උණුසුම් කාලගුණය 55°C දක්වා ඉහළ යන බවට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරල ද? 

False

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

උණුසුම් කාලගුණයමේ දිනවල සෑම ප්‍රදේශයකම පාහේ ජනතාවගේ ඇඟට දැනෙන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය පුවත් වැඩි වශයෙන් විකාශය වන වටපිටාවක් තුළ පවතන උෂ්ණාධික කාලගුණික තත්ත්වයට අදාළව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද විවිධාකාර පණිවුඩ හුවමාරු වෙමින් පවතී. එලෙස සමාජ මාධ්‍ය වේදිකා කිහිපයකම බහුලව සංසරණය වන සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :‍

Whatsapp ඔස්සේ බහුලව සංසරණය වෙමින් පවතින පණිවුඩයක් මගින් ප්‍රකාශ වන්නේ, මෙරට උෂ්ණත්වය 45°C සිට  55°C දක්වා ඉහළ යන බැවින් අප්‍රේල් 29 වැනිදා සිට මැයි 12 වනදා දක්වා උදේ 10 සිට දක්වා සවස 3 දක්වා කිසිවෙකු එළිමහනට නොයා යුතු බවට කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව දැනුම්දී ඇති බවයි. ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබාදී ඇති බව පැවසෙන ජනතාව පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් ද අදාළ දීර්ඝ පණිවුඩයේ සඳහන් වේ. Whatsapp ඔස්සේ සංසරණය වන එම පණිවුඩය පහත පරිදි වේ. 

Whatsapp ඔස්සේ බහුලව සංසරණය වී ඇති එම පණිවුඩය සහිත සටහන් ෆේස්බුක් ඔස්සේ ද පහත පරිදි පළ වී තිබිණ. 

Facebook | Archived Link

ෆේස්බුක් ඔස්සේ අදාළ පණිවුඩය සහිත සටහන තවදුරටත් හුවමාරු වී තිබූ ආකාරය මෙතැනින් | Archived Link

Whatsapp පණිවුඩයක් ලෙස සහ ෆේස්බුක් ඔස්සේ ද බහුලව සංසරණය වන උෂ්ණත්වයට අදාළ පණිවුඩයේ සඳහන් කරුණුවල නිර්වද්‍යතාව විමසා පාඨකයින්ගෙන් ලද ඉල්ලීම ද සලකා අප මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට මෙලෙස පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

රටේ කාලගුණ තත්ත්වය, කාලගුණ අනාවැකි, අනතුරු ඇඟවීම්, තොරතුරු, දැනුවත් කිරීම් සිදු කරනු ලබන නිල ආයතනය වන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවයි. එම දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් මේ දිනවල රටේ පවතින උණුසුම් කාලගුණ ත්ත්තවය පිළිබඳව සහ ඉදිරි කාලගුණ තතත්වයන් පිළිබඳ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ජනතාව දැනුවත් කරන ආකාරයක් මෙලෙස, මෙලෙස සහ මෙලෙස දැක ගත හැකියි. නමුත් සමාජ මාධ්‍ය ජලාවල සංසරණය වන ආකාරයේ පණිවුඩක් පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් මේ දක්වා වාර්තා කර නොමැත. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය 

අප්‍රේල් 29 වැනිදා සිට මැයි 12 වනදා දක්වා උෂ්ණත්වය 45 °C සිට  55 °C දක්වා ඉහළ යන බවට වන අනාවැකියක් හෝ අදාළ කාලය තුළ උදෑසන 10 සිට දක්වා සවස 3 දක්වා එළිමහනට නොයා යුතු බවට වන උපදෙස් නිකුත් කිරීමක් පිළිබඳ කිසිදු නිල නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ පළකර නොමැත. 

මේ අතර හෙට (31) දිනය සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ, පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවයි. බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි නමුත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවයි. 

meteo.gov.lk

ඊට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට දිනය (මාර්තු 31) සඳහා නිකුත් කරන ලද උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයේ දැක්වෙන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ උතුර, උතුරු මැද පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උණුසුම) අවධානය යොමු කළ යුතු මට්ටමක එනම් 39 °C – 45 °C ත් අතර  පැවතිය හැකි බවයි. ඒ අනුව වැඩබිම් තුළ, නිවෙස් තුළ, වාහන තුළ, එළිමහනේදී සැලකිලිමත් වියයුතු ආකාරය පිළිබඳ උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇත්තේ, සෞඛ්‍ය සහ දේශීය වෙවද්‍ය සේවා අමාත්‍යාංශයේ උපදෙස් අනුවයි. 

එහෙත්  සමාජ මාධ්‍ය පණිවුඩයේ දැක්වෙන පරිදි උෂ්ණත්වය 45 °C සිට  55 °C දක්වා ඉහළ යන බව හෝ එහි සඳහන් ජනතාව අනුගමනය කළ යුතු අනෙක් උපදෙස් කිසිවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිල නිවේදනවල ඇතුළත් නොවේ. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලගුණ විද්‍යාඥයින් 

මේ අතර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය දැඩි උෂණත්වයක් පිළිබඳ  පණිවුඩය පිළිබඳ කරුණු විමාස බැලීම සඳහා අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයින් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගත්තා.  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියතු කාලගුණ විද්‍යාඥ කීර්ති පැස්කුවෙල් මහතා ප්‍රකාශ කළේ, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන පණිවුඩය හෝ ඊට සමාන අනතුරු ඇඟවීමක් සහිත පණිවුඩයක් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර නොමැති බවයි. තව ද 45°C–55°C  දක්වා වූ උෂ්ණත්වයක් පිළිබඳ පුරෝකථනය කර නොමැති බව ද ඔහු සඳහන් කළා. 

කාර්යයේ නියතු කාලගුණ විද්‍යාඥවරයා ප්‍රකාශ කළේ, මේ දිනවල රට තුළ පවතින උණුසුම් කාලගුණ තත්ත්වයක් අසාමාන්‍ය තත්ත්වයක් නොවන බවත් මාර්තු සහ අප්‍රේල් අන්තර් මෝසම් සමයේ විශේෂයෙන් රත්නපුර, මත්තල සහ කුරුණෑගල වැනි ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍යයෙන් වැඩි වීමක් දක්නට ලැබෙන බවයි. ඒ අනුව ජනතාවට වඩාත් උණුසුම්බවක් දැනෙන නමුත් උණ්ෂණත්වයේ අධික වැඩිවීමක් හෝ පෙර නොවූ විරූ උෂ්ණත්වයේ නව වැඩි වීමක් ලෙස නොසලකන බව ද ඔහු කියා සිටියා. කෙසේ වෙතත් එළිමහනේ සිටින කාලය සීමා කිරීම වැනි මීට පෙර වසරවලදී  මෙන්ම මෙම වසරේ මෙම කාලයේදීද උෂ්ණාධික කාලගුණයෙන් ආරක්ෂාවීම සඳහා පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් ලබා දෙන බව ද විද්‍යාඥවරයා ප්‍රකාශ කළා.  

මේ අතර තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දේශගුණ අධ්‍යයන හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ  ගයනා හෙන්දවිතාරණ මහත්මිය දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත් අතර  අධ්‍යක්ෂවරිය සඳහන් කළේ, සමාජ මාධ්‍යයේ සංසරණය වන පණිවුඩයේ සඳහන් ආකාරයෙන් උෂ්ණත්වය ඉහළ මට්ටමක් දක්වා වැඩිවීමට විද්‍යාත්මක හේතුවක් නොමැති බවයි. පරිගණක ආකෘති දත්ත සහ දේශගුණික අනාවැකිවලට අනුව අප්‍රේල් හෝ මැයි මාසවලදී ශ්‍රී ලංකාවට එවැනි අධික උෂ්ණත්වයකට මුහුණදීමට සිදුවන බවක් පෙන්නුම් නොකරන බව ද අධ්‍යක්ෂවරිය කියා සිටියා. තවද ජනතාවට 40°C කටත් වඩා වැඩි උෂ්ණත්වයක් පවතින බවට දැනෙන්නට හැකි නමුත් එය සැබෑ උෂ්ණත්වයට සමාන නොවන බව ද ඇය සඳහන් කළා. 

ජුනි මාසයේ පමණ වන විට එල් නිනෝ (El Niño) තත්ත්වය ඇතිවීමට 70%ක සම්භාවිතාවක් පවතින බවත් එමගින් කාලගුණික රටා වෙනස්විය හැකි බවත් ඇය සඳහන් කළා.  එවැනි තත්ත්වයක් යටතේ වුවද සමාජ මාධ්‍ය පණිවුඩයේ උෂ්ණත්ව මට්ටමක් කරා ළඟා වීමට ඉඩක් නොමැති බව ද ඇය සඳහන් කළා. 

මේ අතර සමාජ මාධ්‍ය පණිවුඩයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අමතරව “සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය’’ නම් තවත් ආයතනයක් පිළිබඳ සහ එම ආයතනය මගින් ද නිකුත් කළ උපදෙස් පිළිබඳ සඳහන් වේ. එහෙත් අප සිදු කළ පරීක්ෂවේදී එවැනි ආයතනයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නොවන බව තහවුරු විය. ඒ අනුව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන පණිවුඩය කෘත්‍රිමව නිර්මාණය කරන ලද පණිවුඩයක් හෝ වෙනත් රටක පණිවුඩයක පරිවර්තනයක් ද විය හැකියි. 

ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය 

සමකයට ආසන්නව පිහිටා තිබීම නිසා වසර පුරාම ශ්‍රී ලංකාවේ පවතින්නේ, උණුසුම් කාලගුණයකි. බොහෝ පහත්බිම් සහ වෙරළබඩ ප්‍රදේශවල දිවා කාලයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් 26°C  ක් සහ 32°C ක් අතර පවතින අතර අධික ආර්ද්‍රතාවය කාලගුණය තවත් උණුසුම් කළ හැකියි. වියලි කලාපයට අයත් උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සාමාන්‍ය යෙන් ඉහළ උෂ්ණත්ව අගයක් පවතින අතර උෂ්ණාධික කාලවලදී එම අගය  34°C සිට 35°C දක්වා ඉහළ යා හැකියි. 

මාර්තු සිට මැයි දක්වා කාලය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උණුසුම වැඩිම මාස වන අතර එම කාලයේදී දිවයිනේ පුරාම උෂ්ණත්වය ඉහළම අගයක පවතී. විශේෂයෙන් වෙරළබඩ නොවන දුරස්ත ප්‍රදේශවල මෝසම් වැසි පැමිණීමට පෙර දැඩි උණුසුම් හා වියළි බවක් පවතී. ශ්‍රී ලංකාවේ පවතින කාලගුණ පද්ධතියට අනුව මූලිකවම මෝසම් පද්ධති දෙකකින් පවතී. එනම් මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිතදිග මෝසම සහ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා පවතින ඊසානදිග මෝසමයි. මෙම මෝසම් වර්ෂා ආරම්භ වීමත් සමග දහවල් උෂ්ණත්වය අඩු  වී වාතයේ ආර්ද්‍රතාව වැඩි කරනු ලබයි. 

එහෙත් නුවරඑළිය සහ මහනුවර ඇතුළු මධ්‍යම කඳුකරයට අයත් ප්‍රදේශ වඩාත් සිසිල් බවක් පවතින්නේ, ඉහළ උසකින් පිහිටා තිබීම නිසා ය. මෙම ප්‍රදේශවල දහවල් උෂ්ණත්වය සාමාන්‍යයෙන් 15°C ත් 25°C පමණ වන අතර රාත්‍රී කාලයේදී එය 10°C දක්වා ද පහත  වැටේ. සමස්තයක් ලෙස බැලූ විට ශ්‍රී ලංකාව උණුසුම් සහ ආර්ද්‍රතාව සහිත රටක් වුව ද  40°Cක් දක්වා වූ ඉහළ උෂ්ණත්වයට මුහුණදීම ඉතා දුර්ලභ තත්ත්වයක් වන අතර එය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය කාලගුණ රාටාවේ දක්නට නොමැති තත්ත්වයකි. විස්තර මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්

රටේ කාලගුණ තත්ත්වය සම්බන්ධව මීට පෙර අප සිදු කළ කරුණු පරීක්ෂණ වාර්තාවක් පහතින්. 

මැයි මාසේ එල් නිනෝ තත්ත්වයක්? පවතින උණුසුම මහා වැස්සක පෙරනිමිත්තක් ද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉදිරියේදී රටේ උෂ්ණත්වය 45 °C සිට  55 °C දක්වා ඉහළ යන බවට සහ එහිදී පිළිපැදිය යුතු බවට වන උපදෙස් සහිතව  WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන පණිවුඩය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද පණිවුඩයක් නොවන බවයි.  තව ද පණිවුඩයේ සඳහන් පරිදි “සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය’’ නම් ආයතනයක් ද මෙරට ක්‍රියාත්මක නොවේ. මේ අතර කාලගුණ බලධාරීන්ට අනුව රට තුළ මේ වනවිට පවතින්නේ මෙම කාලයට සාමාන්‍යයෙන් පවතින උණුසුම් සහිත කාලගුණ තත්ත්වයකි.   

Result Stamp

Title: උණුසුම් කාලගුණය 55°C දක්වා ඉහළ යන බවට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරල ද? 

Fact Check By: Sagarika Chathumali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *