2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය හා විශේෂිත සිදුවීම්!

Election Awareness Parliamentary Election

2024 පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට, තනි පක්ෂයක් විසින් ආසන අති-බහුතරයක් (150 ඉක්මවා) ලබා ගැනීමට, ජාතික ජන බල වේගයට හැකි වුණා.

මේ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත්තේ නොවැම්බර් 14 වන දා පැවති මහ මැතිවරණයේ ඡන්ද විමසීමෙන් ආසන 141ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 18ක් සමගින් සමස්ත ආසන 159ක් දිනා ගැනීමට සමත් වීමෙන්.

ජාතික ජන බලවේගයට හිමි වූ මුළු ඡන්ද සංඛ්‍යාව 6,863,186ක් වන අතර එය සමස්ත ප්‍රකාශිත ඡන්ද සංඛාවෙන් 61.56% ප්‍රතිශතයකි. මෙය 1978 සිට ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ තනි පක්ෂයක් පාර්ලිමේන්තු මැතිවරණයක දී ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය ද වෙනවා.

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගයට ඡන්ද 1,968,716ක් හිමි වූයේ ආසන 40ක් ලබා ගනිමින්.

මීළඟට ආසන වැඩියෙන් දිනා ගනිමින් ඡන්ද 257,813ක් ලබා ආසන 8කට හිමිකම් කීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයට හැකි වුණා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ගෑස් සිලින්ඩරය යටතේ තරග වදිමින්, ඡන්ද 500,835ක් හිමි කරගෙන ආසන 5ක් හිමි කර ගත් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350,429ක් ලබා ගනිමින් ආසන 3ක් ලබා ගනු ලැබුවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038ක් සමගින් ආසන 3ක් හිමි කර ගැනීමට සමත් වූ අතර ඡන්ද 178,006ක් ලබා ගත් සර්ව ජනබලයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි වී තිබේ. එක්සත් ජාතික පක්ෂයටත් එක් ආසනයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හිමිවුණා.

මීට අමතරව යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක නියෝජනය කල සුළු පක්ෂ කිහිපයක් හා ස්වාධින කණ්ඩායමක් අතරේ ඉතිරි ආසන බෙදී ගිය අතර මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ සමස්ථ ඡන්ද ප්‍රතිඵල සංඛ්‍යාව මෙතනින්.

මැතිවරණ දිස්ත්‍රික්ක අනුව පක්ෂ සහ ස්වධින කණ්ඩායම් අතර ආසන බෙදී ගිය අයුරු මෙන්ම ජාතික ලැයිස්තුවෙන් එකතු වූ ආසන ගණන ඇතුළු මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාව බෙදී ගිය අයුරු පහතින්.

වලංගු ඡන්ද දායකයින්ගේ ප්‍රතිශතයේ අඩුවීමක්

මෙවර මැතිවරණය සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354ක් වනවා.නමුත් එයින් ඡන්ද විමසීම සඳහා දායක වූ සංඛ්‍යාව 11,815,246 ක් වූ අතර එය 68.93%. ඒ අතරින් ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 667,240 කි.

ඒ අනුව වලංගු ඡන්ද සංඛ්‍යාව 11,148,006 ක් වන අතර එය මෙවර මහ මැතිවරණය සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින්ගේ ප්‍රතිශතයක් ලෙස දැක්වෙන්නේ නම් 65.04% කි.

මීට මාස දෙකකට පමණ පෙර පැවැත්වූ ජනාධිපතිවරණ මැතිවරණයට සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් අතරින් ඡන්දය ප්‍රකාශ වලංගු ඡන්ද ප්‍රතිශතය වුයේ  77.71% කි.

සැළකිය යුතු වෙනස් කම්

මීට පෙර පාර්ලිමේන්තුවේ දී දිවයිනෙන්ම ඡන්ද  445,958ක් ලබාගනිමින් මන්ත්‍රීවරුන් 3 තිදෙනකුගේ පමණක් පාර්ලිමේන්තු නියෝජනයකට හිමිකම් කී ජාතික ජන බලවේගය, මෙවර සමස්ත මන්ත්‍රී ධූර 159ක් හිමි කර ගැනීමට සමත් වෙනවා.

පසුගිය සැප්තැම්බර් 21 වන දා පැවති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කළ අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 5,740,179ක් හිමි කර ගනිමින් ජයග්‍රහණය කළ අතර මෙවර පාර්ලිමේන්තුව මැතිවරණයේ දී ජාතික ජන බලවේගය ලැබූ ජයග්‍රහණය, ජනාධිපතිවරණයට සාපේක්ෂව ඡන්ද සංඛ්‍යාව 1,123,007කින් ඉහළ යාමකි.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව 4,530,902ක් වූ අතර පාර්ලිමේන්තු මැතිවරණයේදී එම පක්ෂයට ලැබූ ඡන්ද සංඛ්‍යාව 1,968,716ක් පමණයි. එය ජනාධිපතිවරණයට සාපේක්ෂව ඡන්ද 2,562,186ක් අහිමි වීමක්. එසේම 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී සජබ ආසන 54ක් ලබාගත්ත ද එය මෙවර ආසන 40ක් දක්වා අඩු වී තිබෙනවා.

ජනතා අප්‍රසාදයත් සමඟ, එහි ප්‍රබලයන් ද වෙන් වී ගොස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 මහ මැතිවරණයේ දී ලබාගත් ආසන 145, මෙවර ආසන 3කට සීමා වන්නේ, දැවැන්ත පසුබෑමකට ලක්වෙමින්.

එසේම පසුගිය ජනාධිපතිවරණයේදී යාපනයේ හා වන්නි දිස්ත්‍රික්කයේ ජයග්‍රණයන් ජාතික ජන බලවේගයට හිමි නොවුණත්, එම ප්‍රදේශයන්හි දේශපාලන බලය වැඩි වශයෙන් රඳවා සිටි  ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය අබිබවා යමින්, මඩකලපු දිස්ත්‍රික්කය හැර, උතුරු හා නැගෙනහිර පළාතේ ඉතිරි මැතිවරණ දිස්ත්‍රික්ක සියල්ලේ ම ජය ද ජාතික ජන බලවේගයට හිමිවීම ද විශේෂ කරුණක්.

මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 21ක් තනි පක්ෂයක් ජයගත් ප්‍රථම අවස්ථාව ද මෙය ලෙස ඉතිහාසගත වෙනවා.

2024 ජනාධිපතිවරණයේදී මනාප අපේක්ෂකියන් අතර බෙදී ගිය අයුරු

 

2024 මහ මැතිවරණයේදී බහුතරය ලබාගත් NPP

 

Image: Ada Derana

දියවන්නාවේ මීට පෙර දක්නට නොලැබුණු මුහුණු රැසක් සමගින් අලුත් වුණ 2024 මහ මැතිවරණයෙන් තරඟ කොට, ජයග්‍රහණය කළ අපේක්ෂක ලැයිස්තුව පහතින්.

Also Read : මැතිවරණයෙන් තරග කොට පාර්ලිමේන්තු වරම් හිමි වූ අපේක්ෂකයින්

මේ අතර දීර්ඝ කාලීනව දේශපාලන ඉතිහාසයක් හිමි පාර්ලිමේන්තු වරම් ලබා තිබූ නමුත් මෙවර මහ මැතිවරණයෙන් සිය ආසන අහිමි වී ගිය  මැති ඇමතිවරුන් ලැයිස්තුව පහතින්.

Also Read : මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය නොකළ මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කර තිබු මැති ඇමතිවරු මෙන්න

මෙම මැතිවරණයේදී  වැඩි ම මනාප ලබා ගත් අපේක්ෂකයින් දෙදෙනා

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු විජිත හේරත් මහතා මනාප ඡන්ද 716,715ක් ලබා ගනිමින් ද එම පක්ෂයම නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබා ගනිමින් ද, මීට පෙර පාර්ලිමේන්තු මැතිරවරණ ඉතිහාසයේ තනි මන්ත්‍රීවරයෙකු විසින් ලබාගෙන තිබු වැඩිම ඡන්ද සංඛාවේ වාර්තාව අභිබවා යාමට සමත් වුණා.

මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2020 වසරේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වදිමින් මෙම වාර්තාවට හිමිකම් කිවේ මනාප ඡන්ද 527364ක් ලබාගනිමින්.

වමේ පක්ෂයකින් ආණ්ඩුවක් බිහි වීමට හේතුවූ කාරණා

2022 වසරේ මෙරට ජනතාව මුහුණ පෑ ආර්ථික පසුබෑම හමුවේ එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනාධිපති ධූරයෙන් ඉවත් වන ලෙස බල කරමින් මහ ජනතාව එක් රැස් වූ අතර එය දීප ව්‍යාප්ත දැවැන්ත අරගලයක් කරා රට මෙහෙයවනු ලැබුවා.

ඉන් පසු රට භාර ගැනීමේ භාර දූර කාර්යට උරදුන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වසර 2කට ආසන්න කාලයක් ජනාධිපති ධුරය හෙබවූ අතර පැවති ආර්ථික අර්බුදය යම්තාක් දුරකට පාලනය කර ගනිමින් රට ස්ථාවර කිරීමේ මෙහෙයුමේ නිරත වුණා.

රටේ පැවති දූෂිත වූ දේශපාලනික වාතාවරණය මෙන් ම මැති ඇමතිවරුන් මූලික වී රට ට සිදු කළ විපත හමුවේ පීඩාවට පත් වූ ජනතාවට ජනතා ඡන්දයෙන් පත් වන නව නායකයෙකුගේ නායකත්වය අවශ්‍යතාවය මත ජනතාව විසින් නව ජනාධිපතිවරයෙකු මෙන් ම මෙතෙක් පැවති පවුල් වාදය බිඳ දමමින් නව මුහුණු වරකින් රටට සේවය කළ හැකි පිරිසක් දියවන්නාවට ගෙන එමු යන පරමාර්ථය පෙරදැරිකොට ගෙන මෙවර මහ මැතිවරණයේදී නියෝජිතයින් තෝරා පත් කර තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *