වත්මන් මැද පෙරදිග යුධ තත්ත්වය සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහන් පෙළක්!

Internatioanl Misleading Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මැදපෙරදිග කලාපයේ යුද උණුසුම නැවතත් ඉහළ යාමත් සමඟ නොමඟ යවන සුළු සටහන් සහ ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබුණා. එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ,

Updated claim : සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ඉරානයට එල්ල කරන ලද අමෙරිකානු ප්‍රහාරය මධ්‍යයේ එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ගිනි ගන්නා ආකාරය පෙන්වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

Facebook

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

බර්ජ් කලීෆා ගොඩනැගිල්ලට මිසයිල ප්‍රහාරයක් එල්ල වූයේ නම් එය ප්‍රධාන පුවතක් වීමට ඉඩ තිබුණි. නමුත් එවැනි පුවතක් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ හෝ වෙනත් ජාත්‍යන්තර මාධ්‍යයක් වාර්තා කර නොතිබුණි.

මෙම වීඩියෝවේ ඇති අස්වාභාවික බව නිසාම අප මෙම වීඩියෝවේ කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කර ඇත්ද යන්න ඒවා හඳුනා ගැනීමේ මෙවලමක් භාවිතයෙන් පරීක්ෂා කරනු ලැබුවා. එහි ප්‍රතිඵල මගින් දැක ගන්නට ලැබුණේ, මෙම වීඩි‍යෝව AI ඔස්සේ ජනනය කර ඇති බවයි.

කෙසේ වෙතත් ඩුබායි හි බර්ජ් අල් අරාබියට(Burj Al Arab) ඉහළින් ඩ්‍රෝන යානයක් නිශ්ක්‍රිය කළ බව ත්, එහි සුන්බුන් කැබැල්ලක් බිමට පතිත වීම මගින් සුළු ගින්නක් ඇති වී ඇති බව ත්, එක්සත් අරාබි එමිර් රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“කමේණිට ප්‍රහාර දුන් CCTV දර්ශන එළියට” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණේ මෙලෙසින්

Facebook | Archived Link

එසේම යූ ටියුබ් ඔස්සේ ද අදාල වීඩියෝව පල වී තිබුණේ මෙලෙසින්. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල්කමේනිට ඇමරිකාව සහ ඊශ්‍රායල ඒකාබද්ධව එල්ල කළ ප්‍රහාරය අතරතුර පටිගත වූ CCTV දර්ශනයක්
ලෙසින් දක්වා තිබූ මෙම වීඩියෝවේ සත්‍ය අසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා අප විසින් කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි වෙත ප්‍රාහරය එල්ල කළ අවස්ථාවේ සජීවී දර්ශන ඇත්නම් එම දර්ශන ප්‍රධාන ධාරාවේ ජාත්‍යන්තර මාධ්‍ය තුළ පල වී තිබිය යුතුයි. ඒ අනුව අදාළ වීඩියෝව ඉරාන රාජ්‍ය මාධ්‍ය හෝ වෙනත් ප්‍රධාන ධාරාවේ ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර ඇත් ද යන්න අප විසින් පරීක්ෂා කළත් එවැන්නක් හමු වුනේ නැහැ.

කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝවක්

එසේම අදාළ හුවමාරු වන වීඩියෝවේ දර්ශන සමීප පරීක්ෂා කිරීමේදී ඒවායේ අස්වාභාවික බවක් දැක ගත හැකියි. ප්‍රහාරය එල්ල වීමට පෙර රූප රාමු වල පෙනී සිටින පුද්ගලයන්ගේ ශරීර අභිනයන්ගේ ස්වභාවික බවක් ඉක්මවා ගිය කෘත්‍රිම බවක් දක්නට ලැබෙන අතර ප්‍රහාරය එල්ල වීමෙන් පසුව එහි පෙනී සිටින
පුද්ගලයන් පමණක් අතුරුදන් වන අතර සාකච්ජාව පවත්වන බව දැක්වෙන මේසය මත ඇති මයික්‍රෆෝනය
ප්‍රහාරයෙන් පසුද එලෙසම තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි.

එම නිරීක්ෂණද සැලකිල්ලට ගනිමින් අප විසින් අදාල වීඩියෝ පටයේ රූප රාමු කෘත්‍රිම බුද්ධි අන්තර්ගත හඳුනාගත හැකි මෙවලම් කිහිපයක් වෙත යොමු කරනු ලැබුවා.

එහීදී තහවුරු වූයේ අදාල වීඩියෝව කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝවක් බවයි.

Claim : සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ඊශ්‍රායල ඇමෙරිකන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මළ සිරුරෙහි ඡායාරූපයක් ලෙස දක්වමින් මෙරට මෙන්ම ජාත්‍යන්තර සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේද ඡායාරූපයක් හුවමාරු වුණා.

“ඉරාන රජය සුන්බුන් අතර ඇති කමේනිගේ සිරුරේ ඡායාරූපයක් නිකුත් කරයි,  ඇමරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් විනාශ වූ ටෙහෙරාන් නුවර පිහිටි සිය නිල නිවසෙහි සුන්බුන් අතර තිබී සොයාගත් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය දැක්වෙන ඡායාරූපයක් ඉරාන රජය විසින් නිල වශයෙන් මාධ්‍ය වෙත මුදාහැර තිබේ. ඉරාන රාජ්‍ය රූපවාහිනිය (IRIB) මගින් මෙම ඓතිහාසික සහ සංවේගජනක ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කළේ කමේනි “දිව්‍යමය මරණයට” (Martyrdom) පත් වූ බව තහවුරු කරමිනි. සෙනසුරාදා එල්ල වූ එම ප්‍රහාරයෙන් කමේනිගේ මාලිගය සම්පූර්ණයෙන්ම බිමට සමතලා වී ඇති අතර, ඔහුගේ දේහය සොයාගෙන ඇත්තේ පැය කිහිපයක දැවැන්ත මෙහෙයුමකින් පසුව බව වාර්තා වේ”. යනුවෙන් සඳහන් කරමින් අදාල ඡායාරූපය සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා.

Facebook | Archived Link

එම ඡායාරූපය යොදාගනිමින් මීට සමාන තවත් සටහන් රැසක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook Facebook Facebook Facebook 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අදාළ ඡායාරූපය සැබෑ ලෙසම ඉරාන රජය විසින් නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කරන ලද මියගිය ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ මෘත ශරීරයේ ඡායාරූපයක් ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා. ඒ අනුව අදාළ ඡායාරූපය ඉරාන රාජ්‍ය රූපවාහිනිය (IRIB), ප්‍රධාන ධාරාවේ ඉරාන මාධ්‍ය හෝ ජාත්‍යන්තර මාධ්‍ය විසින් පල කර තිබේද යන්න පරීක්ෂා කළ අතර ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ජීවිතක්ෂයට පත් වීම සම්බන්ධයෙන්  ඉරාන රාජ්‍ය රූපවාහිනිය (IRIB), ප්‍රධාන ධාරාවේ ඉරාන මාධ්‍ය සහ අනෙකුත් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණත් ඉරාන රාජ්‍ය රූපවාහිනිය, වෙනත් ප්‍රධාන ධාරාවේ ඉරාන මාධ්‍ය හෝ වගකිවයුතු ප්‍රධාන ධාරාවේ කිසිඳු ජාත්‍යන්තර මාධ්‍ය නාලිකාවක් විසින් අදාල මෘත ශරීරය සහිත ඡායාරූපය පළ කර තිබුණේ නැහැ.

අදාළ ඡායාරූපය සමීපව නිරීක්ෂණය කිරීමේදී ඡායාරූපයේ අස්වාභාවික බවක් දර්ශනය වන අතර ගලවා ගැනීමේ සේවකයින් මළ සිරුර කෙරෙහි අවධානයක් නොදක්වමින් වෙනත් සුන්බුන් වෙත අවධානය යොමු කරමින් සිටින බවක් නිරීක්ෂණය කළ හැකියි. එසේම ගොඩනැගිලි සුන්බුන් මෘත ශරීරය මතුපිටින් තබන ලද බවක් නිරීක්ෂණය වන අතර එම ගොඩනැගිලි කොටස මෘත ශරීරය මත පීඩනයක් ඇති කරන බවක් ද නිරීක්ෂණය වන්නේ නැහැ. එසේම ගලවා ගැනීමේ නිලධාරීන්ගේ විදුලි පන්දම් වලින් ලැබෙන ආලෝකය අවට සෙවනැලි හෝ පරාවර්තනයන් ඇති කරන බවක්ද නිරීක්ෂණය කළ නොහැකියි.

කෘත්‍රිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ඡායාරූපයක් 

එම නිරීක්ෂණයද සැලකිල්ලට ගනිමින් අප විසින් අදාල ඡායාරූපය Google Gemini වෙත යොමු කරන ලද අතර එහිදී අනාවරණය වූයේ අදාල ඡායාරූපය Google හි කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම් භාවිතයෙන් සංස්කරණය කර හෝ ජනනය කර ඇති බවයි.

එසේම අප විසින් අදාල ඡායාරූපය කෘත්‍රිම බුද්ධි අන්තර්ගත හඳුනා ගැනීමේ මෙවලම් කිහිපයක් වෙත යොමු කරන ලද අතර එහිදීද තහවුරු වූයේ අදාල ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ඡායාරූපයක් වන බවයි.

සමාජ  මාධ්‍ය  සටහන්  (Social Media Posts) :

ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයක් ලෙස දක්වමින් වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා.

Facebook | Archived Link

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

2026 පෙබරවාරි 28 වන දින ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්. අදාළ මාධ්‍ය වාර්තා ඔස්සේ ටෙල් අවිව් හි තත්වය පිළිබඳව ඡායාරූප සහ වීඩියෝ පට වාර්තා කර තිබුණද එම ප්‍රධාන මාධ්‍ය වාර්තා තුළ ටෙල් අවිව් හි සිදු වී ඇති විනාශය පෙන්නුම් කරන මෙවැනි වීඩියෝවක් පල කර තිබන බවක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. 

2024 වර්ෂයේ ඔක්තෝබර් 26 වන දින ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් දැක්වෙන වීඩියෝවක්

ඒ අනුව අප විසින් අදාල වීඩියෝවේ දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂාවට ලක් කළ අතර එහිදී හඳුනාගැනීමට හැකි වූයේ අදාල වීඩියෝව 2024 වර්ෂයේ ඔක්තෝබර් 26 වන දින ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් දැක්වෙන වීඩියෝවක් බවයි. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

X

සමාජ මාධ්‍ය සටහන්(Social Media Posts) :

“ඉරානය අතනොහරියි. මිසයිල ගබඩා සංකීර්ණයක් ඊළඟ පිම්මට සූදානම්” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. 

Facebook | Archived Link

Facebook 

පසුගිය දින කිහිපයේදී ඉරාන මාධ්‍ය විසින් නිකුත් කරන ලද අවි ගබඩාවක දර්ශන පෙලක් ලෙස දක්වමින් පල කර තිබුණු එම වීඩියෝව සැබෑ ලෙසම මෑතකදී නිකුත් කරන ලද වීඩියෝවක් ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඒ අනුව අප විසින් අදාළ වීඩියෝවේ දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කළ අතර එහිදී හඳුනා ගත හැකි වූයේ එම වීඩියෝව සහ එහි ඇතැම් දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය විසින් පසුගිය වසරේදීත් පළ කර ඇති බවයි.

ජාත්‍යන්තර මාධ්‍ය විසින් 2025 ජූනි මස 17 වන දින පල කරන ලද වාර්තාවක  අදාල වීඩියෝ පටයේ එක් දර්ශනයක් ඡායාරූපයක් ලෙස පල කර ඇති අතර එහි සඳහන් වන්නේ “ටෙහෙරානය පිටුපස ඇල්බෝර්ස් කඳු වැටියේ ගැඹුරින් ඉරානයේ සැඟවුණු ඩ්‍රෝන යානා. / IRGC මාධ්‍ය) යනුවෙනි”

Intellinews

එසේම Shafaq News විසින් 2025. 06.16 වන දින එම ඡායාරූපයම පල කරමින් ” ඉරානය මෙතෙක් විශාලතම ප්‍රතිචාරය දැක්වීමට සූදානම් වන විට ඊශ්‍රායලය ටෙහෙරාන් රූපවාහිනියට පහර දෙයි” යනුවෙන් වාර්තා කර ඇති ආකාරය හඳුනාගත හැකියි.

shafaq

“රහසිගත මිසයිල ගබඩාවක් හෙළිකිරීම” යනුවෙන් සඳහන් කරමින් අදාල වීඩියෝ පටය මීට මාස අටකට පෙර ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබෙන ආකාරය හඳුනාගත හැකියි.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“සෞදි අරාබියේ රියාද් හි ඇමරිකානු ගුවන් කඳවුර ඉරානය විසින් විනාශ කරන ලදී” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා.

Facebook | Archived Link

අදාල වීඩියෝ පටය මෑතකදී ඇති වූ ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස වාර්තා වූ සිදුවීමක් ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඒ අනුව අදාල වීඩියෝ පටයේ දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කළ අතර එහිදී හඳුනාගත හැකි වූයේ අදාල වීඩියෝව 2024 වර්ෂයේ යේමනයේ හොඩෙයිඩා වරායට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කරන ලද අවස්ථාවේ ලබා ගත් වීඩියෝපටයක් බවයි. 2024 ජූලි 20 වන දින RaasdNews සේවය විසින් අදාල වීඩියෝ පටය වාර්තා කර ඇති අතර යේමනයේ හොඩෙයිඩා වරායට ඊශ්‍රායල බෝම්බ හෙලීමේ ප්‍රතිඵලයක් ලෙස දැවැන්ත ගින්නක් ඇති වූ බව එහි සඳහන් වනවා.

RaasdNews

එසේම 2024 වසරේදීම මාධ්‍ය විසින් පල කරන ලද එම වීඩියෝව ඇතුළත් තවත් YouTube වීඩියෝවක් ද මෙලෙසින් දැක්විය හැකියි.

අල් ජසීරා වෙබ් අඩවියට අනුව , ඊශ්‍රායලය 2024 ජූලි 20 වන දින හූතිවරුන්ට සම්බන්ධ හමුදා ස්ථාන ලෙස හැඳින්වූ ස්ථාන ඉලක්ක කර ගනිමින් හොඩෙයිඩා වරාය නගරයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර එයින් තිදෙනෙකු මිය ගොස් අසූහත් දෙනෙකු තුවාල ලබා ඇත. ටෙල් අවිව් හි එක් අයෙකු මිය ගොස් තවත් දස දෙනෙකුට තුවාල සිදු කළ ඩ්‍රෝන ප්‍රහාරයක වගකීම හූතිවරු භාර ගැනීමෙන් දිනකට පසුව මෙම ගුවන් ප්‍රහාර එල්ල කරන ඇත.

Aljazeera 

ඉරාන ඊශ්‍රායල යුධ තත්වය

ඉරානයට එල්ල වූ එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණය, ඉරානයට සහ එම කලාපයට අවිනිශ්චිතතාවයක් ඇති කොට ඇත. පසුගිය ඉරිදා (මාර්තු 01) ඉරාන රාජ්‍ය මාධ්‍ය මගින් ඔහුගේ මරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, රජය දින 40 ක ශෝක කාලයක් සහ රජයේ නිවාඩු දින හතක් ප්‍රකාශයට පත් කරන ලදී. නව නායකයෙකු තෝරා පත් කර ගැනීම සඳහා විශේෂඥයින්ගේ සභාවෙහි තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වන අතර 2024 මැතිවරණයේදී කමේනිගේ පක්ෂපාතීන් සියලු ම ආසන අත්පත් කරගත් බැවින්, විශේෂඥයින් අපේක්ෂා කරන්නේ ඔහුගෙන් පසු ඒ හා සමාන දැඩි මතධාරියෙකු පත් වනු ඇති බව යි. එම ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතරතුර, නව නායකයෙකු සොයා ගන්නා තෙක් තාවකාලික ත්‍රිපුද්ගල මණ්ඩලයකට බලය පැවරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ම මගින් ඉඩ ලබා දී ඇත. කවුන්සිලය වත්මන් ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන්, අධිකරණ ප්‍රධානී ගොලාම්හුසේන් මොහ්සෙනි එජෙහෙයි සහ ගාඩියන් කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ පූජකයෙකු වන අයතුල්ලා අලිරේසා අරාෆි යන අයගෙන් සමන්විත වනවා.

අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයින් 550කට අධික පිරිසක් මිය ගොස් ඇති බව එරට මාධ්‍ය පවසනවා. ජාත්‍යන්තර රතු කුරුස සංගමයට අනුව, පසුගිය සෙනසුරාදා ආරම්භ වූ  යුද තත්ත්වය හමුවේ ඉරානයේ නගර 131කට ප්‍රහාර එල්ල වී තිබේ. ඉරාන රාජ්‍ය මාධ්‍යවලට අනුව,ඉරානයේ බාලිකා ප්‍රාථමික පාසලක සිදු වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 165 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මැද පෙරදිග යුධ තත්වය සම්බන්ධයෙන් නවතම යාවත්කාලීන කිරීම් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Avatar

Title:වත්මන් මැද පෙරදිග යුධ තත්ත්වය සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහන් පෙළක්!

Fact Check By: Pavithra Hansani 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *