සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු දින 50ක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කල බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණා. මේත් සමගම සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහනක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වුණා. මේ ඒ පිළිබඳව අප කළ විමර්ශනයයි.

සමාජ මාධ්‍ය සටහන් :

1969 සිට නොනිවී දැවුන ආසියාවේ රන් ගිනි සිලුව නවතී.” යන තේමාවෙන් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එම තේමාවෙන්ම පළ වූ සමාජ මාධ්‍ය සටහන් පෙළක් පහතින්

එමෙන්ම ඇතැම් සටහන් වල සඳහන් කර තිබුණේ, සපුගස්කන්ද පිරිපහදුව පළමු වරට බොරතෙල් නොමැති කමින් වසා දමා ඇති බවටයි.

Facebook | Archived Link

මේ බවට ඇතැම් වෙබ් අඩවිද වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වා සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඊයේ (15) සිට දින 50 ක් වසා තැබෙනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ බලශක්ති අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා.

ඒ අනුව, රටේ ඇති සීමිත විනිමය අත්‍යවශ්‍ය භාණ්ඩවලට පමණක් යොදා ගැනීමට අවශ්‍ය බවත්, ණය පහසුකම් ලබාගෙන ඩොලර් හිඟය මඟහරවා ගත් වහා නැවත බොරතෙල් ගෙන්වීම අරඹා තෙල් පිරිපහදුව නැවත පණගන්වන බවත් මේ හේතුවෙන් රට තුළ තෙල් හිඟයක් ඇති නොවන බවයි අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ.

https://youtu.be/tP8zWPbzigA?t=8

ඉතිහාසයේ ප්‍රථම වතාවට සපුගස්කන්ද තෙල් දැල්ල නිමුනා යන සටහන් සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, වසර දෙකකට හෝ තුනකට වරක් නඩත්තු කටයුතු සඳහා තෙල් දැල්ල නිමෙන අතර මාසෙකට ආසන්න කාලයක් වසා තබන බවයි. ඒ වගේම මෑත ඉතිහාසයේ දෙවරක් බොරතෙල් නිසි වෙලාවට ගෙන ඒමට කළමනාකරණය අසමත්වීම නිසා පිරිපහදුව වසා දමා තිබෙන බවත් එහිදී ද මෙසේ දැල්ල නිවී ගිහින් තිබෙන බවත්ය. ඒ බවට පළ වූ පුවත් මෙතනින්. Archived Link

කෙසේවෙතත් ඉහත සමාජ මාධ්‍ය සටහන් වලින් පවසා ඇත්තේ, 1969 සිට මේ වන තෙක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නොනැවතී අඛණ්ඩව බොරතෙල් පිරිපහදුකරණයෙහි යෙදුණු බවයි.

ඒ හේතුවෙන් අප මීට පෙර සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකාරීත්වය නවතා දැමූ අවස්ථා පිළිබඳ පුවත් ඇත්දැයි නිරීක්ෂණය කළෙමු.

2014 වර්ෂයේ ජූනි මස දී තාවකාලිකව වසා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් පළ වූ වාර්තාවක් පහතින්.

Daily mirror | Archived Link

මෙහිදී සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දමා ඇත්තේ බෝයාවට සම්බන්ධ නළයට හානි වීම නිසා බවත් එම නළය පිළිසකර කිරීම සඳහා දින හතරක සිට එහි මෙහෙයුම් නවතා දමා ඇති බවත් එහි සඳහන්.

එමෙන්ම 2014 වර්ෂයේදී පෙබරවාරි මස ද තාවකාලිකව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා ඇති බවට පළ වූ පුවතක් මෙතනින්. Archived Link

එමෙන්ම 2013 වසරේද මැයි මාසයේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමුණු බවට පුවතක් ද අපට දැකගනන්ට ලැබුණා. බොරතෙල් ආනයනය කිරීම ප්‍රමාද වීම හේතුවෙන් 2013 වසරේදී මෙසේ පිරිපහදුව වසා දැමුනු බව අද දෙරණ වෙබ් අඩවියේ දක්වා තිබුණා.

adaderana.lk | Archived

බොරතෙල් පිරිපහදුවේ ගබඩා හිස් වන තුරුත් බොරතෙල් අනයනය නොකිරීම 2013 වසරේ තෙල් පිරිපහදුව වසා දැමීමට හේතුවක් වූ බව එම පුවතේ වැඩි දුරටත් සඳහන්. බොරතෙල් හිඟ වීමත් සමග දින 5ක් සපුගස්කන්ද පිරිපහදුව වසා දැමූ බවට ඉහත අවස්ථාව පළවූ තවත් පුවතක් මෙතනින්.

වසර 03කට වරක් සිදුකරන මහා පහදු නැවතුම, සපුගස්කන්ද පිරිපහදු පරිශ්‍රය තුළ සිදුකරමින් පවතින බවත්, මේ වසරේදී මාර්තු 10 වන දා බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල අමාත්‍යවරයා එම පිරිපහදු නැවතුමේ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවක් සම්බන්ධයෙන් ද Ceypetco වෙබ් අඩවියේ දක්වා තිබුණේ මෙලෙසින්. Archived Link ඉදිරි වසර 03ක කාලයක් ක්‍රමවත්ව පිරිපහදුකරණයෙහි යෙදීම සඳහා අවශ්‍ය සියළුම අළුත්වැඩියා කටයුතු එහිදී සිදුවන බවද සඳහන්.

කෙසේවෙතත් තාක්ෂණික ගැටලු හෝ තෙල් ආනයන කිරීම ප්‍රමාද වීම හෝ වසර 3කට වරක් සිදු කරන මහා පහදු නැවතුම වැනි කරුණු උදෙසා හැරුණු කොටගෙන, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දක්වා සිටි පරිදි රටේ පවත්නා ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ඊට පිළියමක් ලෙස සපුගස්කන්ද පිරිපහදුව වසා දැමූ බවට පුවතක් සම්බන්ධයෙන් ඉතිහාසයේදී වාර්තා වූ බවක් අප කළ විමර්ශනයේදී දැක ගන්නට ලැබුණේ නැත. එමෙන්ම දින 50 ක් වැනි මාස 2කට ආසන්න කාලයක් සපුගස්කන්ද පිරිපහදුව වසා දැමූ තොරතුරක්ද වාර්තා නොවීය. එම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප පිරිපහදු කළමණාකාරතුමා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් ඒ අවස්ථාව ව්‍යර්ථ විය.

කෙසේනමුත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවූයේ ආණ්ඩුව ඉන්ධන තොග ගබඩා කර නොගෙන එදිනෙදා පරිභෝජනයට සරිලන ලෙස පමණක් ඉන්ධන ගෙන ඒමට කටයුතු කළ නිසා යැයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පවසා තිබුණා. ඒ පිළිබඳ පුවතක් මෙතනින් සහ මෙතනින්

1961 අංක 28 දරණ පනත මඟින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්ථාපනය කරන ලද අතර ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම, බෙදාහැරීම සහ දිවයිනපුරා අලෙවි කිරීමේ කටයුතු වල නිරත විය. ඉරාන සැහැල්ලු බොරතෙල් BPSD 38000 ක් (දිනකට මෙට්‍රික් ටොන් 5200) පිරිපහදු කිරීම සඳහා 1969 අගෝස්තු මාසයේදී පවත්නා සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ කරන ලදී. Ceypetco නිල වෙබ් අඩවියේ මේ සම්බන්ධ තොරතුරු මෙතනින්.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පැවසිය හැක්කේ, සපුගස්කන්ද පිරිපහදුව දින 50 ක් සඳහා වසා දැමීමෙන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ 1969 සිට මේ වන තෙක් සපුගස්කන්ද පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාත්මක වූ බවට සහ බොරතෙල් නොමැතිවීම හේතුවෙන් ප්‍රථම වතාවට සපුගස්කන්ද පිරිපහසුව වසා දැමූ බවට පළ වන සටහන් නොමග යවන සුළු බවයි.

2013 වර්ෂයේදී බොරතෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද පිරිපහදුව දින 5කට වසා දමා ඇති බව වාර්තා කර තිබූ අතර ඊට අමතරව තාක්ෂණික ගැටලු හේතුවෙන් සහ වසර 3කට වරක් සිදු කරන මහා පහදුව නැවතුම වැනි කරුණු උදෙසා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහයුම් මීට පෙර අවස්ථා කිහිපයකදී ම නවතා දමා තිබෙනවා.

Avatar

Title:සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් ඉතිහාසයේ ප්‍රථම වතාවට නවතියි?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading