Update : 2021 සැප්තැම්බර් මස 23 වැනිදා , 2020 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා නිකුත් වූ ප්‍රතිඵල අළලා විවිධාකාරයේ ඡායාරුප සමඟ පහත දැක්වෙන ආකාරයට දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් බවට සටහන් හුවමාරු වී තිබුණා. අප මේ පිලිබඳ ව ද  විභාග කොමසාරිස් සනත් පූජිත මහතාගෙන් සිදුකළ විමසීමේ දී තහවුරු කර සිටියේ මෙවරත් පසුගිය වසරේ මෙන්ම, මෙවරද සාමාන්‍ය පෙළ විභාගයේ එක් එක් සිසුන් ලබාගත් ලකුණු පාසල් වෙත නිකුත් නොකෙරෙන බැවින්  ප්‍රතිඵල ශ්‍රේණිගත කිරීමක් සිදු නොවන බවයි. එසේම විභාගය සඳහා මුහුණ දුන් සිසුන්ගෙන් 75% ක් පමණ උසස් පෙළ සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙන බව වාර්තා වෙනවා.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් වීමත් සමඟම දිවයිනේ ප්‍රථමයා යැයි සඳහන් කරමින් විවිධාකාරයේ සටහන් රැසක් පසුගිය දින කිහිපයේදීම දැකගන්නට ලැබුණු අතර උපහාසාත්මක කෝණයකින් පළ කරන ලද එබඳු එක් සටහනක් පිළිබඳ අප විසින් මීට පෙරද විමර්ශනයක් සිදුකරන ලද්දේ මෙලෙසින්ය

එසේම වෙනත් ආකාරයේ ඡායාරූප පෙළක් යොදා ගනිමින් දිවයිනේ පළමු ස්ථානය ලබා ගත් සිසුවා යැයි සඳහන් වන සටහන් කිහිපයක්ද මෙලෙසින් හුවමාරු වනු දැකගන්නට ලැබුණි.

“Congratulations මල්ලියෝ අනාගතය සාර්ථක වෙන්න කියලා සුබ පතනවායනුවෙන් Rajawasala - රජවාසල නමැති ෆේස්බුක් පිටුවක එම සටහන වාර්තා වී තිබුනේ මෙලෙසින්

LinkArchived Link

එම තේමාව යටතේම වෙනත් ඡායාරුපයක් යොදා ගනිමින් හුවමාරු වූ තවත් සටහනක් මෙලෙසින්

LinkArchived Link

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට දිවයිනේ ප්‍රථම ස්ථානය දින ගත් ඔහුට කාත් කවුරුත් නෑ..ඉන්නේ ළමා නිවාසයක. තනිවම ඔහුට ජීවිතය ජය ගන්න සුභ පතන්න.දෙවි පිහිටයි.” යනුවෙන්ද පෙර පරිදිම මෙම සටහන්වලද වදන් කර තිබුණි.

ඡායාරූපවල දක්වා තිබුණ සිසුවා පෙළක් එක සිසුවකුට බොහෝ දුරට සමාන ගැටලුවක් පෙනී ගිය බැවින් මෙයට ප්‍රතිචාර දැක්වූ බොහෝ පිරිස් මෙය සත්‍ය සටහනක් ලෙස විශ්වාස කරමින් ඔහුට සුබ පැතුම් එක් කර දී තිබෙන ද අපට දැක ගන්නට ලැබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා අප ප්‍රධාන මාධ්‍ය ඔස්සේ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලට අදාළව දිවයිනේ ප්‍රථම ස්ථානය පිළිබඳ කිසිදු වාර්තාවක් තිබේදැයි පරීක්ෂා කළ ද එබඳු කිසිදු සඳහනක් දැක ගැනීමට ලැබුණේ නැත

මේ පිළිබඳව වැඩිදුර කරුණු දැනගැනීම සඳහා විභාග කොමසාරිස් සනත් පූජිත මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ අතර එහිදී ඒ මහතා අප සමඟ ප්‍රකාශ කර සිටියේ මෙවැනි සටහන් සියල්ල ම පදනම් විරහිත සටහන් බවයි.

තවදුරටත් කරුණු පැහැදිලි කරමින් සනත් පූජිත මහතා ප්‍රකාශ කර සිටියේ මෙලෙසින් ශ්‍රේණිගත කිරීමක් සිදුකරන්නේ නම් සිසුන් ලබාගත් මුළු ලකුණු ප්‍රමාණය පිළිබඳ සඳහනක් තිබිය යුතු බවත් ප්‍රතිඵල ලේඛනයේ එබඳු කිසිදු සඳහනක් නොමැති බවත්ය. පූජිත මහතා තවදුරටත් පවසා සිටියේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය යනු තරඟ විභාගයක් නොවන අතර සාධනීය පරීක්ෂණයක් පමණක් වන අතර ළමුන් කිසිඳු පීඩනයකට පත් කෙරෙන ආකාරයට ප්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් මීට වසරකට පමණ ඉහතදී තීරණයක් ගත් බවයි. ඒ අනුව කිසිදු සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයක මුළු ලකුණු සංඛ්‍යාව ප්‍රකාශයට පත් කෙරෙන්නේ නැති බවද එතුමා අවධාරණය කර සිටි අතර මෙවැනි ලිඛිත පරීක්ෂණයකින් සීමිත හැකියාවන් සංඛ්‍යාවක් පමණක් බවද සඳහන් කර සිටියා.

පහත දැක්වෙන්නේ විභාග දෙපාර්තමේන්තුව විසින් අ.පො.ස (සා.පෙළ) විභගය පිළිබඳව නිකුත් කරන ලද නිල නිවේදනයයි

එම නිවේදනයේ දැක්වෙන පරිදි අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ A9 සාමාර්ථ ලැබූ සිසුන් සංඛ්‍යාව 10,346 ක් බව අප සමග පවසා සිටි සනත් පූජිත මහතා සිසුන් ලබා ගත් මුදල ලකුණු සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරන්නේ නැති බැවින් සමස්ත දිවයිනේම ප්‍රථම ස්ථානය මේ සිසුන්ගෙන් කවරෙක් ද යන්න සඳහන් කිරීම පදනම් විරහිත බව නැවතත් පැහැදිලි කර සිටියා

අධ්‍යාපන අමාත්‍යංශය විසින් දිවයිනේ ප්‍රථම ස්ථාන ප්‍රකාශ නොකිරීම පිළිබඳව පුවත් වාර්තා කිහිපයක්ද පසුගිය වසරේ පලවී තිබෙනු මෙසේ දැකගන්නට ලැබුණි.

Ada Derana

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදන පරීක්ෂා කිරීමේදී විභාග ප්‍රතිඵල අන්තර්ජාලය හරහා තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳ වාර්තාවක් අපට මෙසේ අවසන් වශයෙන් දැක ගන්නට ලැබුණි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්ගගත (online) ක්‍රමයට පරික්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සපයා ඇති පහසුකමට අමතරව, ශ්‍රී ලංකාවේ පළමුවරට අදාල විභාගවල ප්‍රතිඵල සහතික කිරීමේ ලේඛන (Verification) නිකුත් කිරීමේ අන්තර්ජාල සේවාව ඊයේ (28) දින ආරම්භ කරන ලදී.

Link

එක් එක් පාසල් මගින් ලබාගත් සමස්ත ප්‍රතිඵල සටහන් ද මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙන අයුරු අප නිරීක්ෂණය කළ බැවින් ඒ පිළිබඳව විභාග කොමසාරිස්තුමාගෙන් සිදුකල විමසීමේ දී අප සමඟ පවසා සිටියේ සෑම පාසලකටම අදාළ සිසුන් ලබාගත් සාමාර්ථයන් පිළිබඳව විශ්ලේෂණයක් ඇතුලත් සටහනක් යවා ඇති බවයි.

ශ්‍රේණිගත කිරීම මගින් අනවශ්‍ය පීඩනයක් ඇතිවන බව පවසා සිටි කොමසාරිස්තුමා සිංගප්පූරුව වැනි ලෝකයේ බොහෝ රටවල පාසල් මට්ටමේ පවා පළමුවැනියා, දෙවැනියා සහ තුන්වෙනියා යනාදී වශයෙන් ස්ථාන ලබාදීමක් සිදු නොවන අතර සාධනීය ඇගයීමක් පමණක් සිදුවන බව පහදා සිටියා

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලබා ගත් සිසුවා ලෙසින් ඡායාරූප යොදාගනිමින් පාඨකයන් නොමඟ යවන ආකාරයෙන් පළවී ඇති සටහන් සියල්ලම සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. විභාග කොමසාරිස්තුමා පවසා සිටි පරිදි අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලයේදී අදාල විෂයට ලබාගෙන ඇති සාමාර්ථයට අමතරව මුළු ලකුණු සංඛ්‍යාව හෝ වෙනත් කිසිදු ජාතික සහ දිස්ත්‍රික් පදනමින් අනුතැන (rank) කිරීමක් ප්‍රකාශයට පත් කෙරෙන්නේ නැති බැවින් දිවයිනේ ප්‍රථම ස්ථානය හෝ වෙනත් කිසිඳු ශ්‍රේණිගත කිරීමක් ප්‍රකාශ කිරීම පදනම් විරහිතය

Avatar

Title:අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථානයක් ප්‍රකාශයට පත්කෙරෙන්නේ නැත.

Fact Check By: Sahan Perera

Result: False