කාන්තාවන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට වර්තමාන රජය විසින් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී පැවසුවා.

එම කරුණ ද මුල්කරගෙන මුස්ලිම් තරුණයකු විසින් සිංහල පෙම්වතිය දූෂණය කර නීතියෙන් දඬුවම් නොලබා නිදහස් කර ඇති බව පැවසෙන සේ සකසා ඉදිරිපත්ව තිබු සටහනකින් වර්තමාන රජය විසින් කාන්තාවන් ට ආරක්ෂාව තහවුරු කිරීමට සමත් වී ඇත්ද යන්න ප්‍රශ්න කර තිබුණි. මේ පිලිබඳ විමර්ශනයේදී අපට පෙනී ගියේ මෙම පුවතට සම්බන්ධ මුල් සටහන 2018 වසරේ පළවූ නෙමග යවන සුළු සටහනක් බවය.

සමාජ මාධ්‍ය සටහන්:

මුස්ලිම් පෙම්වතාගෙන් දූෂණය වූ සිංහල තරුණියට යන එන මං නෑ. පොලිසියත් ශරියා නීතිය අනුව මුසල්මානුවාව නිදහස් කරයි. බදුල්ලෙන් ඇසුන මෙම කතාවම ඔබේ ගමේ ඇසෙනවාට ඔබ කැමතිද? වදන් රෝපණය කළ සටහනක් Dilum Jayanath නැමැත්තෙකු විසින් පළකර තිබුනේ ගීතා කියන ආකාරයට කාන්තාවන් ට ආරක්ෂාව තහවුරු කිරීමට රජය සමත්වී ඇත්ද? යනුවෙන් ප්‍රශ්න කරමින්

FacebookArchived Link

තවත් කිහිප දෙනෙක් ද මෙම සටහන් හුවමාරු කරගෙන තිබු අතර ෆේස්බුක් ජාලයේ සංසරණය වන සටහන පිළිබඳව කරුණු විමර්ශනයක් කරන මෙන් අප වෙත ලැබුණු ඉල්ලීමක් අනුව මේ පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අවධානය යොමුවිය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහනේ ඇති ඡායාරූපය පරික්ෂා කිරීමේ දී එහි “වෑකන්ද හටන” නම් ෆේස්බුක් පිටුවක සලකුණත් දැකීමට හැකිවූ නිසා, වෑකන්ද හටන නම් ෆේස්බුක් පිටුවක මෙවැනි සටහනක් ඇද්දැයි සොයා බැලුවෙමු. එහිදී 2014 වසරේ ජූලි මස 28 වැනි දින පහත ඇති දීර්ඝ කථාංගය සහිත සටහන නිරීක්ෂණය විය .

මේ අද දිනයේදී බදුල්ල පොලිසිය තුළින් ඇසුණු තවත් එක් කතාවකි.

ඇය සිංහල යුවතියකි. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ මේ වන විට ඉගෙනුම ලබන්නීය.

බදුල්ල ප්‍රදේශයට ආ පසුව ඇයට මුස්ලිම් පෙම්වතෙකු මුණ ගැසිණ.සරසවි සිසුවියක වුවත් මේ මුසල්මානුවාගේ ව්‍යාජ ප්‍රේමය හමුවේ රැවටුණු ඇය ඔහුව විශ්වාස කරමින් ගමන් බිමන් ගියාය.

ඒ අනුව අද දින උදෑසන ඇය මේ මුස්ලිම් පෙම්වතාත් සමග දුන්හිද ඇල්ල වෙත ගොස් ඇත. ඒ ගමනේදී දුන්හිද ඇල්ල අසල කැලය තුළදී මෙම තරුණියව ඒ මුස්ලිම් පෙම්වතා විසින් දූෂණයට ලක් කර ඇත.

මේ සිදුවීම අවසන් වූයේ බදුල්ල පොලිසිය වෙත පැමිණිලි කිරීමෙනි.

මේ තරුණියටද වයස දහ අට සම්පූර්ණව තිබීම නිසාත් ඇය දුන්හිද ඇල්ල අසල වනාන්තරයට ගියේ ඇගේ කැමැත්තෙන් වීම නිසාත් මෙහිදී උසාවිය දක්වා ප්‍රශ්නය ගෙන යාමට පෙර දෙපාර්ශවයෙන් කරුණු විමසීමක් සිදු කර ඇත.

එහිදී මුස්ලිම් පෙම්වතා පවසා ඇත්තේ ඇයව විවාහ කර ගැනීමට තමන් තුළ කිසිදු අදහසක් නොමැති බවය.

එහිදී පොලිස් නිලධාරීන් හා තවත් පිරිස ඉදිරිපිටදී මෙම තරුණිය මහත් අසරණ බවට පත්ව ඇත. අවසානයේදී ඇයට සිදුව ඇත්තේ මුස්ලිම් පෙම්වතාගේ කැමැත්තට ඉඩ දී ලැජ්ජාව අවමානය සහ තම ජීවිතයට සිදුවූ විනාශය දරාගෙන පොලිසියෙන් පිටව එන්නටයි.

මේ සිදුවීම අපේ අනෙකුත් සියළු සිංහල සොහොයුරියන්ට පාඩමක් වනු ඇත.අපේ සිංහල සොහොයුරියන් දියණියන් ඔවුනට කෙලිබඩු හා තම ජාතිය පැතිරවීමට යොදා ගන්නා මෙවලම් මිස ඊට වැඩි යමක් නොවේ.සොයුරියනි, මිතුරියනි, දියණියනි, මේ ඇත්ත තේරුම් ගන්න.ජාතියේත් ඔබගේත් ගෞරවය ඇත්තේ ඔබ අතමය

උපුටාගැනීම-උපුටාගැනීම-”

FacebookArchived Link

උපුටාගැනීමක් ලෙස පලවී තිබු එම සටහනට විවිධ ආකාරයේ වෛරී ප්‍රතිචාර ද නීතිමය අවකාශයන් ද ඇතුළුව ප්‍රතිචාර විශාල සංඛ්‍යාවක් සමඟ බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණි. බොහෝදුරට එහි මුල් සටහන, ඊට දිනකට පෙර පළවූ මෙම බොදු බල සේනා සංවිධානය හා සම්බන්ධ සටහන් රැසක් පළකර තිබු පුද්ගලයෙකු බව ද අපට දැකගනන්ට ලැබුණි. 2014 වසරේ බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල ඇතිවූ ගැටුම් හමුවේ වෛරී සටහන් රැසක් වාර්තා වූ බවට ද මෙවැනි වාර්තා අපට දැකගනන්ට ලැබුනා

කෙසේවෙතත් වැඩිදුරටත් කරුණු තහවුරු කර ගැනීමට අප බදුල්ල පොලීසියෙන් විමසීමක් කළෙමු. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් අපව බදුල්ල කොට්ඨාශ කාන්තා කාර්යාංශය වෙත යොමු කළා.

මෑත කාලයේදී මෙවැනි සිදුවීමක් වාර්තා නොවු බව එහි නිලධාරිනියක් අපට තහවුරු කර සිටියා. 2014 සිද්ධිය සම්බන්ධයෙන් නිශ්චිතව ම මතකයේ නැති නමුත් එම සටහනේ දක්වා තිබෙන පරිදි මෙවැනි සිද්ධියකදී ශරියා නීතියක් ක්‍රියාත්මක නොවන බව පැවසූ ඇය, වයස අවුරුදු 18 කට වැඩි නම් ඔවුන් වැඩිහිටියන් සේ සලකන බවත් සඳහන් කළාය. එබැවින් වයස අවුරුදු 18 කට වැඩි දෙදෙනකු අන්නෝන්‍ය කැමැත්තෙන් ලිංගිකව එක්වීම නීතියට පටහැනි නොවන බවද, රවටාගෙන ස්ථානයකට ගෙන ගොස් තරුණියගේ අකමැත්තෙන් ලිංගිකව හැසීරීම දුෂණය කිරීමක් බවත්, එවන් අවස්ථාවක නීතිය ක්‍රියාත්මක වන බව ද පැවසූවාය.

තරුණියන් තමුන් ආශ්‍රය කරන තැනැත්තන් සහ සිය ආරක්ෂාව පිළිබඳවත් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු බව ද ඇය පවසා සිටියා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මුස්ලිම් තරුණයකු විසින් බදුල්ලේ සිංහල තරුණියක මෑතකදී දුෂණය කර නිදහස් වූ බවට පලවී තිබෙන්නේ 2014 වසරේ, සිංහල - මුස්ලිම් කෝලාහල ඇතිවූ සමයක පළවූ සටහනක් උපුටා දක්වමින් බවයි. වර්තමානයේ එවැනි සිදුවීමක් වාර්තා වන්නේ නැහැ. 2014 වසරේ පළවූ සටහන ද නොමඟ යවන සුළු සටහනකි. ශරියා නීතියක් මෙහිදී ක්‍රියාත්මක වන්නේ නැත.

Avatar

Title:මෑතකදී මුස්ලිම් තරුණයෙකු බදුල්ලේ සිංහල තරුණියක් දූෂණය කර නිදහස් වුවා ද?

Fact Check By: Nelson Mani

Result: Misleading