රනිල් සිංගප්පූරුවේදී හිටපු මහබැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් හමුවූ අවස්ථාවක් ද?  

Altered Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශල්‍ය කර්මයක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටියදී මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකිව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් හමුවී ඇති බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මෙම සටහන මගින් ප්‍රකාශ කරන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගොස් සිටි අවස්ථාවේ සිංගප්පූරුවේ පදිංචිව සිටින බව පැවසෙන මහ බැංකු බැඳුකර වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් හමුවී ඇති බවයි. අප්‍රේල් 08 වැනිදා X සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන පළ කර ඇත්තේ, එම හමුවේදී හිටපු ජනාධිපතිවරයා සහ හිටපු මහබැංකු අධිපතිවරයා ඡායාරූපයක් සඳහා ද පෙනී සිට ඇති බව හඟවමිනි. 

X | Archived Link

මෙහි නිර්වද්‍යතාව විමසා පාඨකයින්ගෙන් ලද ඉල්ලීම් ද සලකා අප මෙහි සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට මෙලෙස පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මාර්තු 15 වැනිදා  හිටපු  ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශල්‍යකර්මයකට භාජනය වීම සඳහා සිංගප්පූරුවට පිටත්ව ගිය බවත් මවුන්ට් එළිසබත් රෝහලේදී ශල්‍යකර්මයට භාජනය වීමෙන් පසු අප්‍රේල් 09 වැනිදා යළි දිවයිනට පැමිණි බවත් මාධ්‍ය වාර්ත කර තිබූ අතර එක්සත් ජාතික පක්ෂ නිල ෆේස්බුක් පිටුවේ ද ඒ පිළිබඳව සඳහන් කරමින් මෙලෙස සටහනක් පළ කර තිබුණා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ, ශල්‍යකර්මයෙන් පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. 

ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට පිටත්ව ගොස් සිටි සති කිහිපය ඇතුළත රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩු සමයේ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකිව සිටින හිටපු මහබැංකු අධිපතිවරයා හමුවූයේ නම්, සහ එවැනි හමුවකට අදාළ ඡායාරූපයක් නිකුත් වී  තිබුණේ නම්, ඒ පිළිබඳව මෙරට මාධ්‍ය එය ප්‍රමුඛ පුවතක් සේ සලකා වාර්තතා කර තිබිය යුතු නමුත් එවැනි හමුවක් පිළිබඳ කිසිදු පුවතක් මෙරට ප්‍රමුඛ පෙළේ මාධ්‍ය කිසිවක් විසින් වාර්තා කර නොමැත.  

මේ අතර මේ පිළිබඳ වැඩිදුර කරුණු පරීක්ෂාවේදී අප හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගිය අවස්ථාවේ වෙනත් විශේෂිත පුද්ගලයින් හමුවීමට අදාළව මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ දැයි සිදු කළ පරීක්ෂාවේදී සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍ය ජෝර්ජ් යෙඕ මහතා හිටපු ජනාධිපතිවරයා හමුවීමට පැමිණ තිබූ බව ජෝර්ජ් යෙඕ මහතාගේ සමාජ මාධ්‍ය උපුටා දක්වමින් ඡායාරූපයක් ද සහිතව පුවත් වෙබ් අඩවියක් මෙලෙස වාර්තා කර තිබුණා. 

හිටපු මහබැංකු අධිපති මහේන්ද්‍රන් සහ ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති බව කියමින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ඡායාරූපයේ පසුබිම මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ පෙනුම සහ සිංගප්පූරුවේ හිටපු විදේශ ඇමති හමුවේදී ගත් බවට මාධ්‍යයේ පළ වී ඇති ඡායාරූප අතර සමාන බවක් පෙන්නුම් කරන බැවින් ඒ පිළිබඳ තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා  අප රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සිංගප්පූරු හිටපු විදේශ අමාත්‍යවරයාගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂාවට ලක් කළ අතර එහිදී  හිටපු විදේශ අමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමේ මෙලෙස පළ කර තිබුණා. 

Facebook |Archived Link

මෙම ඡායාරූපය ම රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකයේ නිල ෆේස්බුක් පිටුවේ ද අප්‍රේල් 07 වැනිදා පළ කර තිබුණේ මෙලෙසයි

රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේදී හිටපු මහබැංකු අධිපතිවරයා හමුවී ඇති බව කියමින් පළ කර ඇති ඡායාරූපය සහ සිංගප්පූරු හිටපු විදේශ අමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූප දෙක අතර සමානකම් ඇති බව තවදුරටත් තහවුරු වේ. 

මේ අතර රනිල් – අර්ජුණ මහේන්ද්‍රන් හමුවී ඇතැයි කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයේ දකුණු පස පහළින් පෙනෙන ලාංඡනය සැලකීමේදී මෙය සිංගප්පූරු හිටපු විදේශ අමාත්‍යවරයාගේ සත්‍ය ඡායාරූපය සංස්කරණය කොට එම ස්ථානයට අර්ජුන මහේන්ද්‍රන්ගේ ඡායාරූපයක් යොදා ගනිමින් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් සකස් කර තිබේ.

සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ ගත් සත්‍ය ඡායාරූපය හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ඡායාරූපයක් යොදා සංස්කරණය කර සමාජ මාධ්‍යට මුදා හැර ඇති ඡායාරූප දෙකේ සංසන්දනය පහතින්. 

මහබැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබ සිටින අර්ජුණ මහේන්ද්‍රන්  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ යහපාලන ආණ්ඩු සමයේ (2015–2016), ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළේ, සිංගප්පූරුවේ පුරවැසිභාවය හිමි අර්ජුණ මහේන්ද්‍රන් ය. 2015 වසරේ සිදුවූ ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර ඇති මහේනද්‍රන් මේ වන විට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා විවෘත වරෙන්තු සහ නොතීසි නිකුත් කර ඇති පුද්ගලයෙකි. 2015 පෙබරවාරි 27 දින පැවැත්වූ බැඳුම්කර වෙන්දේසියේදී, ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට වාසි වන පරිදි රහස්‍ය තොරතුරු ලබා දී ඇති බවට හිටපු මහ බැංකු අධිපතිවරයාට චෝදනා එල්ල වී තිබේ. විස්තර මෙතැනින් සහ මෙතැනින්

මේ අතර මහ බැංකු බැඳුම්කර නඩුවල සැකකරුවෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් කඩිනමින් මෙරටට ගෙන්වා ගන්නා බව ජාතික ජන බලවේගය මැතිවරණ සමයේ ප්‍රකාශ කර සිටිය ද සිංගප්පුරු ජාතිකයෙකු වන අර්ජුන මහේන්ද්‍රන් උදර්පණ නීතිය අනුව මෙරටට රැගෙන ඒමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ කැබිනට් හමුවකදී මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුණ මහේන්ද්‍රන් ලංකාවට රැගෙන එන්නේ කවදාදැයි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, ක්‍රියාවලිය සරල නොවුණත් හැකි ඉක්මනින් ඔහු ගෙන්වා ගැනීම සඳහා රාජතානාත්‍රික මැදිහත්වීම් සිදු කරමින් අදාළ නඩු කටයුතු ඉදිරියට කරගෙන යන බවයි. එම වීඩියෝව මෙතැනින්  

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුණ් මහේන්ද්‍රන් හමුවී ඇතැයි කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය සත්‍ය ඡායාරුපයක් නොවන බවයි. එය සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයේ හිටපු විදේශ අමාත්‍යවරයා වෙනුවට අරජුණ මහේන්ද්‍රන්ගේ රුවට සමාන රුවක් යොදා සංස්කරණය කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති නොමග යවන සුළු ආකාරයේ ඡායාරූපයකි.

Result Stamp

Title: රනිල් සිංගප්පූරුවේදී හිටපු මහබැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් හමුවූ අවස්ථාවක් ද?  

Written By: Sagarika Chathumali

Result: Altered


Leave a Reply

Your email address will not be published. Required fields are marked *