දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්වභාව සෞන්දර්ය හේතුවෙන් සංචාරකයින්ගේ ලංකාව නිතැතින්ම යොමුවෙනවා. එසේම පෞරාණික ඉදි කිරීම් මෙන්ම, නුතන ආකර්ෂණිය ඉදිකිරීම් වෙත ද, බොහෝ දෙස් විදෙස් සංචාරකන් නිතරම ඇදී එනවා. මේ නිසාම ජාත්‍යන්තර දැවැන්ත සිනමා නිර්මාණ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනෙනවා.

මේ අතර මේ දිනවල ලංකාවේ ‘ඇල්ල’ ප්‍රදේශයේ සිදුවන චිත්‍රපට රූගත කිරීමක් සම්බන්ධයෙන් නොමග යන සුළු සටහනක් සංසරණ වන අතර මේ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

‘සිංහම් අගේන්’ (SINGHAM AGAIN) නමැති චිත්‍රපටයේ රූගතකිරීම් ඇල්ලේදී - දුම්රිය ධාවනය සීමාකෙරේ යනුවෙන් සඳහන් කරමින් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක් වාර්තා වූ අතර ඒ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ද, සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක් රූගත කිරීම හේතුවෙන් ඔක්තෝබර් 09 වන දා සිට ලබන 15 දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇති බවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් මෙහිදී රූගත කිරීම් සිදුවන චිත්‍රපටය ගැන සඳහන් කර නොතිබුණු අතර, මේ දිනවල ලංකාවේ රූගත කිරීම් සිදු කරන චිත්‍රපටය ‘Singham Again’ නමැති හින්දි චිත්‍රපටය ලෙස බොහෝ දෙනා උපකල්පනය කර තිබුණා.

‘Singham Again’ ලංකාවේ රූගත කිරීම් දැන් සිදුවන බවට උපකල්පනය කළේ ඇයි?

හින්දි සිනමාවේ දැවැන්තම තරු රඟ දක්වන Sigham Again නැතහොත් Singham 3 චිත්‍රපටය, මෙවර දීපවාලි උත්සවයට සමගාමිව, නොවැම්බර් 1 වන දා ලොව පුරා එළි දැක්වීමට නියමිත අතර එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය (Trailer) පසුගිය සැප්තැම්බර් 07 නිකුත් විය. Rohit Shetty මේ දැවැන්ත සිනමා සිත්තමේ පුර්ව ප්‍රචාරක පටය මේ වන විටත් බොහෝ දෙනාගේ අවධානයට ලක්වී අවසන්.

කෙසේ වෙතත් මෙම ඉන්දීය සිනමා පටය මුම්බායි, හයිද්‍රාබාද්, කාශ්මීර් වැනි ‍ප්‍රදේශ වලත් ශ්‍රී ලංකාවේ වටිනා වාස්තු විද්‍යාත්මක ස්ථානයන් වන කොළඹ නෙළුම් කුළුණ, ෂැංග්‍රිලා හෝටලය, ගාලු මුවදොර පිටිය, නුවරඑළියේ සීතාඑළිය, සීතායි අම්මාන්, තිරුක්කෝවිල් වැනි ස්ථාන කිහිපයකත් චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කර තිබීමත් සමඟ ලංකාවේ ද ප්‍රේක්ෂක ආකර්ෂණ දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

මේ හේතුවෙන් එම චිත්‍රපටයේම හෝ එහි තව ත් කොටසක රූගත කිරීම් මේ දිනවල ලංකාවේ සිදු වනවා ද, යන්න පිළිබඳ බොහෝ දෙනෙකු විමසිලිමත් වී තිබුණා.

ඇල්ලේ රූගත කිරීම් කරන්නේ වෙනත් තෙළිඟු චිත්‍රපයටක්!

මේ දිනවල ඇල්ල ආරක්කු 9 පාලම අසල සිදුවන රූගත කිරීම් කවරේ ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා, ඒ පිළිබඳව වාර්තා කර තිබු ජාතික චිත්‍රපට සංස්ථාවේ නිරීක්ෂණ නිලධාරී අෂාන් රාජසූරියගෙන් අප විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ, මේ දිනවල රූගත කිරීම් සිදු කරන්නේ, ‘Mirayi (2025) නමැති තෙළිඟු චිත්‍රපයටයක් බවයි. එමෙන් ම මේ දිනවල සිදු කරන එම රූගත කිරිම් සඳහා විදේශිකයින් 69 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලංකාවට පැමිණ සිටින බවත්, ඒ සඳහා මෙරට චිත්‍රපට සංස්ථාවෙන් අවසර ගත් ලිපි ද, ඔහු අප වෙත යොමු කළා.


එහිදී ද, අදාළ චිත්‍රපටයේ නම සඳහන් ලෙස සඳහන් වන්නේ ‘Mirai’බවට දැක ගන්නට ලැබෙනවා. එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මෙතනින්.

මේ චිත්‍රපටයේ රූගත කිරීම් සම්බන්ධයෙන් ‘රූපවාහිනි’ මාධ්‍ය නාලිකාව වාර්තා කර තිබුණේ මෙලෙසින්. ඒ පිලිබඳ තවත් පුවත් වාර්තාවක් මෙතනින්.

ජාතික චිත්‍රපට සංස්ථාවේ නිරීක්ෂණ නිලධාරී අෂාන් රාජසූරිය වැඩිදුරටත් සඳහන් කළේ, Singham Again චිත්‍රපටයේ ර‍ෑගත කිරීම් ද, මෙරට ස්ථාන කිහිපයකදී සිදු වූ බව ත්, එම රූගත කිරීම් මීට මාස කිහිපයකට පෙර අවසන් වූ බවයි.

රූගත කිරීම් සිදු වන වේලාව තුළ මගීන් සඳහා සැලැස්මක්

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ කාලය තුළ සිදුවන්නේ කොළඹ සිට ඇල්ල දක්වා පමණක් බවත්, ඇල්ල හා බදුල්ල අතර මගී ප්‍රවාහනයට බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

ආසන වෙන් කරගෙන ඇති ඔඩිසි දුම්රියේ මගීන් වෙනුවෙන් සහ සාමාන්‍ය දුම්රියේ පළමු පන්තියේ ආසන වෙන් කරගත් මගීන්ට සුඛෝපභෝගි බස් රථ යෙදවීමට පවා කටයුතු කර ඇති බවත්, ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට මුදල් වැය නොවන බව ත් ඒ මහතා පවසනවා.

කොළඹ කොටුවෙන් උදෑසන 5.55ට ධාවනය වන පොඩි මැණිකේ දුම්රියත් උදෑසන 5.30ට කොළඹ කොටුවෙන් ධාවනය වන ඔඩිසි දුම්රියත් සුපුරුදු ලෙස ධාවනය වන බවත් එම දුම්රිය ඇල්ලෙන් ගමන් අවසන් වේ.

බදුල්ලෙන් කොළඹ බලා පොඩි මැණිකේ දුම්රියත් ඔඩිසි දුම්රියත් ඇල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වන බව ද ඔහු පවසයි. මේ හැරුණු කොට බදුල්ලෙන් උදෑසන 11.00ට මහනුවර බලා ධාවනය වන දුම්රිය ද ඇල්ලෙන් ගමන් ආරම්භ කරන බව ඉඳිපොලගේ මහතා සඳහන් කරනවා.

මෙම වේලාවන් හැරුණු කොට රාත්‍රී තැපැල් දුම්රියන් සුපුරුදු ලෙස ධාවනය වන බව ද ඉඳිපොලගේ මහතා වැඩිදුරටත් පවසනවා.

අදාළ චිත්‍රපට නිෂ්පාදන සමාගම මේ වෙනුවෙන් රුපියල් ලක්ෂ 230ක මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන බවත් රුපියල් මිලියන 48ක ඇප තැන්පතුවක් ද කර තිබෙනවා.

මෙම චිත්‍රපට නිෂ්පාදන කටයුත්ත ආරුක්කු පාලම හා ඒ අවට රූගත කිරීම් සඳහා අවසර ඉල්ලා යෝජනවා දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබුනේ මෙයට මාසයකට පමණ පෙර බවත් ඒ සඳහා ඔවුන් මුදල් ගෙවීම් කරමින් රූගත කිරීම් සඳහා 9 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය අවශ්‍ය බව දැනුම් දී තිබෙනවා.

මෙම චිත්‍රපටය ඉන්දියාවේ තෙලිඟු චිත්‍රපටයක් බවත් භාෂා 18කට හඬකවා ප්‍රදර්ශනය කිරීමට නියමිත බව දැනුවත් කර ඇති බවත් චිත්‍රපටය රූගත කරන්නේ ආරුක්කු නවයේ පාලම ආශ්‍රිත වන අතර මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය වනකොට ශ්‍රී ලංකාවේ ආරුක්කු පාලම කෙරෙහි විශාල සංචාරක ආකාර්ෂණයක් ද ඇති වන බව ත් ඔහු සදහන් කරනවා. මේ සම්බන්ධ සම්පූර්ණ ලිපියක් මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මේ දිනවල ඇල්ලේදී රූගත කිරීම් සිදු කරනු ලබන්නේ, ඉන්දියානු චිත්‍රපටයක් වන "SINGHAM AGAIN" චිත්‍රපටයේ බවට පළ වන ප්‍රචාරයන් අසත්‍යයි. මේ දිනවල ඇල්ලේදී රූගත කිරීම් සිදු කරනු ලබන්නේ තෙළිගු චිත්‍රපටයක් වන, ‘Mirai’ චිත්‍රපටයයි. ඒ බවට ජාතික චිත්‍රපට සංස්ථාව තහවුරු කරනවා.

Claim Review :   මේ දිනවල ඇල්ල ප්‍රදේශයේ රූගත කිරීම් කරන්නේ ‘SINGHAM AGAIN’ චිත්‍රපටය ද?
Claimed By :  Social media
Fact Check :  MISLEADING