කොරොනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වීම වැළැක්වීමේ එක් පියවරක් ලෙස කෘෂි නිෂ්පාදන දිවයින පුරා බෙදා හරින දඹුල්ල, කැප්පෙටිපොල සහ තඹුත්තේගම වැනි විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ. සිය නිෂ්පාදන අලෙවි කරගත නොහැකි වූ ගොවි ප්‍රජාව මේ පිළිබඳව මැසිවිලි නගන බව වාර්තා විය. රාජ්‍ය යාන්ත්‍රණය යොදවා ගොවි නිෂ්පාදන මිලදී ගැනීමට රජය කටයුතු කරන බව පැවසුවද එය සාර්ථකව ඉටු නොවන බවක් පෙනෙන්නට තිබිණි. ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මේ පිළිබඳව හඬ අවදි කරන්නට විය

ආන්ඩුව ගොවීන්ගෙ නිශ්පාදන කුණු කොල්ලයට මිළදි ගන්න ගමන් මිලියන ගනන් වියදම් කර නෙලුම් කුළුනෙ ලයිට් මාරු කර සංදර්ශන පවත්වමින් සිටී....ඔබගෙ අස්වැන්න විකිණීමට අවශ්‍ය නම් අමතන්න තේමාවෙන් JVP සමග රටේ ජනතාව නැමැති ෆේස්බුක් පිටුවේ සටහනක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාගේ දුරකථන අංකය සහිත එළවළු මිල දර්ශකයක් මෙම සටහනට අන්තර්ගතව තිබුණි.

“ආණ්ඩුවට කුණු කොල්ලයට එළ පොටෝ විකුණන්න එපා” යනුවෙන් සටහන් කර තිබු එම සටහනේ “සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මූලිකත්වයෙන් ශ්‍රී ලංකා රතු තරුව ඔබගේ එළවළු කිලෝවක් පහත මිලට මිලදී ගෙන බෙදා හැරීමට සූදානම්” යනුවෙන්ද සඳහන් කර තිබුණි.

ප්‍රතිචාර සටහන් 700කට අධික සංඛ්‍යාවක් හිමිකර ගනිමින් මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් 1700ක් අතර හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. මෙම සටහනට හිමිවූ ප්‍රතිචාර ජනතා විමුක්ති පෙරමුණට බලවත් විරෝධය පළ කරමින් තිබූ ප්‍රතිචාර නිසා සහ මින් පෙර මෙය ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව පළවූ සටහන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමේ දී, ඒවා නොමඟ යවන සුළු සටහන් බවට තහවුරු වීම නිසා මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන පිළිබඳව කරුණු තහවුරු කරගැනීම පිණිස අප මෙම සටහනේ ඉදිරිපත් කර ඇති දුරකතන අංකයට ඇමතුමක් ගත්තෙමු. අප සමග සම්බන්ධ වූයේ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාය. JVP සමඟ රටේ ජනතාව නැමැති ෆේස්බුක් පිටුවේ තිබූ සටහන පිළිබඳව ඔහුගෙන් කරුණු විමසුවෙමු.

ජනතා විමුක්ති පෙරමුණට කිසිදු සම්බන්ධකමක් නැති ව්‍යාජ ෆේස්බුක් පිටුවක් වන JVP සමඟ රටේ ජනතාව නමැති ‍ගිණුම ඉදිරිපත්කර ඇති අසත්‍ය සටහනක් බව පැවසූ ඔහු, ගොවි ප්‍රජාව මුහුණ දී ඇති අසීරුතාවයන් පිළිබඳව හඬ නගන සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය අප්‍රසාදයට පත් කිරීමට සහ හඬ යටපත් කිරීමට ගන්නා වෑයමක් ලෙස අවධාරණය කළේය. සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය හෝ ජනතා විමුක්ති පෙරමුණ එළවළු මිලදී ගැනීමට කටයුතු නොකරන බවද එහෙත් ගොවි ප්‍රජාව සහ පාරිභෝගික අයිතීන් වෙනුවෙන් අරගල කරන බව ඔහු පැවසීය.

JVP සමඟ රටේ ජනතාව ෆේස්බුක් පිටුව පිළිබඳ විස්තර පරීක්ෂාකිරීමේදී එහි පරිපාලකයින් ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව යන රටවල සිටින බවක් පෙන්වූ අතර මෙහි නම ජේවීපී JVP සමඟ රටේ ජනතාව බවට වෙනස් කර ඇත්තේ මාර්තු 2020 මාර්තු 07 වැනි දා බවද පැහැදිලි වුණා

කෙසේ වෙතත් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ නාමල් කරුණාරත්න මහතා පසුගිය දින කීපයේ දී පළ කර ඇති ප්‍රවෘත්ති පිළිබඳව පරීක්ෂා කිරීමේදී ගොවීන්ගේ තොග එළවළු මිලදී ගැනීම සහ සහල්වල පාලන මිල සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශ ඇතුළත් ප්‍රවෘත්ති වාර්තා කිහිපයක්ම පළවී තිබෙනු ද දැකගන්නට හැකිවිය

Google News

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය හෝ ජනතා විමුක්ති පෙරමුණ එළවළු මිලදී ගැනීමට කටයුතු නොකරන බවයි.

එබැවින් “සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මූලිකත්වයෙන් ශ්‍රී ලංකා රතු තරුව ඔබගේ එළවළු කිලෝවක් පහත මිලට මිලදී ගෙන බෙදා හැරීමට සූදානම්” යන තේමාවෙන් “JVP සමග රටේ ජනතාව” නැමැති ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර ඇති සටහන සම්පූර්ණයෙන්ම අසත්‍යය සාවද්‍ය සටහනක් බවට නිගමනය කරමු.

Avatar

Title:සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ JVP අලලා උපහාසාත්මක කෝණයකින් සිදුකල සාවද්‍ය සටහනක්!

Fact Check By: Sahan Perera

Result: False