ලංකාවේ පුද්ගලයෙක් ජාත්‍යන්තරය දිනාගත් අවස්ථා සම්බන්ධයෙන් යැයි සඳහන් කෙරෙන ඕනෑම සටහනක්ම, ඡායාරූපයක්ම තහවුරු වූ තොරතුරක්ද නැද්ද යන්න නොවිමසා ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීම සුලබව දක්නට ලැබෙන කරුණක්.

ලාංකික අභ්‍යාවකාශගාමියෙකු ලෙස කල්පනා සෙව්වන්දි නම් කාන්තාවක් පිළිබඳ පළ වූ සටහනක් හේතුවෙන් ජනතාව මෙලෙම කාලයක් තිස්සේ නොමග ගොස් ඇති බවට අපට නිරීක්ෂණය වුණා. මෙහි සත්‍ය තොරතුරු සොයා අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Dilrukshi Liyanage නම් අයෙක් විසින් 🇱🇰••…නිම්තෙර…••🇱🇰 නම් ෆේස්බුක් පිටුවට මෙම ඡායාරූපය සහිත සටහන එක් කර තිබුණා.

එහි දැක්වුණේ, කල්පනා සෙව්වන්දි නම් අපේ රටේ හෙළ දියණියක් අභ්‍යවකාශයට පා තබයි යනුවෙනි. හූස්ටන් වෙත හෙළ බසින් අමතයි යනුවෙනි.

Facebook | Archived Link

මෙම සටහන මීට පෙර සිටම සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර විවිධ මුහුණුවරින් හුවමාරු වුණේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙලෙස හුවමාරු වූ ඡායාරූපයේ දැක්වෙන කල්පනා චවුලා නම් අභ්‍යාවකාශගාමී වීරවරියක් ලෙස සැලකෙන කාන්තාවයි. අභ්‍යවකාශයට ගිය පළමු ඉන්දීය සම්භවයක් සහිත කාන්තාව ලෙස සැලකෙන්නේ ද මැය උපත ලැබූවේ ඉන්දීයාවේ හරියානා හි කර්නාල් නගරයේය.

කුඩා කාලයේ දී ගුවන් යානා සහ පියාසර කරීම කෙරෙහි ඇල්මක් දැක්වූ ඇය ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ උපාධිය පන්ජාබ් ඉංජිනේරු විද්‍යාලයෙන් ලබාගෙන 1982 දී එක්සත් ජනපදයට ගොස් වැඩිදුර අධ්‍යයන කටයුතු කර අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා යොමු වෙනවා.

කල්පනා චව්ලා පිළිබඳ ලංකාවේ සිංහල බසින් පළවී තිබෙන වාර්තා කිහිපයක් පහතින්

Roar | Tharunie

2003 වර්ෂයේ දී කොලොම්බියා අභ්‍යාවකාශ ශටලය උඩුගුවනේදී අවාසනාවන්ත ලෙස විනාශ වීම නිසා ඇය ඇතුළු අභ්‍යවාකාශගාමීන් 6 දෙනෙකුගේ ජීවිතය අහිමි වුණා. ඇයගේ චරිතාපදාන දත්ත Nasa වෙබ් අඩවියේ දැක්වුණේ මෙලෙසින්.

කෙසේනමුත් මෙසේ ලොව පුරා ප්‍රචලිත කල්පනා චවුලාගේ ඡායාරූපයක් යොදාගෙන ඇය ඇමරිකාවේ සිටි මෙරට පුරවැසියෙක් බව හඟවමින් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් නිර්මාණය කර තිබුණා. ඒ සඳහා උපයෝගී කරගත් ඡායාරූප අමෙරිකාවේ පුරවැසි භාවය හිමි කල්පනා චවුලාගේ ජීවිතයේ විවිධ කාල පරිච්ඡේදවල ලබා ගත් ඡායාරූප වේ. එම ඡායාරූප මෙතනින්.

අපගේ නිරීක්ෂණයේදී තහවුරු වුණේ මෙම අසත්‍ය සටහනට පාදක වී ඇත්තේ වර්ගපූර්ණිකාව නමැති උපහාසාත්මක කෝණයෙන් පළ වන සටහන් රැගත් ෆේස්බුක් පිටුවක 2019 පළ වූ දැනටත් හුවමාරු වෙමින් පවතින සටහනක් බවයි.

එම සටහන 16 න් පහළ අන්තර්ජාල රචනා තරගය ප්‍රථම ස්ථානය දිනාගත් බවට පැවසෙන කණිශ්ක සඳරුවන් රත්නායක සිසුවා විසින් ලියූ නිර්මාණාත්මක රචනයක් මෙලෙස උපයෝගි කරගෙන මෙම ඡායාරූපයද ඊට අදාළව පළකර තිබෙනවා. දීර්ඝ විස්තරයක් සහිත එම සටහනේ අවසානයේ පහත කොටස දක්වා තිබෙනවා.

“කණිශ්ක සඳරුවන් රත්නායක

16 න් පහළ අන්තර්ජාල රචනා තරගය ප්‍රථම ස්ථානය.

(නිර්මාණාත්මක රචනයකි. සත්‍යයක් නොවේ. පින්තූරයේ ඉන්නේ ඉන්දියාවේ කල්පනා චව්ලා.)

එම සම්පුර්ණ සටහන පහතින්

නමුත් මෙම සටහන සඳහා යොදාගෙන තිබෙන ඡායරුපයේ කිසිම ස්ථානයක මෙය සත්‍යක් නොවන බවක් හෝ නිර්මාණාත්මක රචනයක් බවක් හෝ සඳහන් වන්නේ නැහැ.

තවද ඉතා දිගු විස්තර කිරීමක අවසානයේ පමණක් නිර්මාණාත්මක රචනයක් බවක් සඳහන් කර තිබෙනවා. එබැවින් සටහන් සම්පුර්ණයෙන්ම පරීක්ෂා කිරීමෙන් තොරව ඡායාරුප පමණක් දැකීම තුළින් එහි දක්වා ඇති කරුණු මත බොහෝ පිරිස් මෙම ඡායාරුපය සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු සොයා බැලීමකින් තොරව හුවමාරු කරගෙන තිබෙන බව අපට පෙනී ගියා.

කෙසේ වෙතත් කල්පනා චව්ලා පිළිබඳව වෙනත් ආකාරයකින් ද පසුගිය වසරේ ලංකාවේ කතාබහක් ඇතිවුනා. එයට හේතු වී තිබුනේ ඊට වසර 17 කට පෙර මියගිය කල්පනා චව්ලා ලංකාවේ නයිවල ඉපදී ඇති බවට පළවූ සටහන් පෙළක්. ඒ පිළිබඳ වීඩියෝවක් ද සහිත වාර්තාවක් මෙතනින්.

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ, අමෙරිකාවේ පුරවැසි භාවය හිමි ලාංකික අභ්‍යාවකාශගාමියෙකු වන කල්පනා සෙව්වන්දි යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණ ඡායාරූප සටහනේ සිටින්නේ අමෙරිකාවේ පුරවැසි භාවය හිමි ඉන්දියාවේ ඉපදුණු අභ්‍යාවකාශගාමියෙකු වන කල්පනා චව්ලා බවයි.

උපහාසාත්මක කෝණයෙන් පළ වන ෆේස්බුක් පිටුවක සටහන් වුණ නිර්මාණාත්මක රචනාවක් බව දක්වමින් පළවූ සටහනක එම කරුණ සටහනට අදාළ ඡායරුපයේ දක්වා නොතිබීම හේතුවෙන් ඇතිවූ අනවබෝධය නිසා නොමඟ යවන සුළු කරුණු ඇතුළත් ඡායාරූප සටහන පමණක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීම මීට හේතු වී තිබුණා.

Avatar

Title:කල්පනා චවුලා ලාංකික කාන්තාවක් ද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading