ආහාර සුරක්ෂිතතාවය සහ මන්දපෝෂණය යනු ලෝකයේ බොහෝ කාලයක සිට නිරතුරු කතාබහට ලක්වන මාතෘකාවක්. ගෝලිය සංවිධාන පවා , ආහාර සුරක්ෂිතතාවය හා මන්දපෝෂණය යන කරුණු කෙරෙහි නිරතුරුවම සිය අවධානය යොමු කරනවා. ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි අවධානය යොමු කරන ප්‍රමුඛ ගෝලීය සංවිධානයක් වන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයයි. එම සංවිධානය විසින් මීට වසර කිහිපයකට පෙර නිකුත් කරන ලද වාර්තාවක් යොදා ගනිමින් සකැස් කෙරුණු නොමග යවන සුලු සමාජ ජාල සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ ගවේෂණයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“මන්දපෝෂණයෙන් දකුණු ආසියාවෙන් ශ්‍රී ලංකාව දෙක” යනුවෙන් ලංකාදීප පුවත්පතක පළ වූ ලිපියක් බව දක්වමින්, “ඉතිං අපි නොවෙයි ද හොඳටම කරේ.” යනුවෙන් සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ කර තිබුණා.

Facebook | Archived Link

මෙම පුවත සත්‍යක් ද යන්න කිහිපදෙනෙක් විමසා තිබුණා

Twitter පණිවිඩයක් ඔස්සේද ඉහත පුවත් පත් සටහනක් බව දැක්වෙන සටහනම පළ කර තිබුණේ මෙලෙසින්.

https://twitter.com/blackaustralian/status/1441395950832930817

Archived Link

මීට අමතරව ද බොහෝ දෙනෙක් අතර මෙම සටහන් හුවමාරු වී තිබු ආකාරය පහතින්.

එසේම ඇතැම් අය විසින් මෙය මෑතක දී පළවූ පුවතක් ද යන්න කිහිපදෙනෙක් කරුණු විමසා තිබු නිසා මේ පිළිබඳව අප කරණු පරීක්ෂා කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම වාර්තාව සැබවින්ම ‘ලංකාදීප’ පුවත්පතේ පළ වූ පුවත් ලිපියක්ද යන්න පිළිබඳව අප ප්‍රථමයෙන්ම විමර්ශනය කළ අතර එය මෑතකදී පළවූ ලිපියක් නොව ලංකාදීප පුවත්පතේ වසර තුනකටත් පෙර පළවූ පුවත් ලිපියක් නොවන බව තහවුරු වුණා.

2018 වර්ෂයේ අප්‍රේල් මස ‘ලංකාදීප’ පුවත්පතේ පළ වී තිබු ලිපියක දැක්වුණේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ‘ලෝකයේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය 2017’ වාර්තාවලට අනුව ජනගහණයට සාපේක්ෂව දකුණු ආසියාවේ ඉහළම මන්දපෝෂණය පවතින රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී ඇති බවයි. එම වාර්තාව මෙලෙසින්. Archived Link

එබැවින් මේ වාර්තා සඳහා මුල් වී තිබු එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වාර්තාව පිලිබඳ කරුණු පරීක්ෂා කිරීමට අප කටයුතු කළා. පහත දැක්වෙන පරිදි එම වාර්තාවේ දකුණු ආසියානු කලාපයේ දත්ත අනුව ඇෆ්ගනිස්ථානයට පසුපසින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේ දක්වා තිබුනේ මුළු ජනගහනයට සාපේක්ෂව මන්දපෝෂණ ප්‍රතිශතය 22.1% වශයෙනි.

unicef.org | Archived Link

මෙහි වර්තමාන තත්වය පරීක්ෂා කිරීමට අප 2021 වර්ෂයට අදාළ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ‘ලෝකයේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය 2021’ වාර්තාව නිරීක්ෂණය කල අතර එහිදී තහවුරු වූයේ ජනගහණයට සාපේක්ෂව දකුණු ආසියාවේ ඉහළම මන්දපෝෂණය පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට පත්වී ඇති බවයි.

2018  සිට 2020 කාලවකවාණුව තුළදී මෙරට ජනගහනයට සාපේක්ෂව මන්දපෝෂණය සියයට 6.8% ක් ලෙස මෙහි සඳහන් කර තිබේ. එම වාර්තාව පහතින්

unicef.org | Archived Link | Archived Link

මෙම 2021 වාර්තාවට අනුව දකුණු ආසියාවේ ඉහළම මන්දපෝෂණය පවතින රටවල් වන්නේ පිළිවෙළින් ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, ඉරානය, නේපාලය යනාදී වශයෙනි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ කාර්යාලය හරහා ද අප කරුණු තහවුරු කර ගත් අතර ඔවුන් ද පවසා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල හුවමාරු වන්නේ පැරණි දත්ත මත පදනම් පළවූ පැරණි වාර්තාවක් බවත් නවතම තත්වය 2021 වාර්තාවේ දැක්වෙන බවත්ය.

කෙසේනමුත් 2018 වර්ෂයේ පළ කළ දත්ත වාර්තාව මන්ද පෝෂණ තත්ත්වය විග්‍රහ කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද්දක් නොවන බව එවකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා තිබෙනවා. ඒ බවට පළ වූ වාර්තා මෙතනින්.

එවකට සෞඛ්‍ය අමාත්‍යංශයේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් අනිල් ජාසිංහ මහතා නිකුත් කර තිබු නිල නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබුනේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවේ අගයන්, නිමානය කල අගයන් බවත් (estimated figure), එහිදී ඇතිවී තිබු අවිනිශ්චිතතාව මත එහි නිරවද්‍යතාව අඩු මට්ටමක පවතින බවකි. 2018 අප්‍රේල් 25 වැනි දින නිකුත් කල සම්පුර්ණ නිවේදනය මෙතනින්

එසේම COVID-19 වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් 2020 වර්ෂය ලෝක කුසගින්න ඉහළ යාම වර්ධනය වී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. පසුගිය වසරේ ගෝලීය ජනගහනයෙන් දහයෙන් එකක් පමණ, මිලියන 811 ක ජනතාවක්, මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, මෙම සංඛ්‍යාවෙන් ඇඟවෙන්නේ 2030 වන විට ලෝක කුසගින්න අවසන් කරන බවට දුන් ප්‍රතිඥාවට ඉටු කිරීමට විශාල උත්සාහයක් ගත යුතු බවයි. ඒ බවට පළ වූ UN වාර්තා මෙතනින්. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධාන ආර්ථික විශේෂඥ ද ලෝක ආහාර දිනයට සමාගමීව මේ සම්බන්ධයෙන් මෑතක දී දැක්වූ අදහස් මෙතනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය):

සමාජ ජාලා සටහන්වල පළව තිබූ ලංකාදීප පුවත්පත් වාර්තාව දැනට වසර තුනකට පෙර, එනම් 2018 වසරේදී පළව තිබූ වාර්තාවක්. එම සටහනට අනුව 2017 වසරේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත වලට අනුව ජනගහණයට සාපේක්ෂව දකුණු ආසියාවේ ඉහළම මන්දපෝෂණය පවතින රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී තිබු බව වාර්තා වුණා. මෙහි තිබුනේ නිමානය කල අගයන් බවත් (estimated figure) නිරවද්‍යතාව අඩු මට්ටමක පවතින බවත් එකල ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා තිබුණා.

කෙසේනමුත් 2021,එනම් මෙම වසරේ නිකුත්වූ වාර්තාවට අනුව දකුණු ආසියාවේ ඉහළම මන්දපෝෂණය පවතින රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ පස්වන ස්ථානයේයි. ඒ බවට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයද තහවුරු කරයි. ඒ අනුව මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙවන ස්ථානයේ යයි පළවන වාර්තා නොමග යවන සුලුවේ.

Avatar

Title:මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙවන ස්ථානයේද?

Fact Check By: Pavithra Sandamali

Result: Missing Context