නොයෙකුත් රෝගී අවස්ථා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් ආධාර එකතු කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල සැක නොසිතෙන තරම් විස්තර දක්වමින්, පිළිගත හැකි ඡායාරූපද දක්වමින් ජනතාව රවටා මූල්‍ය වංචා සිදු කරන අයුරුද බහුලව දක්නට ලැබෙනවා.

හිමිනමකගේ වකුගඩු දෙකෙහි ගල් 6ක් ඇති බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාද දක්වමින්, ආධාර ලබා දීමට බැංකු ගිණුමක තොරතුරුද ලබා දෙමින් සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

👉#මගෙ_අම්මා__තාත්තා__දෙන්නම_නැහැ.

share කරන්න කාරැණික වන්න.

මගෙ වකුගඩු දෙකේම ගල් 6 k තියනවා ඒවා අයින් කරන්න ඔපරේෂන් දෙකක් කරන්න ඕන.

සම්පූර්ණ වියදම ලක්ෂ 3.50 / 4 k අවශ්‍ය වෙනවා.

#ඔබට__පුළුවන්___කමක්__තියෙනවාද_මාව_ජීවත් කරවන්න ..

ලිපිනය

පූජ්‍ය w. ධම්මා නන්ද හිමි

අනන්දාරමය.

ඇස්වත්ත්ත උතුර

අවිස්සාවේල්ල ..

ලංකා බැංකුව අවිස්සාවේල්ල ශාඛාව

ගිණුම් අංකය ....10700

දුරකථන අංක.

07133 92 565. 0717 45 45 33.76607902

තෙරුවන් සරණයි හැමෝටම ...!

යනුවෙන් සඳහන් ෆේස්බුක් සටහනක් Surangi Athukorala නමැත්තියක් විසින් සිය ෆේස්බුක් ගිණුමට 2018 වර්ෂයේදී එක් කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

2018 වර්ෂයේ සිට මේ වන විටත් එම සටහන නැවත හුවමාරු වෙමින් පවතිනවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මෙම සටහන 2018 වර්ෂයේ සිදු වූ සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින් උපකාර ලබා ගැනීමට නිර්මාණය කළ සටහනක් ද, නැතහොත් හුදෙක් මුදල් වංචා කිරීමට සෑදූ ව්‍යාජ සටහනක් ද යන්න අප නිරීක්ෂණයට ලක් කිරීමට හේතු වූයේ මෙම සටහන නැවතත් මේ දිනවලත් හුවමාරු වන නිසාවෙනි.

මෙම සටහන සඳහා දක්වා තිබූ ඇතැම් ප්‍රතිචාර වලින් දැක්වුණේ, ඇතැම් පිරිස් මේ සඳහා උදව් උපකාර ලබා ගැනීමට ඉදිරිපත් වී ඇති බවයි.

එමෙන්ම ඇතැම් ප්‍රතිචාර වලින් සඳහන් කර තිබුණේ මෙම සටහන අසත්‍ය බවයි.

අප මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ආරම්භ කළ අතර අප ප්‍රථමයෙන්ම මෙම සටහනේ දක්වා ඇති දුරකතන අංක වෙතට ඇමතුමක් ලබා ගත්තා.

එහිදී හාමුදුරු නමක් පිළිතුරු දුන් අතර වල්පොළ ධම්මානන්ද හිමි ලෙස හඳුන්වා දෙමින් ඉහත ෆේස්බුක් සටහනේ දැක්වෙන්නේ තමන් සම්බන්ධයෙන් බවයි උන්වහන්සේ සඳහන් කළේ. මෙය 2018 වර්ෂයේ සිදුවීමක් බවයි හිමිනම සඳහන් කළේ.

එමෙන්ම උන්වහන්සේගේ 2018 වසරේ තමා රෝගීව සිටි අවධියේ දී එම සටහෙන් දක්වා ඇති ලිපිනය සහිත විහාරයේ වැඩ සිටියද දැනට සිටින්නේ සමස්ථ ලංකා සංස්කෘතික සහයෝගිතා පදනමේ ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජ්‍ය වල්පොල සද්ධානන්ද හිමියන් සමඟ කොටිකාවත්තේ බව ද පවසා සිටියා.

එහිදී පූජ්‍ය වල්පොල සද්ධානන්ද හිමියන් දුරකතන ඇමතුමට සම්බන්ධ වී පැවසුවේ, එම ෆේස්බුක් සටහනේ දැක්වෙන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

2018 වර්ෂයේදී තමන්ගේ ගෝලයෙකු වන වල්පොළ ධම්මානන්ද හිමියන්ට වකුගඩුව ආශ්‍රිත අසනීප තත්ත්වයක් තිබූ නමුත් වකුගඩුවේ ගල් 6ක් තිබූ බවට පැවසෙන්නේ අසත්‍ය බවත් එම හිමි නමගේ දෙමාපියන් ජීවතුන් අතර සිටින බව ද පැවසුවා. ඒ දිනවලම, බොහෝ දුරට තමාගේ වියදමින් එම හිමිනම සුව කර ගෙන ඇති අතර මේ වන විට ධම්මානන්ද හිමියන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවටද අවධාරණය කළා.

තවද 2018 වර්ෂයේදී තමාගේ හිතවතෙක්, ගෝල හිමිනමගේ අසනීප තත්ත්වය සඳහා උපකාර කරන බවට පවසමින් මෙම සටහන් මුල් වරට පළකරතිබුණ ද එම පුද්ගලයාගෙන් කිසිඳු උපකාරයක් නොලැබුණු බවත් වල්පොල සද්ධානන්ද හිමියන් පවසා සිටියා.

පසුව වැරදි විස්තර සමඟ වල්පොළ ධම්මානන්ද හිමියන්ගේ ඡායාරුපය ද අවභාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ කිහිපදෙනෙක්ම එම සටහන් හුවමාරු කරගෙන තිබූ බවත් එම ව්‍යාජ සටහන් හේතුවෙන් ජනතාවගේ මුලා වී ඇති බවත් එම සටහනේ දැක්වෙන ගිණුම් තමන්ට අයත් නොවන බවත් උන්වහන්සේ පවසා සිටියා.

මෙසේ විශාල පිරිසක් අතර හුවමාරු වන සටහන් හේතුවෙන් බොහෝ පිරිස් දුරකථනයෙන් සම්බන්ධ වී ආධාර ලබාදීමට ද ඉදිරිපත් වී තිබෙන බවත් මේ හේතුවෙන් ම කිහිප වරක් ම මෙය ව්‍යාජ සටහනක් බවට වල්පොල සද්ධානන්ද ප්‍රතිචාර දැක්වූ බවත් පවසා සිටියා. එය අපට ඉහත ප්‍රතිචාර තුළින් ද දැක ගන්නට ලැබුණා.

මෙම ව්‍යාජ සටහන් පළකර ඇති පුද්ගලයාවද සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් එම උත්සාහ ව්‍යර්ථ වූ බව ද උන්වහන්සේ සඳහන් කර සිටියා. එමෙන්ම මෙම ව්‍යාජ පුවතට නොරැවටෙන ලෙසත් උන්වහන්සේ ඉල්ලීමක් කළා.

තව ද අප ඉහත සටහනේ දක්වා තිබු අවිස්සාවේල්ල , ඇස්වත්ත ප්‍රදේශයේ පිහිටි ධම්මාරාම පන්සල ආසන්නයේ ජීවත් වන පුද්ගලයෙකු ද සම්බන්ධ කරගත්තා. ඔහු ද පවසා සිටියේ ධම්මානන්ද හිමියන් දැනට එම පන්සලේ නැති අතර මෙම ව්‍යාජ සටහන් හේතුවෙන් එම පන්සල ද අපකීර්තියට පත් වී ඇති බවයි.

එම සටහනේ දක්වා ඇති ගිණුම් අංකය කවර පුද්ගලයකුට අයත් වේ දැයි යන්න අපට ස්වාධීනව සත්‍යාපනය කළ හැකි කරුණක් නොවන අතර මේ සම්බන්ධයෙන් එහි දක්වා තිබෙන ලංකා බැංකු අවිස්සාවේල්ලේ ශාඛාවෙන් ද විමසා පිළිතුරක් ලැබුණහොත් යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

Conclusion (අවසාන නිගමනය):

ඒ අනුව අපේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ ඉහත සඳහන් මුදල් පරිත්‍යාග ඉල්ලීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ සටහන ව්‍යාජ තොරතුරු යොදා ගනිමින් වල්පොළ ධම්මානන්ද හිමියන්ගේ ඡායාරුපය ද අවභාවිතා කරමින් පළවූ සටහනක් බවයි. උන්වහන්සේ ගේ සැත්කමක් 2018 වසරේ ම සිදුවූ අතර මේ වන විට තමන් නිරෝගී සුවයෙන් සිටින බවත් උන්වහන්සේ තහවුරු කර සිටිනවා

සමාජ මාධ්‍ය සටහන් ඉවත්කරගන්නා ලෙස වල්පොළ සද්ධානන් ද හිමියන් කිහිප වතාවක දීම ප්‍රතිචාර දක්වා තිබුණ ද වසර තුනක් තිස්සේ මේ වන විට ඉතා විශාල පිරිසක් අතර එම සටහන හුවමාරු වී තිබුණා. මෙය සත්‍ය අවශ්‍යතාවයක් ලෙස සලකා ආධාර සැපයීමට පෙළඹුණු බොහෝ පිරිස් ද මේ හරහා නොමඟ ගොස් තිබුණා.

Also Read:

FACT CHECK: 2018 වසරේ සැත්කමක් සඳහා ආධාර ඉල්ලමින් පළවූ සටහනක්, නැවතත් මේ දිනවල හුවමාරු වූ අවස්ථාවක්!

Avatar

Title:හිමි නමකගේ සැත්කමකට යැයි පවසමින් ලක්ෂ 4 ක මුදල් ආධාර ඉල්ලූ ව්‍යාජ සටහනක්

Fact Check By: Sara Gunaratne

Result: Misleading