
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
බොහෝ ලොව සුපතල ධනවත් චරිත වල ඇති යහපත් ගති පැවතුම් පිළිබඳ සමාජයේ කතිකාවතන්ට ලක් වනවා. මේ අතරින් අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සුළු සේවකයින් ට ගෞරව කරන අවස්ථාවන් මෙන් ම ඔහුගේ සරළ බව පිළිබඳව කැමරා කාචයන්ට හසු වූ අවස්ථාවන් සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද, ප්‍රචලිත වුණා.
එවන් පසුබිමක බැරක් ඔබාමා පසුගියදා ශ්‍රී ලංකා සංචාරයක් කළ බවත්, එම අවස්ථාවේ ඔහුගේ සරළ කම විදහා දැක්වෙන අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
“මෑතකදී ශ්‍රී ලංකාවේ සිදුකල පෞද්ගලික සංචාරයේදී සිය නිහතමානීත්වය ප්‍රදර්ශනය කරමින් ගාල්ලේ, පරණ මාතර පාරේ අජිත් මහතාගේ කුරුම්බා මැස්සේ කුරුම්බා පානය කරන ඔබාමා මහතා…!” යනුවෙන් සඳහන් කරමින් අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා මෙරට පසුගිය දෙසැම්බර් මස අවසනදී සංචාරය කළ අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක් බවට දක්වමින් ඡායාරූප සටහනක් සංසරණය වුණා.

මෙම ඡායාරූප සටහන් ෆේස්බුක් පරිශීලකයින් අතර බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.
මෙහි නිරවද්‍යතාව විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳව විමර්ශනය කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
බැරක් ඔබාමා පසුගිය දෙසැම්බර් මස දී ශ්‍රී ලංකාවට පැමිණි බවට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම ජාත්‍යන්තර මාධ්‍ය ධාරා හෝ වාර්තා කර ඇත් ද, යන්න අප පරීක්ෂා කළ ත්, එවැනි පුවතක් වාර්තා කර නොමැති බවට අප ට දැක ගන්නට ලැබුණා.
මේ හේතුවෙන් අප ඉහත ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව බැරක් ඔබාමාගේ එම ඡායාරූපය සත්‍ය අවස්ථාවක ඡායාරූපයක් නොව, ඡායාරූප සංස්කරණයක් ඇසුරින් සිදුකරන ලද නිර්මාණයක් බව අනාවරණය විය.
ඉන්දුනීසියානු ශිල්පියෙකු විසින් සිදුකළ ඡායාරූප සංස්කරණයක්!
ඉන්දුනීසියාවේ කලාකරුවෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන Agan Harahap විසින් සිය Instagram සමාජ මාධ්‍ය ගිණුම හරහා පළකර තිබු කතාවකට අනුව, ඔහු විසින් ඉන්දුනිසියාවේ Minggiran සහ Ndalem Beteng ප්‍රදේශයේ මාර්ගවල පදික වේදිකාවේ වෙළඳාම් කරන කුඩා සාප්පු වලින් ආහාර පාන මිලදී ගත් අවස්ථාවක මුදල් ගෙවීමට යාමේදී එම වෙළඳසැල් වලින් මුදල් මාරු කිරීමට නොහැකි වීම හේතුවෙන් එම වෙළඳුන් විසින් ගෙවීමට ඇති මුදල් වෙන දිනයකදී පැමිණ ලබා දෙන ලෙස පවසා තිබේ.
දින කිහිපයක් පසුවන විට Agan Harahap ට ද, තමන් එම සාප්පු වලට මුදල් ලබා දීම අමතක වූ බවට පසක් වීම හේතුවෙන් ඔවුන් ට එම මුදල් ලබා දීමට මෙන් ම ඔවුන්ට කෘතගුණ දැක්වීමට සිහිවටන නිර්මාණය කොට ඔවුන් වෙත ලබා දී තිබේ.
එම සිහිවටන වී තිබුණේ, බැරැක් ඔබාමා, බිලී අයිලිෂ්, ව්ලැඩිමීර් පුටින් වැනි ලෝකයේ ප්‍රචලිත චරිත කිහිපයක් එම වෙළඳුන්ගේ වෙළඳසැල්වලට පැමිණි බවට දක්වමින් ඡායාරූප නිර්මාණය කොට එම ඡායාරූප මනාව රාමු කොට එම වෙළඳුන්ගේ ව්‍යාපාරික ස්ථානයේ සැරසිල්ලක් ලෙස තැබීමට හැකි වන අයුරින් නිර්මාණය කොට ලබා දීමයි.

මෙම අනපේක්ෂිත ත්‍යාග හේතුවෙන් වෙළඳුන්ද, ඉතා සතුටට පත් වී ඇති අතර ඔවුන් එම ඡායාරූප අතැතිව සිටින අයුරු දැක්වෙන ඡායාරූප ද, Agan Harahap විසින් සිය සමාජ මාධ්‍ය ජාලා වල පළ කර තිබුණා.
හිටපු ඇමරිකානු ජනපති ඔබාමාගේ පැරණි ඡායාරුපයක් සංස්කරණය කරමින් සිදුකළ නිර්මාණය, Harahap සිය Instagram ගිණුමේ 2021 අගෝස්තු මස පළකර තිබුණේ මෙලෙසින්. Harahap විසින් අනෙකුත් තවත් ලෝකප්‍රකට චරිත ඇතුළත් කරමින් සිදුකළ නිර්මාණ කිහිපයක් මෙතනින්.
2016 ලාඕස සංචාරයේ දී ලබාගත් ඔබාමාගේ ඡයරුපයක් යොදාගනිමින් සිදුකළ සංස්කරණයක්!
කෙසේවෙතත් Harahap සිදුකළ නිර්මාණයට යොදාගෙන තිබු ඔබාමාගේ මුල් ඡායාරුපය පිළිබඳව ද අප සොයා බැලු අතර එය ලබාගෙන තිබුණේ ඊටත් වසර කිහිපයකට පෙර, එනම් 2016 වසරේ එවකට ඇමරිකානු ජනපති ඔබාමාගේ ලාඕස සංචාරය අතරතුරයි. එම මුල් සේයාරුව පහතින්.

ඔබාමාගේ 2016 ලාඕස සංචාරය පිළිබඳ පුවත් වාර්තා කිහිපයක් මෙතනින් සහ මෙතනින්.
English Version: Obama Drinking A Coconut From a Streetside Shop in SL is an Old & Altered Image!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අමෙරිකා හිටපු ජනාධිපති බැරක් ඔබාමා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක් ලෙස පළ වන්නේ බැරක් ඔබාමා මෙරට ට පැමිණි අවස්ථාවක ඡායාරූපයක් නොව, 2016 වසරේ දී ඔබාමාගේ ලාඕස සංචාරය අතරතුර ලබාගත් ඡායාරූපයක් යොදාගනිමින්, ඉන්දුනිසීයාවේ කලාකරුවෙකු විසින් 2021 වසරේ දී සිදුකරන ලද නිර්මාණයක් බවයි.
Title:බැරක් ඔබාමා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක ඡායාරූපයක් නොවේ!
Written By: Pavithra SandamaliResult: Misleading


