කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමුණු ඔලිම්පික් තරඟාවලියට ඇත්තේ තවත් මසකටත් අඩු කාලයක්. ජුලි මස 23 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා තෙක් ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය පැවැත්වීමට කටයුතු සුදානම් වෙමින් පවතිනවා. මෙවර ඔලිම්පික් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ද මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.

එවන් පසුබිමක ලංකාවේ කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ ලේ උරුමයක් සහිත මේධානි ජයමාන්න, මෙවර ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකා කාන්තා සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වන බවට සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. ඒ පිළිබඳව අපගේ විමර්ෂණය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

“කොළඹ ලුම්බිණි විදුහලේ ඉගෙනුම ලබන මේධානි ජයමාන්න මෙවර ඔලිම්පික් තරගාවලියේ කාන්තා මීටර් 100 සහය දිවීමේ ශ්‍රී ලාංකික කණ්ඩායම නියෝජනය කරනු ලබයි. සුසන්තිකා ජයසිංහ යනු ඇයගේ පුංචි අම්මා වේ. සුසන්තිකා මෙන් අපේ රටේ නාමය ලෝකයේ බබළවන්න ඇයට ශක්තිය ධෛර්ය ලැබේවා” යන විස්තරය සමඟ පළවූ සටහනක් මෙලෙසින්.

Facebook | Archived

මේ අදහසම ලැබෙන ආකාරයේ සටහන් රැසක් ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවාමාරු වී තිබු අයුරු පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ශ්‍රී ලංකාව ඔලිම්පික් ඉතිහාසයේ රිදී පදක්කම් දෙකක් දිනා ගෙන තිබෙනවා. ඒ 1948 වසරේ දී ඩන්කන් වයිට් විසින් සහ 2000 වසරේ සුසන්තිකා ජයසිංහ විසින්.

අප මුලින්ම මේධානි ජයමාන්න පිළිබඳ තොරතුරු සොයා බැලුවා. මේධානි පිළිබඳ පළවූ පුවත් වාර්තාවක් මෙතනින්.

ඇයගේ පුංචි අම්මා වන ඔලිම්පික් ශූරි සුසන්තිකා ජයසිංහ මහත්මියගේ අඩි පාරේ යමින් තවමත් උසස් පෙළ සිසුවියක් වන මේධානි, මේ දිනවල ඉන්දියාවේ පටියාල හි දී පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගී වන බව එහි දක්වා තිබුණා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ මේධානි ඇතුළු කණ්ඩායම මීටර් 100×4 සහය දිවීම කාන්තා ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා. මූලික තරඟයේ දී ඉන්දියානු කාන්තා සහය දිවීමේ කණ්ඩායම පහසු ජයක් ලබාගත්තේ ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්කරමින්.

ජුනි මස 29 වැනිදා පැවැත්වීමට නියමිත මෙම කාන්තා 100 X 4 අවසන් සහාය දිවීමේ තරඟයෙන් යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගතහොත් ඔලිම්පික් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබාගත හැකි වේ දැයි අප ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සමන් ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියා.

එහිදී ඒ මහතා පැහැදිලි කර සිටියේ ඉන්දියාවේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා සහය දිවීමේ කණ්ඩායමට ආරාධනයක් ලැබුණු බවත් ගුවන් ටිකට් පත් ඇතුළු සියලු වියදම් සඳහා අනුග්‍රාහකත්වයක් ලැබුණු බවයි. පළමු තේරීම් තරඟයේ ප්‍රතිඵලයේ දැක ගත හැකි වූ පරිදි ඉන්දියාව මේ වන විට ලංකාවට බොහෝ ඉදිරියෙන් සිටින බව පැවසු ඒ මහතා යම් හෙයකින් හෝ ඉන්දියාව පරදවා ලංකා කණ්ඩායම අවසන් තරඟයේ ජය ගත්ත ද ඔවුන් ට ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් නොලැබෙන්නේ ඔවුන්ගේ තරඟ කාලය, ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් 16ට බොහෝ පිටුපසින් සිටින බැවිනි.

ඉන්දියානු කණ්ඩායම ද මේ මුල් 16 දෙනා අතරට තේරීමට මෙහිදී උත්සාහයක් ගනිමින් සිටිය ද එය ද නිශ්චිත වශයෙන් ම සිදුවේ දැයි කිව නොහැකි බවද පැහැදිලි කර සිටියා. එයට හේතුව මෙහි ඉන්දියාව දැනට තරඟ කාලය අනුව 22 වන ස්ථානයේ පසුවන බැවින්. ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන් පටියාලාහි දැක්වූ තරඟ දක්ෂතාව මත සිටින්නේ බොහෝ පසුපසින්.

සමන් කුමාර ගුණවර්ධන මහතා තවදුරටත් පවසා සිටියේ මේධානි ජයමාන්න දැනට කනිෂ්ඨ මට්ටමේ ශ්‍රී ලංකාවේ හොඳම මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක් වන අතර ඉන්දියාවේ පටියාල හි දී පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 200 තරඟයට ද සහභාගී වන අතර හොඳ දක්ෂතාවයක් දැක්වුවහොත් ඒ හරහා ඇයට කෙන්යාවෙන් පැවැත්වීමට නියමිත 2021 World Athletics U20 Championships සඳහා අවස්ථාවක් ලබාගැනීමේ හැකියාවක් ලැබෙනු ඇති බවත්ය.

මෙවර ඔලිම්පික් තරඟාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම ට මේ වන තෙක් සහතික වශයෙන් කිසිඳු මලල ක්‍රීඩක හෝ ක්‍රීඩිකාවක් තේරී පත් වේ දැයි විමසමින් පළවූ පුවත් වාර්තාවක් මෙතනින්. තවත් වාර්තාවක් මෙතනින්

කෙසේවෙතත් යුපුන් අබේසිංහ මීටර් 100 සඳහා ද තවත් ක්‍රීඩිකාවක් හෝ ඔලිම්පික් සඳහා අවස්ථාවක් ලැබේ යැයි බලාපොරොත්තු විය හැකි බව ද මේ තොරතුරු ජුලි මස මුල නිශ්චිත වශයෙන්ම ලබාදිය හැකි බව ද ඔහු පවසා සිටියා.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ සුසන්තිකාගේ ලේ උරුමයක් ඇති මේධානි ජයමාන්න මෙවර ඔලිම්පික් කාන්තා 100 X 4 සහය දිවීමේ තරඟය සඳහා සුදුසුකම් ලබා ඇති බවට පළවන්නේ නොමඟ යවන සුළු අසත්‍ය පුවතක් බවයි.

ඔලිම්පික් කාන්තා 100 X 4 සහය දිවීමේ තරඟය සඳහා සුදුසුකම් ලබන්නේ ලොව හොඳම කණ්ඩායම් 16 පමණක් වන අතර ලංකාවේ තරඟ කාලය තිබෙන්නේ එම මුල් 16 දෙනාට බොහෝ පිටුපසින්.

ඉන්දියාවේ මේ දිනවල පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරඟාවලියේ ලංකාවට බොහෝ ඉදිරියෙන් ජයගත් ඉන්දියානු කණ්ඩායම ද මෙතෙක් ඔලිම්පික් 100 X 4 කාන්තා සහය දිවීමේ තරඟය සඳහා නිශ්චිත වශයෙන් සුදුසුකම් ලබාගෙන නැත.

Avatar

Title:සුසන්තිකාගේ ලේ උරුමයෙන් මෙවර ඔලිම්පික් සඳහා යන මේධානි?

Fact Check By: Sahan Perera

Result: Misleading