මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වාත්, පොතුහැර සිට ගලගෙදර දක්වාත් දිවයන ව්‍යාපෘතියකි. මෙහි වැඩකටයුතු තවමත් සිදු වෙමින් පවතින අතර මෙම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් වල ඡායාරූප හා පටිගත කළ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට හුවමාරු වනවා අපට දැකගන්නට පුළුවන්.

එළැඹෙන මැයි මසදී මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීමට නියමිත බවට සටහන් සංසරණය වෙද්දී අප එහි සත්‍යතාව සම්බන්ධයෙන් විමසුමක් කළා.

සමාජ මාධ්‍ය සටහන් :

Ayale travel යන ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ,

- මැයි මස විවෘත වීමට නියමිත ලංකාවේ ලස්සනම අධිවේගී මාර්ගය 🐌👣☘️♥️🌸😍

- මධ්‍යම අධිවේගී මාර්ගය 😍♥️🌈️ යනුවෙනි.

Facebook | Archived Link

C E Y L O N යන ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ, Central Expressway to be opened in May යනුවෙනි. එහි සිංහල පරිවර්තනය නම් “මැයි මාසයේදී විවෘත කිරීමට නියමිත මධ්‍යම අධිවේගී මාර්ගය” යනුවෙනි

Facebook | Archived Link

මෙම සටහන් වලින් බැලු බැල්මටම පෙන්නුම් කෙරෙන්නේ සම්පුර්ණම මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මැයි මාසයේ දී අවසන් වීමට නියමිත බවක්

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

එසේම ඉහත සමාජ මාධ්‍ය සටහන් බොහොමයක් සඳහා මුල් වී තිබුනේ “The Morning” පුවත්පතේ පළවූ පහත වාර්තාවක් බව අපට දැකගන්නට ලැබුණා.

https://www.facebook.com/themorning.lk.official/posts/3248495065377055?__cft__[0]=AZU9F16Adf-odc1MhsfqXItMwUlJfivjxypWYDqs6lLAhygmT9vPvT1_z0FebtlDf0ISt6TlRJbVVQcXovhcILWUWVAplEkOpEg19yuAwFzue8bkgSqxXemBQQWzmcBAND0UGOHz4IsUszW229S5wsZ4&__tn__=%2CO%2CP-R

Archived

මාර්ග සහ අධිවේගී මාර්ග අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පසුගිය මාර්තු මාසයේ “The Morning” පුවත්පතේ පළවූ වාර්තාවකින් දක්වා තිබුනේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටස, එළඹෙන මැයි මාසයේදී විවෘත කිරීමට නියමිත බවයි.

සම්පුර්ණ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කොටස් 4 කට බෙදා ඇති අතර එම සම්පුර්ණ ව්‍යාපෘතිය තවත් වසර 3 කින් පමණ අවසන් කිරීමට හැකිවනු ඇති බව එහි තවදුරටත් සඳහන්.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කොටස් කර තිබෙන පියවර 4 ක් පිලිබඳ වැඩිදුර තොරතුරු පහතින්.

1 පියවර - කඩවත (0.0km) සිට මීරිගම (37.1km)

2 පියවර - මීරිගම (37.1km) සිට කුරුණෑගල (76.8km) සහ අඹේපුස්ස සබැඳි මාර්ගය ( Ambepussa link road) (9.3km)

3 පියවර - පොතුහැර (0.0km) සිට ගලගෙදර (නුවර) (32.5km)

4 පියවර - කුරණෑගල (76.8km) සිට දඹුල්ල (137.1km)

මේ පිළිබඳව පැහැදිලි කිරීමක් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වීරකෝන් මහතාගෙන් ද අප ලබාගත්තා. 2016 වසරේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළත් එහි ණය ගිවිසුමේ තිබූ ප්‍රමාදය හේතුවෙන් නිල වශයෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ 2020 වසරේ මුල සිට බවද සඳහන් කළා. එම කොටස 2024 වසරට පෙර ඉදිකිරීම් කටයුතු නිම කිරීමට යෝජිත බවද ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

එසේම මෙහි දෙවන පියවර වන මීරිගම සිට කුරුණෑගල දක්වා ඇති කොටසේ අවසන් කිරීමේ කටයුතු, කොවිඩ්19 තත්වය ඇතුළු විවිධ ප්‍රයෝගික අභියෝග හමුවේ කල්ගත වී ඇති බව පවසමින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටියේ, දැනට සැලසුම් කර ඇති පරිදි කටයුතු නිම කිරීමට හැකිවේ නම්, බොහෝදුරට එළඹෙන සැප්තැම්බර් මාසයට පෙර එම කොටස විවෘත කිරීමට හැකිවනු ඇති බවක්.

මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂක තුමාගෙන් ද අප මේ පිළිබඳව විමසා සිටි අතර සම්පුර්ණ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය වසර 4ක ව්‍යාපෘතියක් බවත් අවසන් වීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇති බවත් පවසා සිටියා.

මීට පෙර මීරිගම සිට කුරුණෑගල කොටස විවෘත කිරීමට මේ වසරේ මාර්තු මසදී කටයුතු සිදු කෙරෙනු බවට මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද පැවසුවා. ඒ සම්බන්ධයෙන් පළ වූ වාර්තාවක් මෙතනින්.

කෙසේවෙතත් මෙම කොටසේ ඉදිකිරීම් සිදුකරන කොන්ත්‍රාත් සමාගම හිතාමතාම ඉදිකිරීම් ප්‍රමාද කරමින් සිටින බැවින් සැලසුම් කළ පරිදි මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවන කොටසේ ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි බව ද මහා මාර්ග අමාත්‍යවරයා සඳහන් කළ පුවත් පත් වාර්තාවක් මෙතනින්.

එසේම ඉහත සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබුනේ මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් ඡායාරුප සහිතව පළවූ මෙවැනි වාර්තාවන් වල පළවූ ඡායාරුප පෙළක්.

Conclusion (අවසාන නිගමනය):

ඒ අනුව පැහැදිලි වන්නේ, මේ වසරේ මැයි මාසයේදී විවෘත කිරීමට නියමිත බව පවසමින් පළවූ වාර්තා මුල්කරගනිමින් ඉහත සමාජ මාධ්‍ය සටහන් පළවී තිබු බවයි. එහෙත් එම වාර්තාවල ද දක්වා තිබුනේ සම්පුර්ණ මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීමක් පිළිබඳව නොව මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන දෙවන අදියරේ කටයුතු අවසන් කිරීම පිලිබඳව පමණි.

කෙසේනමුත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටියේ විවිධ ප්‍රයෝගික ගැටළු හමුවේ මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියේ මීරිගම සිට කුරුණෑගල දක්වා ඇති කොටසේ කටයුතු අවසන් කිරීමේ දිනයන් දීර්ඝ වී ඇති බවත්, මේ වන විට සැලසුම් කර ඇති පරිදි කටයුතු නිම කිරීමට හැකිවේ නම්, බොහෝදුරට එළඹෙන සැප්තැම්බර් මාසය නිමවෙන්නට පෙර එම කොටස විවෘත කිරීමට හැකිවනු ඇති බවක්.

සම්පුර්ණ මාධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇත.

මේ අනුව මැයි මාසයේදී විවෘත කිරීමට නියමිත මධ්‍යම අධිවේගී මාර්ගය යනුවෙන් හුවමාරු වන්නේ සම්පුර්ණ විස්තරය ලබා නොදෙමින් හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක් බව පැහැදිලිය.

Avatar

Title:මැයි මාසයේදී විවෘත කිරීමට නියමිත මධ්‍යම අධිවේගී මාර්ගය?

Fact Check By: Sara Gunaratne

Result: Missing Context