Update : අප පහත ලිපියේ සඳහන් කර තිබු පරිදි 2021 ජුලි මස මුල් සති දෙකෙහි එන්නත්කරණ වැඩපිළිවෙල සීග්‍රයෙන් සිදුවූ අතර ජුලි මස 15 වැනිදා සවස කොවිඩ්- 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය පිලිබඳ පළකර තිබු වාර්තාව අනුව ලංකාවේ එක් එන්නතක් පමණක් හෝ ලබාගෙන තිබු පිරිස මිලියන 5 සීමාව පසුකර තිබුණි. ජුලි මස 15 වැනිදා වන විට සයිනොෆාම් එන්නතේ පමණක් පළමු එන්නත් මිලියන 4 කට වඩා ලබා දී තිබු අතර එක් එන්නතක් පමණක් හෝ ලබාගෙන තිබු පිරිස 5,175,605ක් (ලක්ෂ 51ක්) විය. එම වාර්තාව මෙතනින්

ශ්‍රී ලංකාව තුල මේ වන විට ඉතා කඩිනමින් එන්නත්කරණ වැඩපිළිවෙළ ප්‍රදේශ කිහිපයකම සිදුවෙමින් පවතිනවා. මේ අතරින් සයිනෝෆාම් එන්නත් බොහෝ දෙනෙක්ට ලබා දී ඇති අතර ඊට අමතරව ෆයිසර්, ස්පුට්නික් වැනි එන්නත් තොග ද මේ වන විට මෙරටට ලැබී ඇති අතර මේ මාසය තුළ ඇස්ට්‍රාසෙනෙකා එනනත් ද ඉදිරියේ දී ලැබීමට නියමිත බව වාර්තා වී තිබුණා.

එසේම සැප්තැම්බර් මස අවසන් වන විට මෙරට ජනගහණයෙන් මිලියන 13කට එන්නත් ලබාදීමට බලාපොරොත්තු වෙන බවත් ජනපති පසුගිය දා ජාතිය අමතා කළ ප්‍රකාශයේ දී පවාසා සිටියා.

මෙවන් පසුබිමක මෙරට කොවිඩ් එන්නත් මේ වන විට ලබාදුන් පිරිස ලක්ෂ 50 ඉක්මවූ බවට පළවූ සටහන් පිළිබඳ අප සිදුකළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

“මෙරට කොවිඩ් එන්නත ලබා දුන් පිරිස ලක්ෂ 50 ඉක්මවයි” යන තේමාවෙන් Dhananjaya Dassanayake නම් පුද්ගලයෙකු ෆේස්බුක් වෙත එක් කරන ලද ඡායාරුප සටහනක් පහතින්.

Facebook | Archived

උද්ඝෝෂණ වර්ජන වගේම දහසකුත් එකක් බාධක ජනගනිමින් එන්නත්කරණයේ දකුණු ආසියාවේ මෙන්ම ලෝකයේම පෙරමුණට ශ්‍රී ලංකාව එන බව එම සටහනේ වැඩි දුරටත් සඳහන් වෙනවා.

විවිධ මුහුණුවරකින් එම සටහන් හුවමාරු වී තිබූ අවස්ථා කිහිපයක් පහතින්.

කෙසේනමුත් එම සටහන් සමඟ පළකර තිබූ දත්ත ඇතුළත් වගුවේ ලංකාව සම්බන්ධයෙන් පළවී තිබුනේ සම්පුර්ණ එන්නත් ලබාදී තිබු ප්‍රමාණය(doses given) මිලියන 5.1 බවත් එන්නත් දෙකම ලබාදී තිබු (fully vaccinated) ප්‍රමාණය මිලියන1.38ක් බවත්ය. එසේම එම මුළු ප්‍රතිශතය ජනගහනය අනුව 6.3%ක් බවත් දක්වා තිබුණා. එම දත්ත වල එක් එන්නතක් හෝ ලබාගත් පිරිස පිලිබඳ සඳහනක් දැක්වෙන්නේ නැහැ.

Also Read: FACT CHECK: දකුණු ආසියාතික රටවල් අතරින් ලංකාවේ එන්නත්කරණ ප්‍රතිශතය ඉදිරියෙන්ම?

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

එන්නත් කිහිපයක හැර දැනට නිර්දේශිත එන්නත් බොහොමයක එන්නත්කරණය සම්පුර්ණ වීමට එන්නත් මාත්‍රා දෙකක් ලබා දිය යුතු වෙනවා. ලංකාවේ ක්‍රියාත්මක වන ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික් V සහ ෆයිසර් යනාදී සෑම එන්නතක් සඳහා ම මාත්‍රා දෙකක් ලබා දිය යුතු බව දැනට සැලකෙනවා.

ඉහත සටහනේ දක්වා තිබුණේ Google හරහා එන්නත්කරණය සම්බන්ධයෙන් ලබාදෙන දත්තයන් ස්වරූපයක්. ඒ හේතුවෙන් අද (ජුලි 13) වන විට එහි දත්තන් නිරීක්ෂණය කිරීමට අප කටයුතු කළා. මේ අනුව එහි දක්වා තිබූ ශ්‍රී ලංකාවේ එන්නත්කරණය පිළිබඳ Google සංඛ්‍යාලේඛන පහත පරිදි අප පරීක්ෂා කර සිටියා.

Google News (අනෙකුත් දකුණු ආසියාතික රටවල් පිළිබඳ ප්‍රකාශයක් සිදුකර තිබුනේ නැති බවින් අප එම දත්ත පරීක්ෂාවට ලක් කරේ නැත.)

මේ අනුව එහි නවතම දත්තයන් පරීක්ෂා කිරීමේ දී පවා දැක්වෙන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබා දුන් ප්‍රමාණය (fully vaccinated) මිලියන 1.42ක් පමණක් බවයි. මුළු එන්නත් සංඛ්‍යාව ලෙස දැක්වුණේ එන්නත් මිලියන 5.3 ක් ලෙසයි. මේ අනුව එන්නත් එක් මාත්‍රාවක් හෝ පමණක් ලබාගත් සංඛාව වන්නේ මිලියන 3.89ක් පමණක් බව පෙනී යනවා. (5.3 -1.38) එයට හේතුව එන්නත් දෙකම ලබාගත් පිරිස සම්පුර්ණ මාත්‍රා ගණන තුළ දෙවරක් ගණනය වී තිබෙන බැවිනි

මේ අනුව එන්නත් එකක් හෝ ලබාදුන් පිරිස වුව ද මේ දක්වා මිලියන 5ක් ඉක්මවා නැති බව සටහන සකස් කිරීමට යොදා ගෙන තිබු Google දත්ත පරීක්ෂා කිරීමේ දී පෙනී යනවා.

ලෝ ප්‍රකට රොයිටර් පුවත් සේවය පවත්වා ගෙන යන වෙබ් අඩවිය විසින් සඳහන් කර ඇති පරිදි මේ වන විට (ජුලි 13) මෙරට පුද්ගලයන් සඳහා එන්නත් මාත්‍රා 5,319,423 ක් ලබා දී ඇති බව දක්වා ඇති අතර එම ප්‍රමාණය එන්නත් මාත්‍රා මිස පුද්ගල ප්‍රමාණයන් බවට දක්වා නෑ.

Reuters.com | Archived

කෙසේවෙතත් ඉහත වාර්තා වල නවතම දත්ත යාවත්කාලීන නොමැති වී මේ ඉඩකඩක් පවතින බැවින් අප 2021-07-12 වන දින වන විට කොවිඩ් 19 එන්නත් කරනයේ තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දී තිබූ කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය දැක්වෙන නිවේදනය පරීක්ෂා කළා. එම නිවේදනය පහතින්.

C:-Users-Asus-Downloads-pdftoimage-2021. 07. 12 COVID Immunization - Progress-2021. 07. 12 COVID Immunization - Progress-1.jpg

DGI - FB

එම තොරතුරු පරීක්ෂා කිරීමේ දී ලබා දී තිබූ සමස්ත එන්නත් ප්‍රමාණය මිලියන 5.72ක් පමණ වන බව පෙනී යනවා. මෙහි දෙවන මාත්‍රා ලබාගත් පිරිස ද ඇතුළත්.

එම දත්ත අනුව එන්නත් දෙකම ලබාගත් (fully vaccinated) පිරිස වන්නේ මිලියන 1.5ක් පමණයි. එක් එන්නතක් පමණක් ලබාගත් පිරිස වන්නේ මිලියන 4.2ක්. (5.7 - 1.5) එයට හේතුව එන්නත් දෙකම ලබාගත් පිරිස සම්පුර්ණ මාත්‍රා ගණන තුළ දෙවරක් ගණනය වී තිබෙන බැවිනි. එනම් ලංකාවේ දැනට එක් එන්නතක් හෝ ලබාගෙන තිබෙන මිලියන 4.2 ක පිරිසගෙන් මිලියන 1.5 කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබෙනවා

ඉහත අගයන් දෙකෙහි එකතුව මිලියන 5 ඉක්මවන (5.7 mil) අතර එම අගය (Total doses) යනුවනේ Google හරහා ලබාදී තිබු දත්ත වල ද දැක්වෙනවා. එම සම්පුර්ණ මාත්‍රා ගණන (Total doses), එන්නත් කළ පිරිස (Personnel Vaccinated with at least single dose) යනුවෙන් දැක්වීම හේතුවෙන් ඉහත වැරදි වැටහීම සිදුවී ඇති බව පෙනී යනවා. (*චීන ජාතිකයින් කිහිප දෙනෙකුට ලබාදී තිබූ සයිනොෆාම් එන්නත් අගයන් ඉහත ගණනය කිරීමේ දී නොසලකා හරින ලදි)

2021 ජූලි මස 10 වනදා වන විට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් පිරිස මිලියන 3.7 ඉක්මවා ඇති බව අද දෙරණ පුවත් වාර්තාවකින් දක්වා තිබුනේ මෙලෙසින්.

AdaDearana | Archived

කෙසේ නමුත් මෙරට එන්නත් කරන වැඩ පිළිවෙළ වේගයෙන් සිදුවන බව දිනමිණ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබුනා. 2021/07/12 වැනි දිනයේදී පමණක් කොවිඩ් එන්නත් දෙලක්ෂ තිස් දෙදහස් පන්සිය විසි හයක් ලබා දී ඇති බව ද එහි සඳහන්. ඉහත සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත පරීක්ෂා කිරීමේ දී ද පසුගිය සතියක පමණ කාලයක් තුළ වැඩි වේගයකින් එන්නත්කරණ සිදුවී තිබෙන බව පෙනී යනවා

මේ අනුව එවැනි වේගයකින් එන්නත් ලබාදීම දිගටම සිදුවුවහොත් දින කිහිපයක දී එක් එන්නතක් පමණක් හෝ ලබාගත් පිරිස මිලියන 5 (ලක්ෂ 50) සීමාව ඉක්මවනු ඇත. එම අවස්ථාවේ දී මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු. කෙසේනමුත් එන්නත් දෙකම ලබාගත් (fully vaccinated) පිරිස මේ දක්වා ද මිලියන 1.5ක් පමණක් වන බැවින් එම අගය මිලියන 5 ක් වීමට තව දින ගණනාවක් ගතවනු ඇත.

ඒ අනුව පැහැදිලිවම ලක්ෂ 50කට වැඩි පිරිසකට එන්නත් දී ඇති බවට පැවසෙන සමාජ මාධ්‍ය සටහන්වල පෙන්වා දී ඇති කරුණ නොමඟ යවන සුළු එකක් බව පෙනී යනවා.

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු අනුව සලකා බැලීමේදී මෙරට කොවිඩ් එන්නත ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවා ඇති බව දක්වෙන්මින් හුවමාරු වන ෆේස්බුක් සටහන් නොමඟ යවන සුළු සටහන් පෙළක් බව අපට ප්‍රකාශ කළ හැකියි.

ලංකාවේ මේ වන විට එන්නත් මාත්‍රා (Total doses) ලක්ෂ 50කට වඩා නිකුත් කර ඇතත් එහි පළමු මෙන්ම දෙවන එන්නත් මාත්‍රාව ද ලබාගත් පුද්ගලයින් ගණන ඇතුළත් වෙනවා. ජුලි මස 12 වන දින පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දී තිබූ නිල දත්ත අනුව මේ දක්වා එන්නත් එක් මාත්‍රාවක් පමණක් හෝ ලබාගත් පිරිස (Personnel Vaccinated with at least single dose) වන්නේ මිලියන 4.2කි. එම පිරිස අතරින් මිලියන 1.5 කට එන්නත් මාත්‍රා දෙකම ලබාදී තිබෙනවා. එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස මිලියන 1.5කි.ඒ අනුව සම්පුර්ණ මාත්‍රා ගණන මිලියන 5.7ක් (ජුලි 12 පස්වරුවේ දත්ත මත පදනම්ව)

කෙසේ නමුත් මෙරට එන්නත් කරන වැඩ පිළිවෙළ මේ දිනවල ඉතා සීඝ්‍රයෙන් සිදුවන බව වාර්තා වෙන අතර එම වේගය පැවතුණහොත් දින කිහිපයක දී මාත්‍රා එකක් පමණක් හෝ ලබාගත් පිරිස මිලියන 5 ( ලක්ෂ 50) ඉක්මවනු ඇති.

*කරුණු වඩාත් පැහැදිලි කිරීම සඳහා මෙම ලිපියේ කරුණු කිහිපයක් යාවත්කාලීන කරන ලදී

Avatar

Title:ලංකාවේ කොවිඩ් එන්නත ලබා දුන් පිරිස ලක්ෂ 50 ඉක්මවූ වා ද?

Fact Check By: Sahan Perera

Result: Misleading