අසත්‍ය කරුණු සමාජගත කිරීම සඳහා සමාජ මාධ්‍ය හොඳ තෝතැන්නක් වන අතර ඒ සඳහා ඡායාරූප, වීඩියෝ සංස්කරණය කරමින් එම ව්‍යාජ තොරතුරු සත්‍ය තොරතුරු බවට හැඟවීමට බොහෝ පිරිසක් උත්සහ ගන්නවා අපට සුලබව දක්නට ලැබෙනවා. ඇතැම් පිරිස් ඉන් ඔබ්බට ගොස් පුවත්පතක පළ වූ ලිපියක් ලෙස හෝ ප්‍රධාන රුපවාහිනී නාලිකාවක පළ වූ පුවතක් ලෙස හැඟවීමට ව්‍යාජ සංස්කරණ ඉදිරිපත් කිරීමේ ප්‍රවනතාවයක්ද අපට දක්නට ලැබෙනවා. එවන් ව්‍යාජ සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ තොරතුරු ගවේෂණයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

නාරහේන්පිට පිහිටි යුද්ධ හමුදා රෝහල් එන්නත්කරණය දූෂිත බවට පුවත්පතක පළ වූ ලිපියක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක සංසරණය වූයේ මෙලෙසින්.

“නාරහේන්පිට යුධ හමදා රෝහලේ එන්නත්කරණය දූෂිතයි - යුධ හමුදා නිලධාරියෙකු ජනපතිට ලියයි යනුවෙන් චාමර ඒකනායක

නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ එන්නත්කරණ වැඩපිළිවෙළේ දූෂණ රාශියක් සිදුවන බව උදාහරණ ද සහිතව සඳහන් කරමින් යුධ හමුදා නිලධාරියෙකු විසින් ජනපති වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

නාරහේන්පිට යුධ හමුදා....

කැප්ටන් අබේපිටිය (PHI) මහතා විසින් ඔහුට හිතවත් නීතිඥයන් හා ඔහුගේ පවුලේ සාමාජිකයන්හට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ජූනි මාසයේදී වෙනම ලැයිස්තුවකින් ලබාදීමත්, යුධ හමුදා රෝහලේ අධ්‍යක්ෂ කර්නල් වෛද්‍ය අත්තනායක මහතා වෙනම එන්නත් කුප්පි ඔහු සන්තකයේ ශීතකරණයක තබාගෙන හමුදාපතිතුමන් විසින් එවනු ලබන ප්‍රසිද්ධ හා දේශපාලනික හිතවත් පිරිස් හට එන්නත් හොර පාරෙන් ලබාදීමත්, බ්‍රිගේඩියර් වෛද්‍ය කේ.පී. පතිරණ(DAMS)හමුදා රෝහලේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ෆයිසර් හා මොඩානා එන්නත් ඔහුගේ වාට්ටු අංක 20 තබාගෙන දේශපාලනඥයින්, හිතවතුන්, හමුදාවේ අයගේ වයස අවුරුදු 18ට හා 30ටඅඩු අයට ලබාදීමත් සිදුකරන බව එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.

මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන හමුදා රෝහල තුළ මුදලට සිදුවන දූෂණය වහාම නතර කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා එම ලිපියේ අරමුණ වී තිබේ.”

Facebook | Archived Link

එම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මේ බවට වෙබ් අඩවියක තොරතුරු පළ වූයේ මෙලෙසින්.

Archived Link

එමෙන්ම මේ සම්බන්ධයෙන් පළ වූ ඇතැම් සටහන් වල සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ළඟම ඥාතීන් වෙත කොවිඩ් 19 එන්නතේ දෙවන මාත්‍රාව ලෙස කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අප්‍රේල් මස ලබා දීමට පියවර ගත් බවට යුද්ධ හමුදා මූලස්ථානයෙන් ලිපියක් නිකුත් වූ බවටද දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වීමත් සමග බොහෝ පිරිසක් මෙම පුවතේ සත්‍යතාවය පිළබඳ සොයා බලන ලෙස ඉල්ලීම් සිදු කළ අතර මෙහි නිරවද්‍ය කරුණු අනාවරණය කර ගැනීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

නාරහේන්පිට යුද්ධ හමුදා රෝහලේ කොවිඩ් එන්නත්කරණය දූෂිත බවට පුවත් පතක පළවූ ලිපියක් ලෙස ඉදිරිපත් කර තිබීම හේතුවෙන් අප ප්‍රථමයෙන්ම එවැනි ලිපියක් මෑතක දී පුවත් පතක ලිපියක් පළ වූවාද යන්න නිරීක්ෂණය කරනු ලැබුවා.

ප්‍රධාන මාධ්‍ය ධාරාවේ පුවත් පතක මේ ආකාරයේ ලිපියක් පළවී තිබූ ආකාරයක් අපට දැක ගැනීමට නොලැබුණු අතර එම ලිපිය පළ කරන ලද මාධ්‍යවේදී චාමර ඒකනායක යන නමින් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ලිපි පළකර තිබු මාධ්‍යවේදියෙකු ද නොමැති බවත් දැකගන්නට ලැබුණා.

ඉහත සටහන් වල දක්වා ඇති ලෙස ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු වී ඇත්දැයි විමසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ද විමසීමක් කළ අතර එවන් ලිපියක් ජනාධිපතිට මෙතෙක් යොමු වී තිබුනේ නැති බව සඳහන් කළා.

එසේම එහි ජනපති වෙත මේ ආකාරයේ චෝදනාවක් එල්ලකළ බව පැවසෙන හමුදා නිලධාරියෙකුගේ නමක් හෝ නිලයක් සඳහන් නොවී තිබූ බැවින් එම ලිපියේ සඳහන් පාර්ශවයන්ගෙන් ද මේ පිළිබඳ කරුණු විමසා සිටීමට අප කටයුතු කළා.

කැප්ටන් අඹේපිටිය

මෙම ලිපියේ කැප්ටන් අඹේපිටිය මහතා විසින් ඔහුට හිතවත් නීතිඥයන් හා ඔහුගේ පවුලේ සාමාජිකයන් හට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ජූනි මාසයේදී වෙනම ලැයිස්තුවකින් ලබාදුන් බවට සඳහන් කර තිබූ බැවින් මේ සම්බන්ධයෙන් විමසීමට අප කැප්ටන් අඹේපිටිය මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගනු ලැබුවා.

ඒ මහතා පවසා සිටියේ, මෙම ලිපිය පිළිබඳ කීමට ඇත්තේ කිසිදු පදනමකින් තොර අසත්‍ය ප්‍රචාරය කිරීමක් පමණක් බවයි. තමන් මැයි මාසයේදී පනාගොඩ යුද හමුදා කඳවුරට මාරුවීම් ලැබුණු බවත් තම බිරිඳට පමණක් මීට පෙර එන්ත්කරණයට ලක් කර තිබූ අතර තම දියණියට ලබා දී ඇත්තේ සයිනොෆාම් එන්නත බවත් පවසා සිටියා. ඒ බවට තහවුරු කිරීම සඳහා අප කළ ඉල්ලීම පරිදි එම එන්නත් කාඩ්පතද අප වෙත යොමු කළ අතර එම එන්නත ලබා දී තිබුණේ සැප්තැම්බර් මාසයේ දී යි. තමන් ඕනෑම වේලාවක මේ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණයක් ඇත්නම් ඒ සඳහා ස්ව-කැමැත්තෙන්ම ඉදිරිපත් වන බවත්, තමා මෙන්ම හමුදාවේ සාමාජිකයින් එන්නත්කරණයේදී මහත් කැපවීමෙන් අවංකව රාජකාරීයේ නියැලෙන බවත් හොර පාරේන් එන්නත් කරණය ලබා ගැනීමට සිතූ කිසිදු කෙනෙක්ට ඒ සඳහා ඉඩ ලබා නොදුන් බවත් මෙලෙස අසත්‍ය ප්‍රචාරය කිරීම කණගාටයුදායක කරුණක් බවයි කැප්ටන් අඹේපිටිය මහතා සඳහන් කළේ.

යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්ෂ කර්නල් වෛද්‍ය අත්තනායක

එමෙන්ම මෙම ලිපියේ යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්ෂ කර්නල් වෛද්‍ය අත්තනායක මහතා වෙනම එන්නත් කුප්පි ඔහු සන්තකයේ ශීතකරණයක තබාගෙන හමුදාපතිතුමන් විසින් එවනු ලබන ප්‍රසිද්ධ හා දේශපාලනික හිතවත් පිරිස් හට එන්නත් හොර පාරෙන් ලබාදීම යන කරුණ සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, එන්නත් හොර පාරෙන් ලබා දීම සිදු කරනු ලබන ප්‍රකාශ පිළිගත නොහැක බවයි. ප්‍රථම වරට ෆයිසර් එන්නත් මෙරටට පැමිණියේ ඇස්ට්‍රාසෙනෙකා ලබා ගත් වැඩිහිටියන්ට එම වර්ගයේ එන්නත් හිඟ බැවින් දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් 26,000ක් ලබා දුන් බවත් ඒවා කල්පිටිය, මන්නාරම් ධීවර ජනතාවට ලබා දීමට කටයුතු කළේ, ඉන්දියානූ ධීවරයන් සමග මෙරට ධීවරයින් කටයුතු කරන හෙයින් කොවිඩ් ඩෙල්ටා වෛරසය පැතිරීමට වැඩි අවධානමක් පැවතීම මුල් කරගෙන බවයි. ඉන් අනතුරුව ෆයිසර් එන්නත් විදේශීය රටවල යන අයට තොරතුරු තහවුරු කිරීමෙන් පසු ලබා දුන් බවත් පවසා සිටියා.

එසේම ෆයිසර් සහ මොඩර්නා සඳහා සමාජයේ ඇතිවී තිබූ වැඩි ඉල්ලීම හේතුවෙන් ඇතමුන් අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් එන්නත් ලබා ගැනීමට උත්සහ කළ බවද , සඳහන් කළා. එවන් අවස්ථාවන්ට ඉඩ ලබා නොදුන් බවත්, එන්නත් ලබා දීමේදී මෙම එන්නත් දෙක විදේශීය රටවලට යෑමට සිටින පිරිසට ලබා දීමට ප්‍රමුඛත්වය වී ඇති අතර ඇතැම් වෙනත් රෝගී තත්ත්වයන් හේතුවෙන් අදාළ රෝගීන්ට ලබා දීම සඳහා, වෛද්‍ය නිර්දේශය මත වෛද්‍යවරුන්ට යොමු කරනු ලැබුවේද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය පරිදි බවත්, එවන් අවස්ථා වලින් පිටතදී දූෂිත අයුරින් එන්නත්කණයේ යුද්ධ හමුදා රෝහල විසින් සිදු කළ නොහැකි බවත්, එන්නත්කරණය හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි නිසියාකාරව කර ගෙන යන බවයි ඒ මහතා තවදුරටත් සඳහන් කළේ. ඇතමුන් වැරදි පාරනේ මෙම එන්නත් ලබා ගැනීමට කටයුතු කළත් ඊට ඉඩ නොදීම නිසා මෙවන් අසත්‍ය ප්‍රචාර ගෙන යන බව තමා විශ්වාස කරන බවත්, බෙහෙත් කුප්පි සඟවා ඇති බවට කරන එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්ෂ කර්නල් වෛද්‍ය අත්තනාය මහතා පවසා සිටියා.

බ්‍රිගේඩියර් වෛද්‍ය කේ.පී. පතිරණ

ඉන් අනතුරුව මෙම ලිපියේ සඳහන් කර තිබූ බ්‍රිගේඩියර් වෛද්‍ය කේ.පී. පතිරණ මහතාද අප මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට සම්බන්ධ කර ගත් අතර බ්‍රිගේඩියර් සඳහන් කළේ තමන් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුද වන අතර යුද්ධ හමුදා රෝහලේ වාට්ටු අංක 20 තමන් සේවය සපයන අතර යුද්ධ හමුදා මූලස්ථානයේද සේවය කරන බවයි. අංක 20 වාට්ටුව යනු චර්ම රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දෙන වාට්ටුවක් බවත් එම වාට්ටුවේ මෙම ලිපියේ සඳහන් ලෙස මොඩර්නා සහ ෆයිසර් යන එන්නත් සඟවා තබා ඇති බවට පළ වන කතා අසත්‍ය බවත් එලෙස එම එන්නත් තැන්පත් කිරීම සඳහා නියමිත පහසුකම් ද එම වාට්ටුවේ නැති බවත් පවසා සිටියා.

එසේම තමන් මීට පෙර යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ අතර ඉන් අනතුරුව යුද්ධ හමුදා මූලස්ථානයේ කටයුතු කරන අතර යුද්ධ හමුදා රෝහලේ යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කරන බවයි සඳහන් කළේ. තමන්ට කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන්ද, කිසිදු සෘජු සම්බන්ධකමක් නැති බවද චර්ම රෝග විශේෂඥ බ්‍රිගේඩියර් වෛද්‍ය කේ.පී. පතිරණ මහතා සඳහන් කළා.

යුධ හමුදාවේ සාමාජිකයින්ගේ ළඟම ඥාතීන්ට ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත ලබාදීම පිළිබඳ ලිපිය

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම ලිපිය සම්බන්ධයෙන් එහි දක්වා තිබුණේ “හමුදාවේ පවුල් වලට ගිය අප්‍රේල් වල වැක්සින් ගහපු ලියුම” යනුවෙනි. මෙම ලිපිය නිරීක්ෂණයේදී දක්නට ලැබුණේ, යුද්ධ හමුදා මූලස්ථානය විසින් මැයි 22 වන දා නිකුත් කරන ලද ලිපියක් යනුවෙනි.

එම ලිපියට අනුව කොවිඩ් මර්දනය සඳහා ලබා දෙන කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ළඟම ඥාතීන්හට ලබා දෙන ලෙස යුද්ධ හමුදාපති විසින් උපදෙස් දී ඇති බවත් ළඟම ඥාතීත්වය යනුවෙන් සඳහන් කරනු ලබන්නේ,

සේවයේ නියුතු විවාහක නිලධාරීන් / නිලධාරිණියන්/ සෙසුනිලයින්ගේ තම මව, පියා, බිරිඳ සහ ස්වාමිපුරුෂයා,සේවයේ නියුතු අවිවාහක නිලධාරීන් / නිලධාරිණියන්/ සෙසුනිලයින්ගේ මව සහ පියා යනුවෙන් එහි (අ), (ආ) කොටසේ සඳහන් කර ඇති අතර සේවයේ නියුතු විවාහක නිලධාරීන්ගේ කලත්‍රයාගේ(බිරිඳ/සැමියා) මව් පියන්ට එන්නත් ලබා දීම ඥාතීත්වය මත පදනම්ව එන්නත් ලබාදෙන කාණ්ඩයට අයත් නොවන බවද, මෙලෙස ලබා දෙනු ලබන්නේ දෙවන මාත්‍රාව පමණක් බවත්, පළමු මාත්‍රාව ලෙස ඉල්ලීම් නොකරන ලෙසත්, ඉහත ඥාතීත්වය තහවුරු කළ අයට පමණක් මෙම එන්නත් නාරහේන්පිට යුද්ධ හමුදා රෝහල සහ පනාගොඩ යුද්ධ හමුදා රෝහලේදී 2021.05.24 සිට ලබා දෙන බව දක්වා තිබුණි.

යුධ හමුදා මූලස්ථානයේ කර්නල් ඒ.ඩී.රොඩ්‍රිගෝ මහතා

මෙම ලිපියේ සත්‍ය ලිපියක්ද යන්න තහවුරු කර ගැනීම සඳහාත් ඉහත දක්වා ඇති කරුණු සත්‍යද යන්න විමසීමටත් අප යුද්ධ හමුදා මූලස්ථානයේ කර්නල් ඒ.ඩී.රොඩ්‍රිගෝ ආර් ඩබ්ලිව් ආර් එස්පී මහතාව සම්බන්ධ කර ගනු ලැබුවා.

කර්නල් රොඩ්‍රිගෝ මහතා සඳහන් කළේ, මෙම ලිපිය සත්‍ය බවත් හමුදා සේවයේ යෙදෙන පිරිස අතර පමණක් ලබා දුන් ලිපියක් වන අතර ඇස්ට්‍රාසෙනෙකා ලබා ගත් හමුදා සේවයේ යෙදෙන නිලධාරීන්ගේ දෙමාපියන්ට දෙවන මාත්‍රාව ලබා දීමට කටයුතු කළ බවත් අනෙක් එන්නත්කරණ මධ්‍යස්ථාන වලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ඒ වන විට ලබා දීමට කටයුතු යෙදී තිබූ අතර මෙහිදී ද පළමු මාත්‍රාව ලබා ගත් හමුදා නිලධාරීන්ගෙන් දෙමාපියන්ට හමුදාපතිගේ උපදෙස් පරිදි ලබා දීම මූලික කොටගෙන කටයුතු කළ ඇති බවත් හමුදා නිලධාරීගේ කාලාත්‍රයාට හැරුණු කොට වෙනත් ඥාතීත්වයක් පදනම් කර ගනිමින් එන්නත් ලබා දීමට පියවර නොගත් අතර ඉහත කී ඥාතීත්වය තහවුරු කර ගැනීමෙන් පසු ඒ සඳහා අවසර ලබා දුන් බවයි.

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා දීමට එන්නත් නොමැති අවදියේ මෙලෙස සිදු නොවූ බවත් හමුදාවේ ප්‍රථම රාජකාරිය වූයේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කිරීම බවත් එන්නත් හිඟයක් නොමැති වකවාණුවේ පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් හමුදා නිලධාරීන්ගේ දෙමාපියන්ට හා කාලාත්‍රයාට පමණක් දෙවන මාත්‍රාව පමණක් ලබා දීම සිදුවූ බවත් රටේ සෑම පුරවැසියෙකුටම කොවිඩ් එන්නත් ලබා ගැනීමට අයිතිය ඇති බවත් ඒ අනුව කටයුතු කර ඇති බවත් ඒ මහතා තහවුරු කළා.

යුධ හමුදාපති - ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා

කෙසේවෙතත් අප මේ පිළිබඳ යුද්ධ හමුදාපති කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් විමසීමක් කළ අතර හමුදාපතිවරයා සඳහන් කළේ ද, අක්‍රමිකතාවයෙන් තොරව ත්‍රිවිධ හමුදාව විසින් දියත් කෙරෙන එන්නත්කරණය වැඩසටහනට ජනතා ප්‍රසාදයද හිමි වී ඇති බවත් ත්‍රිවිධ හමුදාවට කැළලක් එක් කිරීමට මෙමගින් උත්සහ දරා ඇති බවත් මෙලෙස අසත්‍ය තොරතුරක් පුවත් පතක පළ වූ බවට දක්වමින් ජනතාව නොමග යැවීමටත් කටයුතු කර ඇති බවක් මෙමගින් පෙන්නුම් කෙරෙන බවයි.

ලංකාවේ ඇස්ට්‍රාසෙනෙකා කොවීෂීල්ඩ් එන්නත්කරණය

පසුගිය ජනවාරි 29 වන දා ඉන්දීය රජය ප්‍රදානය කළ ඇස්ට්‍රා සෙනකා කොවීෂීල්ඩ් පළමු කොවිඩ් එන්නත මෙරටදී ලබා දීම සිදු කළ අතර රාජ්‍ය නිලධාරීන් සෞඛ්‍ය කේෂ්ත්‍රයේ හා ත්‍රිවිද හමුදාව මෙන්ම පොලීසියට කොරෝනා එන්නත් ලබා දීමේ සාමරම්භක අවස්ථාව පැවැත්වුණේ, ජාතික බොවන රෝග විද්‍යායතනයේදීයි.

ඉදිරිපෙළ ක්‍රියා කරන එක්ලක්ෂ පනස්දහසක් (150,000) පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් (120,000) පමණ ත්‍රිවිද හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත පළමුව දීමට සැලසුම් කර තිබුණා. ඒ බවට දැක්වෙන පුවතක් මෙතනින්.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම පසුගිය අප්‍රේල් 28 වන දා ආරම්භ කර තිබුණු අතර මාලිගාවත්තේ පිහිටි මැද කොළඹ රජයේ රෝහලේ දී සෞඛ්‍ය සේවකයන් සඳහා එලෙස දෙවන මාත්‍රාව ලබා දී තිබුණා. ඒ බවට දැක්වෙන පුවත් වාර්තාවක් මෙතනින්.

එන්නත්කරණ ක්‍රියාවලියේ අක්‍රමිකතා පිලිබඳ GMOA චෝදනා

කෙසේවෙතත් කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහනට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දිගින් දිගට ම අතපෙවීම් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන බවට දැක්වූ වාර්තා මෙතනින් සහ මෙතනින්.

“COVID – 19 එන්නත්කරණ ක්‍රියාවලියේ අක්‍රමිකතා” යන තේමාවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. හමුදාව වෙත වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා කිසිදු හිඟතාවයකින් තොරව අඛණ්ඩව එන්නත් මාත්‍රා නිකුත් කිරීම සිදු කරන බව දක්වමින් එහි පෙන්වා දී තිබුණේ ෆයිසර් එන්නත් මාත්‍රා හමුදාව මගින් පමණක් ලබා දීමට ද, විද්‍යාත්මකව සැකසු එන්නත්කරණ ක්‍රමවේදයෙන් පරිබාහිරව (Vaccine Strategy) තෝරා ගත් ප්‍රදේශ වල විවිධ වයස් කාණ්ඩ වලට (වයස අවුරුදු 20 -30) එන්නත් ලබා දීමටද කටයුතු කරන බවක් පෙනි ගොස් ඇති බවයි. එම මාධ්‍ය නිවේදනය පහතින්.

Also Read: FACT CHECK: මෙරට එන්නත්කරණයේ දී කොටසකට වතුර එන්නත් කරන බවක් බැසිල් කිව්වා ද?

සැ.යු: මෙහි සඳහන් පරිදි යුද්ධ හමුදා රෝහලේ හෝ වෙනත් කිසිදු හෝ ස්ථානයක සිදුවන එන්නත්කරණයේ කිසියම් හෝ අක්‍රමිකතා තිබෙන බව හෝ නොතිබෙන බව අපට ස්වාධීනව සත්‍යාපනය කළ හැකි කරුණක් නොවේ. මෙහිදී අප එවැනි ලිපියක් ප්‍රධාන පුවත්පතක මෑතක දී පළවී නොතිබුණු බවත් එම පුවත් ලිපිය පළ කළ එබඳු මාධ්‍යවේදියෙකු පිළිබඳ වාර්තා වන්නේ නැති බවත් ප්‍රධාන වශයෙන් පෙන්වා දී තිබේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

Factcrescendo අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ, නාරහේන්පිට යුද්ධ හමුදා රෝහලේ එන්නත්කරණය දූෂිත බවට ජනපති වෙත යුධ හමුදා නිලධාරියෙක් විසින් යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් පුවත් පතක පළ වූ ලිපියක් බවට හඟවා තිබූ සටහන් ව්‍යාජ ලෙස සැකසූ සටහන් පෙළක් බවයි. එවැනි ලිපියක් ජනපතිට නොලැබුණු බව ජනාධිපති ලේකම් කාර්යාලය තහවුරු කරනු ලබයි. එමෙන්ම ඉහත ලිපිය පළ කරන ලද පුවත්පතක් හෝ එම ලිපිය පළ කරන ලද මාධ්‍යවේදී චාමර ඒකනායක යන නමින් මාධ්‍යවේදියෙකු පිළිබඳව ද අපට කරුණු අනාවරණය නොවුණි.

Also Read : FACT CHECK: කොවිඩ් මර්දන මාත්‍රා 6ක් ගත් පුද්ගලයෙක්?

Avatar

Title:නාරහේන්පිට යුද්ධ හමුදා රෝහලේ එන්නත්කරණය දූෂිත බවට ජනපතිට ලිපියක් ?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading