කොරෝනා වෛරස් ආසාදිතයන් දිවයිනෙන් වාර්තා වෙත්ම, ආරක්ෂාකාරී පියවරක් ලෙස, සිංහල අවුරුදු පාසල් නිවාඩුව ඉක්මනින් ලබාදීමට අධ්‍යාපන බලධාරීහු ක්‍රියා කළහ. එහෙත් රෝගය දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමගම පාසල් නැවත විවෘත කිරීමද කල් දැමීමට සිදුවිය. මෙසේ වසා දැමුණු පාසල් අධ්‍යාපන කටයුතු සඳහා නැවත විවෘත කිරීම පිළිබඳව ප්‍රධාන විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති ඉදිරිපත් වුවද, සෞඛ්‍යය බලධාරීන්ගෙන් නිසි අවසරයක් ලැබෙන තෙක් පාසල් නැවත විවෘත කළ නොහැකි බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පුන පුනා මාධ්‍යයට පැවසීය.

5 වසර ශිෂත්වය මෙන්ම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයද සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේ පැවැත්වෙන බැවින් පාසල් නැවත විවෘත කිරීම සහ මෙම විභාග පිළිබඳව සිසුන්ගේ සහ දෙමවුපියන්ගේ තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින අවධියක උසස් පෙළ විභාගයේ කාල සටහන යනුවෙන් මීට දින කිහිපයකට පෙර සාවද්‍ය සාටහන් පෙලක්ද හුවමාරු වූ අතර එය සම්පුර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් බව අප විසින් මෙසේ පෙන්වා දෙන ලදී.

මෙම තේමාව යටතේම උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස – ඒකටත් මාසයක් පාසල් වැසේ තේමාවෙන් TV Sri Lanka නැමැති ෆේස්බුක් පිටුවක පහත සටහන ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය.

“අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම ලබන සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීම කෙරෙහි විභාග දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබෙනවා.විභාග දෙපාර්තමේන්තුව දැනටමත් මේ බව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

උසස් පෙළ සිසුන් වෙනුවෙන් නැවත පාසල් ආරම්භ කිරීමෙන් පසු දින 85ක කාලයක් පාසල් පැවැත්විය යුතු බවට වන යෝජනාවක් ද මේ වන විට ඉදිරිපත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් ද දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති බව සඳහන් වෙනවා. එනම් මාර්තු මස 13 වැනිදා පාසල් වසා දැමීමෙන් පසු මේ දක්වා අහිමි වූ දින ගණන වෙනුවෙන් මෙම දින 85 යෝජනා වී තිබුණා.

මෙහිදී විභාග දෙපාර්තමේන්තුව අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ එම අහිමි වූ දින උසස් පෙළ සිසුන් සඳහා ලබා දුනහොත් සැප්තැම්බර් මාසයට කලින් විභාගය කිසිසේත් ම පැවැත්විය නොහැකි බවයි

මෙසේ සැප්තැම්බර් මාසයේ දී උසස් පෙළ විභාගය පැවැත්වුවහොත් පාසැල් ආරම්භ වූ පසු යළිත් මාසයක කාලයක් පාසල් වසා දැමීමට සිදු වීම කෙරෙහි ද අමාත්‍යාංශය අවධානය යොමු කර ඇති නමුත් විභාගය පැවැත්වීම සඳහා පාසල් වසා දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.”

FB LinkArchived LinkArticle LinkArchived Link

මෙම පුවත හා සබැඳි පුවත් සහ සටහන් තවත් වෙබ් අඩවි සහ ෆේස්බුක් සමුහ විසින් හුවමාරු කරගෙන තිබුනේද මෙලෙසිනි.

මින් පෙර ද පාසල් නැවත විවෘත කිරීම මෙන්ම කඩයිම් පරීක්ෂණයන් පිළිබඳව ඉදිරිපත් වූ ප්‍රවෘත්ති සටහන් පිළිබඳව අප විසින් සිදුකරන ලද කරුණු විමර්ශනයන් හි දී එම ප්‍රවෘත්ති සටහන් සාවද්‍ය සහ හුදෙක් උපකල්පන පමණක් බවට සනාථ වීම නිසා මේ පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම ප්‍රවෘත්තිය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය පරික්ෂා කළෙමු. “සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරුවන උසස් පෙළ විභාග කාලසටහන සම්පූර්ණ අසත්‍යයක්” යන මැයෙන් පළව තිබු ලිපියක අපට දැකගන්නට ලැබුනේද “උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳව විශ්වාසය තබා වගකීමෙන් කටයුතු කරන ලෙස පාසල් ප්‍රජාව ප්‍රමුඛ සියලු දෙනා වෙත විභාග කොමසාරිස්වරයා අවධාරණය කරයි" යනුවෙනි.

LinkArchived Link

එබැවින් සැප්තැම්බර් මාසයේ උසස් පෙළ විභාගය පැවැත්වීමේ සුදානමක් පිලිබඳ නිල නිවේදනයක් පළවී තිබුනේ නැති බවින් TV Sri Lanka ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර තිබූ ප්‍රවෘත්තිය තවදුරටත් තහවුරු කර ගැනීම පිණිස අප විභාග විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු.

අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම ලබන සැප්තැම්බර් මාසය දක්වා කල් දමන ලෙස විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බවත්, මාර්තු මස 13 වැනිදා පාසල් වසා දැමීමෙන් පසු අධ්‍යාපනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනි සිටින සිසුන්ට මේ දක්වා අහිමි වූ දින ගණන වෙනුවෙන් දින 85ක පංති පැවැත්විය යුතු බවට ගණනය කර නොමැති බවත් ඒ නිසා ඒ පිළිබඳව ද කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත්, අවධාරණය කරන ලදි.

මෙම ප්‍රවෘත්තිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසුවෙමු. සෞඛ්‍ය බලධාරීන් තීරණයක් දෙන තුරු නැවත පාසල් විවෘත නොකරන බවත්, අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම ලබන සැප්තැම්බර් මාසය දක්වා කල් දමන ලෙස විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර නොමැති බවත්, විභාගය පැවැත්වීමට පෙර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා කොපමණ දින ගණනක් පන්ති පැවැත්විය යුතුද යන්න පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹ නොමැති බවත් අප හා සම්බන්ධ වූ අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් තුමාද පැවසීය.

මැයි මස 28 දින ලංකාදීප පුවත්පත “දරුවන් පාසල් ගෙන්වන්න තිබෙන විශාලම අභියෝගය පොදු ප්‍රවාහනයයි සිරස්තලයෙන් අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම උපත උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ පාසල් විවෘත කිරීම පිළිබඳ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කිරීමට තවත් සතියක් හෝ දෙකක් පමණ ගතවනු ඇති බවය.

LinkArchived Link

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම ලබන සැප්තැම්බර් මාසය දක්වා කල් දමන ලෙස විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව සහ, මාර්තු මස 13 වැනිදා පාසල් වසා දැමීමෙන් පසු අධ්‍යාපනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනි සිටින සිසුන්ට මේ දක්වා අහිමි වූ දින ගණන වෙනුවෙන් දින 85ක පංති පැවැත්විය යුතු බවට ගණනය කර නොමැති බවයි.

එබැවින් “උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස – ඒකටත් මාසයක් පාසල් වැසේ” තේමාවෙන්  TV Sri Lanka නැමැති ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර ඇති සටහන අසත්‍ය සහ සාවද්‍ය පුවතක් බවට නිගමනය කරමු.

Avatar

Title:උසස් පෙළ විභාග කාලවකවානුව පිලිබඳ සිදුකල උපකල්පනයක්!

Fact Check By: Sahan Perera

Result: False