
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීම ඇරඹීමත් සමඟම , රජය විසින් ඇඳිරි නීතිය පනවන ලදී. එබැවින් බොහෝ පිරිසකට දෛනික කටයුතුවලදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවී තිබේ. මෙම දුෂ්කර අවස්ථාවේ ඇතැම් පිරිස් පිරිස් අසරණවූ ජනතාව වෙනුවෙන් විවිධ උපකාර කරනු අයුරුද සමාජ මාධ්‍ය හරහා බොහෝ සේ ප්‍රචාරය වී තිබුණි.
මෙවන් මොහොතක, කොරෝනා වෛරසය නිසා ආහාර හිඟ අය වෙනුවෙන් එළවළු දන්සලක් තිස්සමහාරාම ප්‍රදේශයේදී පවත්වා ඇති බවට ඡායාරූප සමග සටහන් සමාජ මාධ්‍ය තුල විශාල වශයෙන් හුවමාරුවෙමින් පවතී. බොහෝ පිරිස් එම ක්‍රියාව අගය කරමින් ප්‍රතිචාර දක්වා තිබෙනු දක්නට ලැබුනි.
එම ඡායාරූපයන්හි බෞද්ධ කොඩි දක්නට ලැබිමත්, ඡායාරූපයන්හි සිටින අය මුඛ ආවරණ පැළද නොසිටීමත් , ඔවුන් සිල් ගත් පිරිසක් සේ නිරීක්ෂණය වීමත් නිසා , මෙම ඡායාරූප සම්බන්ධයෙන් සොයා බැලීමක් අප විසින් සිදු කරන ලදී.
සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් ප්‍රචාරය වන එවන් එක් සටහන පහතින්.

“ලංකාවේ අපි ලෝකේ ඉන්න වෙනස්ම ජාතියක් කියන්නේ මෙන්න මේකයි. තිස්සමහාරාම දන්සල” තිස්සමහාරාම ප්‍රදේශයේ එළවළු දන්සල සම්බන්ධයෙන් වෙබ් අඩවියක් වාර්තා කර තිබු අයුරු.

Twitter හරහා හුවමාරුවන තවත් සටහනක් පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම පුවත සම්බන්ධයෙන් අපි ගූගල් නිව්ස් හරහා පසුගිය දින කිහිපයයට අදාලව සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් මේ සම්බන්ධයෙන් කිසිදු පුවතක් පළකර නොමැති බවයි.
අනතුරුව මෙම ඡායාරූප සම්බන්ධයෙන් අප Google Reverse Image Search හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට එම ඡායාරූප හා සබැඳි links කිහිපයක්ම දක්නට ලැබිණ.

එම දිගු නිරීක්ෂණය කිරීමේදී එම ඡායාරූප පළකර ඇති ෆේස්බුක් පිටු කිහිපයක් සොයා ගැනීමට අපට හැකි විය. එම සියල්ලම සටහන් පළකර තිබුනේ 2019 වසරේ අගෝස්තු 14 හෝ 15 දිනයි.

තවද 2019 වසරේ අගෝස්තු 14 දින පොහොය දිනයක් දැයි සොයා බැලූ අතර එය “නිකිණි” පොහොය දිනය බව තහවුරු විය. ශ්‍රී ලංකාවේ බොහෝදුරට දන්සල් පවත්වනු ලබන්නේ පොහොය දිනයන් හා ඒ ආසන්න දිනයන්හිදීය.

පලවන එක් ඡායාරූපයක මාධ්‍ය ආයතනයන්හි මයික්‍රෆෝන ඇති බැවින්, අප එම මාධ්‍ය ආයතනයකින් මේ පිලිබදව විමසා සිටි අතර, මෙවැනි ආකාරයේ දන්සලක් සදහා ඔවුන් මෑතකදී ආවරණයක් ලබා නොදුන් බවද පැවසිය.
පහත සටහන පළකර තිබු සුමනසිරි ස්වාමින් වහන්සේ සමඟ දුරකථනයෙන් සම්බන්ධවීමේදී පවසා සිටියේද එම සිදුවීම ඇත්ත වශයෙන්ම පසුගිය වසරේ නිකිණි පොහෝ දින සිදුවූ දන්සලක් බවයි.

ඡායාරූප හොඳින් නිරීක්ෂණය කිරීමේදී වෙසක් කූඩුවක් ද බෞද්ධ කොඩි ද දක්නට ලැබිණ.

තව දුරටත් නිරීක්ෂණය කිරීමේදී, අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය තුලින් 2019 අගෝස්තු මස 14 වැනිදා පැවති ඉහත එළවළු දන්සල හා සබැඳි පුවත වාර්තා කර තිබුනේ මෙලෙසිනි.
කෙසේ වෙතත් තිස්සමහාරාම ප්‍රදේශයේ මේ හා සම්බන්ධ කිසිදු ආකාරයේ දන්සැලක් පැවතියේද යන්න තහවුරු කරගැනීම සඳහා තිස්සමහාරාම පොලීසිය හා දුරකථනයෙන් සම්බන්ධ වූ අතර ඔවුන් පවසා සිටියේ ද එබඳු කිසිදු කටයුත්තක් මේ දිනවල සිදු වුයේ නැති බවත් පසුගිය වසරේ එවැනි දන්සලක් පැවැත්වූ බවය.
Conclusion: (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ කොරෝනා වෛරසය නිසා ආහාර හිඟ අය වෙනුවෙන් එළවළු දන්සලක් තිස්සමහාරාම ප්‍රදේශයේ මේ දිනවල සංවිධානය කර තිබු බවට පලවන ඡායාරූප, 2019 වසරේ අගෝස්තු 14 දින නිකිණි පොහොය දින තිස්සමහාරාම ප්‍රදේශයේ සංවිධානයකර තිබු දන්සලක ඡායාරූප බවයි.

Title:කොරෝනා වෛරසය නිසා ආහාර හිඟ අය වෙනුවෙන් එළවළු දන්සලක් තිස්සමහාරාම ප්‍රදේශයේ සංවිධානය කර තිබුණි ද ?
Fact Check By: Sahan PereraResult: False
