Explained: වතුපිටිවල රෝහලේ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානය උත්සවශ්‍රීයෙන් විවෘත කරලා?

Coronavirus Political

*මෙය Explainer වර්ගයේ කරුණු විස්තර කෙරෙන ලිපියක් පමණක් බවත් මෙම ලිපිය මත පදනම්ව කිසිඳු සමාජ මාධ්‍ය සටහනක් ශ්‍රේණිගත (Rating) වී නැති බව ද කරුණාවෙන් සලකන්න.

පොදුජන පෙරමුණේ සංකල්පයක් යටතේ දිවයින වටා රොහල්වලට අනුබද්ධව ඉදිකෙරෙන කෝවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන අතරින් වතුපිටිවල රෝහලේ ඉදිකෙරුණු ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කිරීම උත්සවශ්‍රීයෙන් සිදු වූ බවට සමාජ මාධ්‍ය විසින් චෝදනා එල්ල වුණා. මෙහි නිරවද්‍ය තාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

Ranjan Wimalathunga යන අයෙක් සිය ෆේස්බුක් ගිණුමේ වතුපිටිවල රෝහලේ සාදා ඇති තාවකාලික කෝවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ ඡායාරූප දක්වමින් සඳහන් කර තිබුණේ, “කූඩාරමක් ගහලා යකඩ ඇඳන් ටිකක් දාලා වසංගතයක් මොහොතේ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන උත්සවාකාරයෙන් විවෘත කරන අමුතු රටේ උමතු මිනිසුන්” ලෙසයි. 

Facebook | Archived Link

මෙම ඡායාරූප සහිත සටහන මේ වන විට ෆේස්බුක් පරිශීලකයින් පන්දහසකට ආසන්න පිරිසක් හුවමාරු වී තිබෙනවා.

එසේ හුවමාරු වූ තවත් සටහන් කිහිපයක් පහතින්. එහි දැක්වුණේ “වතුපිටිවල කොවිඩ් වාට්ටු විවෘත කිරීමේ උත්සවය ප්‍රසන්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ” යනුවෙනි

Explained (කරුණු පැහැදිලි කිරීම):

කෝවිඩ් ප්‍රතිකාර සඳහා තාවකාලික වාට්ටු සංකීර්ණ සෑදීම සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී දැක ගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිවයින පුරා තාවකාලික වාට්ටු සංකීර්ණ 13ක් ඉදිකර සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදී ඇති බවයි. මේ සම්බන්ධයෙන් පළවූ පුවත් වාර්තාවක් කොටසක් උපුටා දක්වා තිබු වීඩියෝවක් පහතින්

https://www.facebook.com/ran.rajapaksha.5/videos/295339062140773

කෙසේ වෙතත් වතුපිටිවල රෝහලේ ඉදිකර ඇති මෙම තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථානය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට අප එම රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තක මහතාගෙන් විමසීමක් කළා.  

වෛද්‍යවරයා සඳහන් කළේ, ඇඳන් 50 ක් සහිත අනෙකුත් පහසුකම්වලින් යුක්තව සාදන ලද තාවකාලික මධ්‍යස්ථානයක් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා විසින් පසුගියදා  රෝහලට බාරදුන් බවයි. 

එම අවස්ථාවේ මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා පිළිගැනීමේ උත්සයවක් පැවැත්වූවාද යන්න කළ විමසීමේදී වෛද්‍යවරා සඳහන් කළේ, එම සිදුවීම උත්සවාකාරයෙන් පැවැත්වූයේ නැති බවත් රෝහල් කාර්ය මණ්ඩලය විසින් පීත්ත පටිය කැපීමට හා පොල්තෙල් පහන දැල්වීම සහ රෝහල් කාර්ය මණ්ඩලය වෙත ප්‍රාදේශීය සහා මන්තීවරුට ආමන්ත්‍රණය කිරීම සඳහා කටයුතු පමණක් සූදානම් කර තිබු බවයි. 

අප වැඩිදුරටත් මේ පිළිබඳව විමසීම සඳහා සංචාරක අමාත්‍යාංයෙන් විමසීමක් කළා. එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ද, බැසිල් රාජපකෂ මහතාගේ සංකල්පයකට අනුව රෝහල් වල තාවකාලික මධ්‍යස්ථාන ඉදිකර ඇති බවත් මිනුවන්ගොඩ, මීරිගම සහ වතුපිටිවල රෝහල් වල තාවකාලික මධ්‍යස්ථාන සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ බවයි. 

ඒ අනුව මිනුවන්ගොඩ, මීරිගම යන රෝහල් වල තාවකාලික මධ්‍යස්ථාන නිමවා එම රෝහල්වල අධ්‍යක්ෂක වරුන්ට ලිපියකින් එහි අයිතිය භාරදුන් අතර වතුපිටිවල රෝහලටද අමාත්‍යවරයා අධීක්ෂණයට හා එම ලිපිය භාරදීමට ගිය අවස්ථාවේ කාර්ය මණ්ඩලය විසින් එම මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා පීත්ත පටියක් කැපීමට හා පොල්තෙල් පහන දැල්වීමට පමණක් කටයුතු යොදා තිබුණු බවත් එය ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොතිබුණු හෙයින් ඒ අනුව කටයතු කළ බවත් සඳහන් කළා.  එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රෝහල් කාර්ය මණ්ඩල වත්මන් කොවිඩ් තත්වය සම්බන්ධයෙන් සිදුකෙරෙන වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකල බවද පවසා සිටියා.

අමාත්‍යාංශය විසින් මෙම අවස්තාව සූදානම් නොකළ බවට අවධාරණය කළ ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මීට පෙර තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථාන භාරදුන් අවස්ථාවේද මෙවන් විවෘත කිරීම් අමාත්‍යාංශය විසින් සිදු නොකළ බවයි.

එමෙන්ම ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් නිමවූ  ප්‍රමිතියෙන් යුතු  ඇඳන් මෙන්ම පහසුකම් සහිතව මෙම තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ස්ථාපනය කර ඇති බවත් හදිසි අවස්ථාවල භාවිතා කිරීම සඳහා මෙම මධ්‍යස්ථාන ස්ථාපනය කළ බවටයි ඔවුන් අවධාරණය කළේ. එසේම මෙහි යොදාගෙන තිබෙන ඇඳවල් සාමාන්‍ය රෝහල් ඇඳන් බවත් විදුලි පංකා ඇතුළු අනෙකුත් මුලික කටයුතු ද සමග ඉදිවී ඇති මෙම අංගනය සඳහා සැලකිය යුතු මුදලක් වැය වූ බව ද පවසා සිටියා. පක්ෂයේ අරමුදල් යොදා සිදුකළ බැවින් ඒ සඳහා දායක වූ ප්‍රදේශීය මන්ත්‍රීවරුන් මේ සඳහා සහභාගී කරගත් බවත් ඊට අමතරව බාහිර පර්ශවන් මේ සඳහා සහභාගී නොවූ බවත් අවධාරණය කර සිටියා.

එම අවස්ථාවේ ඡායාරුප පෙළක් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුවේ පළවී තිබුනේ මෙලෙසින්.

https://www.facebook.com/ranatungaPR/posts/6136682433023888

Facebook | Archived

සංචාරක අමාත්‍යාංශය විසින් මීට පෙර මීරිගම සහ මිණුවන්ගොඩ තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීමට එම රෝහල් වල අධ්‍යක්ෂ වරුන්ට භාරදීමේ ලිපි භාර දුන් අයුරු දැක්වෙන පුවත් වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින්. ඡායාරුප දෙකක් පහතින්.

එම කිසිඳු අවස්තාවක ප්‍රතිකාර මධ්‍යස්ථාන උත්සවශ්‍රීයෙන් ආරම්භ කර තිබු බවක් දක්නට ලැබෙන්නේ ද නැහැ.

එමෙන්ම මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ඉහත සඳහන් සටහනට දැක්වූ ප්‍රතිචාරය පහතින්.

Archived Link

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වුණේ, පොදුජන පෙරමුණ පක්ෂ අරමුදල් යොදාගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝහල් වලට අනුබද්ධිතව, හදිසි භාවිතය සඳහා තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමට කටයුතු කර තිබු බවයි.

සංචාරක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ නිම වූ වතුපිටිවල රෝහල් හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශයට භාරදීම පිළිබඳ ලිපිය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ලබා දීමට ගිය අවස්ථාවේ වතුපිටිවල රෝහල් කාර්ය මණ්ඩලය විසින් අමාත්‍යවරයාට පීත්ත පටිය කපා පොල්තෙල් පහන දැල්වා රෝහල් කාර්ය මණ්ඩලය ඇමතීමට සූදානම් කර තිබු අවස්ථාවේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ අමාත්‍යවරයා විසින් සංවිධානය කළ කටයුත්තක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු බවයි.

රෝහල් කාර්ය මණ්ඩලය විසින් එම කටයුතු සුදානම් කල බව රෝහල් අධ්‍යක්ෂක වරයා ද තහවුරු කර සිටි අතර මීට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම සහ මිණුවන්ගොඩ තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථාන විවෘත කළ කිසිඳු අවස්ථාවක දී ද දක්නට ලැබුනේ අදාළ රෝහල්වල අධ්‍යක්ෂක වරුන්ට ලිපියකින් එහි අයිතිය භාරදුන් බව පමණි. එම කිසිඳු අවස්ථාවක උත්සවාකාරයෙන් එම කටයුත්ත සිදුවන ආකාරයක් දක්නට ලැබුනේ නැහැ.

එම අවස්ථාව සඳහා පොදුජන පෙරමුණේ ගම්පහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් ද සහභාගී වී තිබෙන අතර ඔවුන් සහ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා රෝහල් කාර්ය මණ්ඩලය ආමන්ත්‍රණය කරමින් වත්මන් කොවිඩ් මර්දන ව්‍යාපාරය පිලිබඳ දනුවන් කිරීමක් සිදුකර තිබුණා.

සැලකිය යුතු වියදමකින් නිසි ප්‍රමිතියක් යටතේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය විසින් මෙම හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇඳන් නිපදවා ඇති අතර මෙහි විදුලි පංකා, මදුරු දැල් වැනි දෑ ද සවිකර තිබෙනු ද දැකගනන්ට ලැබුණා.

මෙය Explainer වර්ගයේ කරුණු විස්තර කෙරෙන ලිපියක් පමණක් බවත් මෙම කටයුත්තට සම්බන්ධ පාර්ශවයන් දෙදෙනාම පවසා සිටින පැහැදිලි කිරීම් පමණක් යොදා ඇති බවත් සලකන්න. කෙසේවෙතත් කෙසේ වෙතත් ප්‍රසිද්ධියේ ලබා ගත හැකි තොරතුරු මත පදනම්ව මෙය නිල වශයෙන් සත්‍යාපනය කළ නොහැකි කරුණකි. මෙම ලිපිය මත පදනම්ව කිසිඳු සමාජ මාධ්‍ය සටහනක් ශ්‍රේණිගත (Rating) වී නැති බව ද කරුණාවෙන් සලකන්න.

*මෙම ලිපියේ කොටස් කිහිපයක් පසුව යාවත්කාලීන කරන ලදී.

Avatar

Title:වතුපිටිවල රෝහලේ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානය උත්සවශ්‍රීයෙන් විවෘත කරලා?

Fact Check By: Sara Gunaratne 

Result: Explainer


Leave a Reply

Your email address will not be published. Required fields are marked *