කෝවිඩ් වසංගතයේ ව්‍යාප්තිය සමගින් දිනෙන් දින වර්ධනය වන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වල ධාරිතාව ප්‍රමාණවත්ද යන්න පිළිබඳව සමාජයේ අවධානය මේ දිනවල දැඩිව යොමු වී තිබෙනවා.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ පසුගියදා රාගම රෝහලේ වර්තමාන තත්ත්වය යනුවෙන් සඳහන් කරමින් කෝවිඩ් ආසාදිත රෝගීන් බවට හඟවමින් වීඩියෝවක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Thushara Wanniarachchi නම් අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබූ රෝගීන් පිරී ඉතිරී ඇති ආකාරය දැක්වෙන මෙම වීඩියෝයේ පසුබිමෙන් ඇසෙන සංවාදයේ සඳහන් කරන්නේ, “රාගම හොස්පිට්ල් එකේ කොරෝනා රෝගීන් ඉන්න විදිය බල්ලෝ බළල්ලු වගේ ඉන්න්වා මේ ඔක්කොම කොරෝනා රෝගීන්” යනුවෙනි.

එමෙන්ම එම වීඩියෝවෙන් පෙන්වා තිබුණේ, රාගම රෝහලේ වාට්ටුවල කොරෝඩෝවේ බිම රෝගීන් වැතිරී සිටින අයුරුයි. එම වීඩියෝව පහතින්.

https://vimeo.com/548696160

Facebook | Archived Link

මේ වන විට 6800 කට අධික ෆේස්බුක් පරිශීලකයින් පිරිසක් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ නරඹා තිබුණා. වෙනත් විවිධ තේමා යටතේ මෙම වීඩියෝව හුවමාරු වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මේ සම්බන්ධයෙන් අප රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂ්‍ය වෛද්‍ය රණවීර මහතාගෙන් විමසීමක් කළා. එතුමා සඳහන් කළේ, මෙම වීඩියෝවේ දැක්වෙන්නේ කොරෝනා රෝගීන් නොව රාගම රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ සිටින රෝගීන් බවයි. සාමාන්‍ය තත්ත්වය යටතේ වුවද හදිසි අනතුරු වාට්ටුවේ ස්වරූපය මෙසේ විය හැකි බව පවසමින් අධ්‍යක්ෂවරයා පැහැදිලි කර සිටියේ එම වාට්ටුවල ඇඳන් ප්‍රමාණය ඉක්මවා දිනකට රෝගීන් වාර්තා කරන බැවින් මෙවැනි තත්වයන් තාවකාලිකව මතුවන බවත් ලංකවේ බොහෝ රජයේ රෝහල්වල හදිසි අනතුරු වාට්ටුවල ස්වරූපය යම් අවස්ථාවල දී මෙවැනි ස්වරුපයක් ගන්නා බවත්ය. රාගම රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ඊට සරිලන ආකාරයේ ඇඳන් ප්‍රමාණය සීමිත වුවද අනෙක් ඒකකයන් වල වාට්ටුවල රෝගීන්ට ප්‍රමාණවත් පරිදි ඇඳන් ඇති බවද අවධාරණය කළා.

රාගම රෝහලේ කෝවිඩ් වාට්ටු 4ක් ඇති බවත් මේ වන විට කොරෝනා රෝගීන් 30කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් රාගම රෝහලට අනුබද්ධ කඳාන රෝහලේ වාට්ටු 2ක කෝවිඩ් ආසාදිත රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගින් 80 ක් පමණ සිටින බවත් රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා පැහැදිලි කර සිටියා. කෙසේනමුත් රාගම රෝහලේ කෝවිඩ් වාට්ටුවේ සිටින්නේ කෝව්ඩ් අසාදිතයන් පමණක් බවද රාගම එතුමා වරයා තව දුරටත් සඳහන් කරමින් එම කෝව්ඩ් වාට්ටුවේ මේ වන විට ඇති තත්ත්වය පෙන්වන ඡායරූප කිහිපයක් ද අප වෙන යොමු කළා. ඒවා පහතින්.

මීට මාස කිහිපයකට පෙර ද "ඔබ මේ දකින්නෙ අද රාගම රෝහල" යන තේමාවෙන් සටහන් රැසක් හුවමාරු වී තිබුණා. එවැනි පසුගිය පෙබරවාරි මස පළවූ සටහනක් පහතින්.

Facebook | Archived

මේ පිළිබඳව අප රාගම රෝහල් අධ්‍යක්ෂ තුමාගෙන් සිදුකළ විමසීමේ දී පවසා සිටියේ මෙවැනි ඡායාරුප විටින් විට හුවමාරු වන බවත් එය වසර කිහිපයකට පෙර රාගම රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ දී ලබාගන්නා ලද ඡායාරුපයක් බවත්ය.

කෙසේවෙතත් 2019 වසරේ ද රාගම රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ඉහත ඡයාරූපයම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබු අතර එක් සටහනක් පහතින්.

Facebook | Archived

මෙම ඡායාරූපය වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ අද දින රාගම රෝහලේ තත්ත්ය යනුවෙන් සඳහන් කරමින් සංසරණය වී තිබෙනවා.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයට අනුව සඳහන් කළ හැක්කේ, සමාජ මාධ්‍ය ඔස්සේ රාගම රෝහලේ කෝවිඩ් රෝගීන් බවට සඳහන් කරමින් සංසරණය වූ වීඩියෝවේ දැක්වුණේ, රාගම රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ රෝගීන් ප්‍රමාණය රෝහල් ධාරිතාව ඉක්මවා ඇති අවස්ථාවක ලබා ගත් වීඩියෝවක් බවයි.

එමෙන්ම මේ වන විට රාගම රෝහලේ සිටින කෝවිඩ් ආසාදිතයින් සියලු දෙනාම කොවිඩ් වාට්ටු 4 ක ප්‍රතිකාර ලබමින් සිටින බව රාගම රෝහලේ අධ්‍යක්ෂක වරයා තහවුරු කල අතර ඉහත වීඩියෝවේ සහ එම වාට්ටුවල දර්ශන එකිනෙකට වෙනස්ය.

Avatar

Title:රාගම රෝහලේ කොරෝනා රෝගීන් පෙන්වන වීඩියෝවක්ද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading