දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය වෙත මුදා හරින සෑම සටහන් හුවමාරු කරගැනීමට පෙර ඒවායේ නිරවද්‍යතාව සොයා බැලීමේ වැදගත්කම අප ඔබට නැවත නැවතත් මතක් කරන්නේ ඇතැම් විට ලබාදිය යුතු පණිවුඩය වලංගු වුවද ඒ සඳහා නිවැරදි දත්තයන් යොදා නොගන්නේ නම් ඒ ඔස්සේ ජනතාව නොමග යා හැකි බැවිනි. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබා ගන්නා කුඩා වයසේ සිසු සිසුවියන්ද සමාජ මාධ්‍ය පරිහරණය කරන බැවින් නිවැරදි නොවූ දත්තයන් සහිත සටහන් ඔස්සේ ඔවුන් ඇතැම්විට තොරතුරු තහවුරු කර ගැනීමට ද පෙළඹෙනවා. එවන් සටහනක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වුණා.

සමාජ මාධ්‍ය සටහන් :

චීනය කෝටි 135 ජනතාව සඳහා ඇමති මණ්ඩලය 27 ක් වශයෙනුත්, ඉන්දියාව කෝටි 120ක ජනගහණය සඳහා ඇමති මණ්ඩලය 22කුත්, රුසියාවේ කෝටි 14 ක ජනගහණය සඳහා ඇමති මණ්ඩලය 17කුත්, අමෙරිකාවේ ජනගහණය කෝටි 22 කට ඇමති මණ්ඩලය 24කුත්, ජපානයේ කෝටි 12 ක ජනගහණය සඳහා ඇමති මණ්ඩල 19කුත් වශයෙන් බවත් ඒවා දියුණු රටවල් බවත් සටහනේ දක්වා තිබුණා.

එම රටවල් සමඟ ශ්‍රී ලංකාව සංසන්දනය කරමින් එම සටහනේ දක්වා තිබුනේ ශ්‍රී ලංකාවේ ජනගහණය මෙරට කෝටි 2 ක් පමණ වන ජනගහනයට ඇමති මණ්ඩල 151 යනුවෙන් බවයි.

Facebook | Archived Link

2020 වසරේ පළවී තිබු ඉහත සටහන මේ වන විට විසි දහසකටත් අධික පිරිසක් අතර හුවමාරු වී තිබෙනු දැක ගන්නට ලැබෙනවා.

මෙම සටහන පසුගිය වර්ෂයේදී පළකර තිබු තිබුණු අතර මේ දිනවලද මෙම සටහන නැවත හුවමාරු වූ අවස්ථාවක් මෙලෙසින්. සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් හවුමාරු වූයේ මෙලෙසින්.

ලංකාවේ අමාත්‍ය මණ්ඩලය මේ තරම් සංඛ්‍යාවක් නොවන බව බොහෝ දෙනා දන්නා කරුණක් වුව ද රටේ ජනගණනයට සාපේක්ෂව අමාත්‍ය මණ්ඩලය වැඩි අගයක් ගන්නා බව බොහෝ අවස්ථාවල දී මතුවන කරුණක්. එය ඉස්මතු කිරීමට මෙම සටහන් නිර්මාණය විය හැකි වුව ද මේ සඳහා යොදාගෙන තිබෙන අනෙකුත් දත්ත පිළිබඳව ද අප විමර්ශනය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ඉහත සටහනේ දක්වා ඇති දත්තයන් සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී තහවුරු වූයේ මෙහි දක්වා තිබු ඇතැම් දත්තයන් නිවැරදි නොවන බවයි.

චීනයේ 2020 ජනගහනය කෝටි 144ක් පමණ වන බව Worldometers වෙබ් අඩවියේ දක්වා තිබුනේ මෙලෙසින්. චීනයේ වත්මන් අමාත්‍යවරුන් සංඛ්‍යාව චීන රජයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ 26ක් වශයෙන් මෙලෙසිනි. (මේ සඳහා මහජන චීන බැංකුවේ ආණ්ඩුකාරවරයා ද ජාතික විගණන කාර්යාලයේ විගණකාධිපති ද ඇතුළත් කර තිබේ) කෙසේ නමුත් චීනයේ ප්‍රධාන පරිපාලන අධිකාරිය වන රාජ්‍ය සභාවේ එම අමාත්‍යවරුන් ට අමතරව රාජ්‍ය උපදේශකයින් 10 දෙනෙක් සහ මහලේකම් වරයෙක් ද කටයුතු කරනවා.

එමෙන්ම ඉන්දියානු අමාත්‍ය මණ්ඩලය අග්‍රාමත්‍යවරා ඇතුළු කැබිනට් ඇමතිවරුන් 22 ක්ද, (සමාජ මාධ්‍ය සටහන් වල දක්වා ඇති අගය) ස්වාධීන රාජ්‍ය අමාත්‍යවරුන් 9ක් ද අනෙක් රාජ්‍ය අමාත්‍යවරුන්වෙන් 29 දෙනෙකුක් ගෙන් සමන්විත වනවා. ඒ සම්බන්ධයෙන් ඉන්දියානූ නිල රාජ්‍ය වේබ් අඩවියෙන් දැක්වුණේ මෙලෙසිනි. එසේම 2020 වර්ෂයේ ඉන්දියාවේ සමස්ථ ජනගහණය කොටි 138 ක් බවට Worldometers වෙබ් අඩවියේ දක්වා තිබුණේ මෙලෙසින්.

රුසියානු රාජ්‍යයේ අගමැති ප්‍රමුඛ නියෝජ්‍ය අගමැති වරුන් 10 දෙනෙක්ගෙන්ද, ෆෙඩරල් අමාත්‍යවරුන් 21 දෙනෙකුගෙන්ද අමාත්‍ය මණ්ඩලය සමන්විත වනවා ඒ අනුව එහි මුළු ආමාත්‍යවරුන් ගණන 32 කි. රුසියානූ නිල වෙබ් අඩවියේ ඒ සම්බන්ධයෙන් පළ වූයේ මෙලෙසිනි. 2019 එහි ජනගහණය මිලියන 145කි. (කොටි 14.5 ක් පමණ)

අමෙරිකානු එක්සත් ජනපදයේ අමාත්‍යවරුන් වෙනුවට කැබිනට් ලේකම්වරුන් කටයුතු කරන අතර ජනතා ඡන්දයෙන් ස්වාධීනව පත්වන ජනාධිපතිවරයා , සෙනට් සභාවේ ද අනුමැතිය මත මොවුන් පත්කරගනු ලබයි. ඒ අනුව ඇමරිකාවේ මේ වන විට, ජෝ බයිඩන් ජනපති යටතේ කටයුතු කරනා කැබිනට් ලේකම් වරුන් ගණන වන්නේ 24 කි. අමෙරිකාවේ ධවල මන්දිරියේ නිල වෙබ් අඩවියේ සඳහන් වාර්තාව මෙතනින්. ඇමරිකාවේ 2020 වර්ෂයේ ජනගහණය දැක්වූණේ මිලියන 331 ක් ලෙසයි. (කොටි 33 පමණ) කැබිනට් ලේකම්වරුන් ගණන සහ ඉහත සටහනේ දැක්වෙන පරිදි අමෙරිකාවේ ඇමතිවරුන් ගණන සංඛ්‍යාව සමානය.

ජපානයේද, අගමැති ඇතුළුව අමාත්‍යවරුන් 12 දෙනෙකුත්, රාජ්‍ය අමාත්‍යවරුන් 3 දෙනෙක් හා පාර්ලිමේන්තු නියෝජ්‍ය අමාත්‍යවරුන් 3 දෙනෙක් ගෙන් සැදුම් ලත් අමාත්‍ය මණ්ඩලයේ සම්පූර්ණ ගණන 18 කි. එරට නිල වෙබ් අඩවියේ දක්වා තිබුණේ මේ අයුරිනි. එමෙන්ම එම රටෙහි ජනගහණය මිලියන 126 ක් (කොටි 12.6ක්) ලෙස 2020 වර්ෂයේදී දැක්වුණේ මෙලෙසින්.

ඉහත දත්තයන් පරීක්ෂා කිරීමේ දී බොහෝ අවස්ථාවල දී කැබිනට් අමාත්‍ය මණ්ඩලය ගණනය කිරීම් සඳහා යොදාගෙන තිබෙන බව පෙනී යනවා.

ශ්‍රී ලංකාවේ මිලියන 21 ක පමණ (කොටි 2) ජනගහණයක් 2020 දී වාර්තා වී තිබු අතර කැබිනට් අමාත්‍යවරුන් 26 දෙනෙක් ගෙන් සමන්විතය. (මහින්ද රාජපක්ෂ අගමැති තුමා විසින් කැබිනට් අමාත්‍යංශ 3ක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බැවිනි. කැබිනට් අමාත්‍යංශ 28ක් තිබේ) මීට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකුද කටයුතු කරයි.

ඉහත සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබු රටවල් සමඟ සංසන්දනය කරන්නේ නම් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානී වන ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අමාත්‍යවරුන් 26 දෙනෙකු ගෙන් සමන්විතය.

කෙසේ වුවද රාජ්‍ය අමාත්‍යවරුන් ස සහිතව වුව ද ලංකාවේ අමාත්‍යවරු සංඛ්‍යාව වන 66 (40+26) ඉහත සමාජ මාධ්‍ය සටහනේ දක්වා තිබෙන අගය වන 151 කට වඩා ඉතා අඩු සංඛ්‍යාවකි.

සැ.යු : අප ඉහත සටහනේ දක්වා ඇති ජනගහන සහ අමාත්‍ය මණ්ඩල දත්තයන්වල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් පමණක් කරුණු විමර්ශනය කර තිබේ.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනය අනුව පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල අමාත්‍ය මණ්ඩලය ලෙස බොහෝ විට දක්වා තිබුනේ කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව බවයි.

ඒ අනුව සංසන්දනය සඳහා යොදාගත යුතුව තිබූ ලංකාවේ අගය විය යුත්තේ කැබිනට් අමාත්‍යංශ 28ක, අගමැති ද ඇතුළුව කටයුතු කරන අමාත්‍යවරු 26 දෙනෙකුගේ අගයයි. රාජ්‍ය අමාත්‍යවරුන් 40 ද සහිතව ද වුව ද ලංකාවේ අමාත්‍යවරුන් ගේ සංඛ්‍යාව වුව ද 151 කට වඩා ඉතා අඩු අගයකි.

Avatar

Title:ලංකාවේ අමාත්‍ය මණ්ඩලය ඉස්මතු කරමින් පළවූ ව්‍යාජ සටහනක්

Fact Check By: Pavithra Sandamali

Result: Misleading