මොරටුව සොයිසාපුර ආපනශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම, නිහඬව තිබූ පාතාල ක්‍රියාකාරකම් නැවතත් හිස ඔසවන බවට වු අනතුරු ඇඟවීමක් විය. දිවයින පුරා ක්‍රියාත්මක වන පාතාලයේ කටයුතු වහාම මර්දනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොලිසියට සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට උපදෙස් දුන් බවට වාර්තා පළ විය. අපරාධ සහ මිනීමැරුම් රැසකට සම්බන්ධ වූ පාතාලයේ ක්‍රියාකාරියෙකු පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී, මිනුවන්ගොඩ ප්‍රදේශයේදි මිය ගිය බවට පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරන ලදී.

මෙවන් පසුබිමක Anya Sooriyawardane නමැත්තියක විසින් “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි” නම්වු ෆේස්බුක් සමුහයකට “පාතාලය විනාශ කිරීම පිලිබඳ JVP මතය.” තේමාව සහිත සටහනක් උපහාසාත්මක ආකාරයෙන් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණේය. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාගේ ෆේස්බුක් පිටුවක ඇති සටහනක් ලෙස හුවා දැක්වීමට ප්‍රයත්නයක් දරා තිබූ එහි, පහත කතාංගය අන්තර්ගත වී තිබුණේය.

“රජයේ පාතාලය මර්දනය කරන ආකාරය ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවයක් ගැනීම අප පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඊට හොඳම හොඳම උදාහරණය ගොනා කෝවිලේ රාජා සොහොයුරා අමානුෂික ලෙස ඝාතනය කිරීමයි. රාජා සහෝදරයා විසින් සොයිසාපුර හෝටලයට වෙඩි තැබුවේ මිනිස් ජීවිතයකට හානියක් නොවන ආකාරයටයි. රාජා සහෝදරයා එසේ කර තිබියදී කිසිවක් සොයා නොබලා රජයේ උපදෙස් මත පුංචි පිස්තෝලයකින් වෙඩි 3 තැබූ පමණින් ඔහුට වෙඩි තැබීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බව අපගේ මතයයි. අප වගේ රටවල කප්පම් ගැනීම, ව්‍යාපාර වලට අලාභහානි කිරීම එතරම් විශාල වරදවල් ලෙස උලුප්පා දැක්වීම ඉතා වැරදි සහගත ලෙස අප දකිනවා. මෙම සාමාන්‍ය සුළු සිද්ධි, දෙපාර්ශවය පොලිසියකට හෝ සමථ මණ්ඩලයකට කැඳවා සමථයකට පත් කළ හැකි බව අපගේ මතයයි.”

LinkArchived Link

මෙම සටහන ෆේස්බුක් සමුහ රැසක් හුවමාරු කරගෙන තිබෙනු නිරීක්ෂණය විය.

ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වීම ආරම්භ කර තිබූ මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර අතර පාතාල ක්‍රියාකාරකම් අනුමත කිරීම ගැන ජනතා විමුක්ති පෙරමුණට දොස් තබා තිබීම ගැන මෙන්ම, මින් පෙර බිමල් රත්නායක මහතාගේ නිල ෆේස්බුක් ගිණුම ලෙස අඟවා, ඉදිරිපත් කර තිබු  සටහන් රැසක් අසත්‍යය බවට අපගේ කරුණු විමර්ශනවලදී තහවුරු වීම නිසාත්, මෙම සටහන පිළිබඳව ද සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප බිමල් රත්නායක මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. තමා හෝ තමා නියෝජනය කරන දේශපාලන පක්ෂය කිසිදු විටෙක පාතාල ක්‍රියාකාරකම් අනුමත නොකරන බව පැවසූ ඔහු, තමා නියෝජනය කරන දේශපාලන පක්ෂය කිසිදු විටෙක පාතාලට සාමාජිකත්වය ලබා නොදුන් බව පැවසීය.

මෙය තමාගේ ෆේස්බුක් පිටුවේ සටහනක් ව්‍යාජ ලෙස සංස්කරණය කොට ඉදිරිපත් කර ඇති බවත්, තමා සහ තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂය ඉලක්ක කරගනිමින් ප්‍රතිවාදීන් විසින් ඉදිරිපත් කරන මඩ ප්‍රහාරයන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බවද පැවසීය. තමාගේ නිල ෆේස්බුක් ගිණුමෙහි, පාතාලය විනාශ කිරීම පිළිබඳ JVP මතය තේමාවෙන් ෆේස්බුක් ජාලයෙහි සංසරනය වන සටහන ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති අසත්‍ය ප්‍රවෘත්තියක් බවට සටහනක් දැමු බවද සඳහන් කළේය.

ඔහුගේ නිල ෆේස්බුක් පිටුව පරික්ෂා කිරීමේදී පහත සටහන දක්නට ලැබුණේය.

LinkArchived Link

එසේම බිමල් රත්නායක මහතාගේ ෆේස්බුක් පිටුවේ ක්‍රියාකාරකම් පරීක්ෂා කර බැලීමේදී මෙවැනි සටහනක් ඉවත්කරගෙන නොමැති බවද පෙනී ගිය බවින් මෙය සංස්කරණයක් බව තහවුරු විය.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේපාතාලය විනාශ කිරීම පිළිබඳ JVP මතය” තේමාවෙන් ෆේස්බුක් ජාලයෙහි සංසරනය වන සටහන ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති අසත්‍ය ප්‍රවෘත්තියක් බවයි.

එබැවින් “පාතාලය විනාශ කිරීම පිලිබඳ JVP මතය.” තේමාව සහිතව ෆේස්බුක් ජාලයෙහි සංසරනය වන සියළුම සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය  සහ සාවද්‍ය සටහනක් බව නිගමනය කරමු.

Avatar

Title: බිමල් රත්නායක මහතා අලලා කෙරුණු ව්‍යාජ ප්‍රකාශයක්!

Fact Check By: Sahan Perera

Result: False