අම්ල අධ්‍යයනයන් ඇතුළු අනෙකුත් විද්‍යාත්මක පර්යේෂණ සමග සැසදෙන බවත් ඒ අනුව දුනු හිස සහිත තල්මසුන්ට සියවසකට වැඩි කාලයක් ජීවත් විය හැකි බවත් අවුරුදු 200 කට ආසන්න වයසකට ළඟා විය හැකි බවත් සඳහන් ය.
පසුව මෙම අවි කොටස සංරක්ෂණය කර ඇලස්කාවේ බැරෝහි Inupiat Heritage Center සංස්කෘතික හා විද්‍යාත්මක කෞතුක භාණ්ඩයක් ලෙස ප්‍රදර්ශනය කරන තිබේ.
ඒ අනුව මෙම සොයාගැනීම තල්මසා යනු තවදුරටත් දීර්ඝතම ආයු කාලයක් භුක්ති විඳින ක්ෂීරපායී සත්ත්වයින් අතර සිටින සත්ත්වයෙකු බව තහවුරු වන අතර ආයුධ කැබැල්ල සහිතව ජීවත්වූ දුනුහිස තල්මසාගේ සාක්ෂියෙන් පසු තල්මසුන්ට 19 වන සියවසේ දඩයම්වලින් සිදුවූ තුවාල වලින් ද දිවි ගලවා ගත හැකි බව ද තහවුරු වී තිබේ.
තව ද ඉහත පළ කර ඇති මුල් සමාජ මාධ්‍ය සටහන සඳහා මුලාශ්‍රය ලෙස සඳහන් කර තිබූ IFLScience වාර්තාව හෝ එම සමාජ මාධ්‍ය සටහන සඳහා භාවිත කර යොදා ගෙන තිබූ ආකාරයේ තල්මසාගේ ඡායාරූපයක් පළ කර නොතිබිණ.
පිළිගත් මාධ්‍ය වාර්තා සියල්ලෙහිම පාහේ දැකගත හැකි වූ, තල්මසාගේ සිරුරේ තිබී සොයා ගන්නා ලද බව කියන ආයුධ කොටසේ ඡායාරුපය පහතින්.

Credit: New Bedford Whaling Museum
නිව් බෙඩ්ෆර්ඩ් තල්මසුන් කෞතුකාගාරයේ පැරණි ලේඛනවල දක්වා තිබෙන්නේ මේ ආකාරයේ “bomb lance” හෙල්ල තල්මසා තුළ පුපුරා යන ලෙස නිර්මාණය කර තිබු බවත්, දුනු හිස තල්මසුන් දඩයම් කිරීමට ආක්ටික් ප්‍රදේශවල බහුලව භාවිතා කරන බවයි. කෞතුකාගාර වාර්තාවලින් පෙනී යන්නේ මෙම පුපුරන සුලු හෙල්ල නිසි ලෙස ක්‍රියාත්මක වූ විට බොහෝ කාර්යක්ෂම ද වූ බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ ඡායාරූපය හේතුවෙන් පාඨකයින් නොමඟ ගිය අවස්ථා!
2007 වසරේදී ඇලස්කාවේ දුනුහිස තල්මසෙකුගෙන් සිරුරේ තිබී 19 වන සියවසට අයත් ලෝහ කැබැල්ලක් හමුවීමේ සිදුවීම සහ ඒ හරහා හෙළිවී ඇති කරුණු සත්‍ය වුව ද, එම කරුණ පෙන්වීමට යොදාගෙන තිබුනේ ජනනය කළ ඡායාරුපයක් බවත් බොහෝ දෙනෙකු හඳුනාගෙන තිබුණ ද, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තල්මසාගේ බව කියමින් විශාල අවි කොටසක් පෙන්වා දීමත් සමඟ බොහෝ දෙනා නොමඟ ගොස් තිබුණා.
ඒ අනුව සමාජ මාධ්‍ය සහටන්වල ඇති ඡායාරූප කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප පිළිබඳව සොයා බලන AI (කෘතීම බුද්ධිය) පරීක්ෂක මෙවලමක් වෙත යොමු කළ අතර එවිට තහවුරු වූයේ, සමාජ මාධ්‍ය සටහන්වල සංසරණය වන සටහන් සඳහා යොදා ගෙන ඇති ඡායාරූප සියල්ල AI ඔස්සේ නිර්මාණය කරන ලද ඒවා බවයි.




ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සේ වයිරල් වූ ඡායාරුපය මුල් වරට පළකර තිබුනේ, විද්‍යා, තාක්ෂණ සහ සොබාදහම ගැන AI ඔස්සේ සිදුකළ නිර්මාණ නිරතුරුව පළකරන විශාල පාඨක සමුහයක් ඇති Hashem Al-Ghaili ගේ ගිණුමෙනි. එම සටහන මෙතනින්. මේ සඳහා ප්‍රතිචාර දක්වමින් අදාළ පුවත සඳහා සිදුකර ඇති නිර්මාණයේ අඩුපාඩු පෙන්වා දී තිබුණා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
19 සියවසයේ දඩයම් කිරීමේදී ප්‍රහාරයකට ලක්වී ජීවිතය බේරාගෙන, ප්‍රහාරයට යොදහෙන තිබු හෙල්ලයේ කුඩා කොටසක් සහිතව දීර්ඝ කාලයක් ජීවත්වූ දුනුහිස තල්මසෙකු ගැන 2007 වසරේ දී වාර්තා වූ පුවත විද්‍යාත්මකව තහවුරු කරන ලද සත්‍ය සිදුවීමක් බව පැහැදිලි වේ. එහෙත් සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වන ඡායාරූපය සැබෑ සිදුවීමට මුහුණ දුන් දුනුහිස තල්මසාගේ සැබෑ ඡායාරූපක් නොවන අතර අතිශයෝක්තියකින් පලකරන කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප බව තහවුරු වේ.
මේ නිසා නොමඟ යවන සුළු අර්ථකතන ඇතුළත් තොරතුරු හුවමාරු වීම වළක්වමින්, විද්‍යාත්මක විශ්වසනීයත්වය ආරක්ෂා කිරීමට සහ නීත්‍යානුකූල සංරක්ෂණ ප්‍රයත්නයන් කෙරෙහි මහජන විශ්වාසය පවත්වා ගැනීමට, AI ඔස්සේ ජනනය කරන ලද රූප සැමවිටම පැහැදිලිව ලේබල් කිරීම වැදගත් වන අතර, මෙවැනි ඡායාරූප නිර්මාණය කිරීමේ දී ද සත්‍ය පුවතට හැකිතාක් සමීප ලෙස නිර්මාණ සිදුකිරීම වැදහත් වේ.

Title: සිරුරේ ඇනුණු අවියක කොටසක් සහිතව සියවසකට වැඩි කලක් ජීවත් වූ තල්මසෙකුගේ පුවතේ ඇත්ත නැත්ත!
Fact Check By: Sagarika ChathumaliResult: Misleading
