කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් මේ දිනවල මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද අවධානය යොමු වූ ඇත්තේ, ‘ඔමික්‍රොන්’ නමැති ප්‍රබල කොවිඩ් ප්‍රභේදය මෑතකදී හඳුනා ගැනීමත් සමගයි. මෙතෙක් මෙරටින් එම ප්‍රභේදය සහිත කොවිඩ් රෝගීන් හඳුනා නොගෙන ඇති අතර මේ පිළිබඳව ජනතාව බියෙන් පසුවෙයි. එවන් පසුබිමක ඇතැමුන් කිසිදු වග විභාගයකින් තොරව අසත්‍ය පතුරවමින් ජනතාව තවත් බිය වැද්දීම සඳහා අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබනවා. මේ එවන් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක්.

සමාජ මාධ්‍ය සටහන් :

2019 ලීක් වෙච්ච ලිස්ට් එකෙ අලුතෙන් නම් කරපු එකෙ නම තියෙන්නෙ කොහොමද..හිතලා බලන්න

Facebook | Archived Link

දැං අලුත් වෛරස් එකේ නම දන්නවනේද 👉 "ඔමික්‍රෝන්"".

👉👉😏 කැමතිද ඉස්සරහට එවන්න නියමිත වෛරස් මොනවද කියල දැනගන්න 👉😏.

Facebook | Archived Link

මේ පිළිබඳව පළ වූ තවත් ෆේස්බුක් සටහනක් මෙතනින්.

එමෙන්ම විදේශිකයන් අතරද මෙම ඡායාරූප සටහන හුවමාරු වී තිබුණේ පහත අයුරින්.

මෙහි දක්වා තිබුණේ, “කොරෝනා ප්‍රභේද සියල්ල කලින් නිශ්චිත දින සමගින් සැලසුම්කොට අදාල දිනයන් වලදී මාධ්‍ය වෙත නව ප්‍රභේද ලෙස හඳුන්වා දෙන බවත්, එන්නත් මගින් සිදු කරන්නේ, ඔබව පාලනය කිරීමට සහ ඔබේ අනුකූලතාව බලාත්මක කිරීමට 5G පද්ධතිය සමඟ හසුරුවන මෙහෙයුම් පද්ධතියක් ඔබේ ශරීරය තුළ ස්ථාපනය කරන බවටයි. අවසාන කොවිඩ් ප්‍රභේදය 2023 පෙබරවාරි මාසයේදී සැලසුම් කර ඇති අතර 2023 අවසානය වන විට බිලියන 7 ක ජනතාවක් මිය යාමට නියමිත බවත් මිනිසුන් බිලියන 7ක් මිය යන තුරු ඔවුන් නව ප්‍රභේද හඳුන්වා දීම නොනවත්වන අතර අපට මෙය වැළැක්විය හැක්කේ කොවිඩ් එන්නත් ප්‍රතික්ෂේප කළහොත් පමණි. යනුවෙනි.

Facebook | Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පසුගිය ජූනි මාසය ආසන්නයේ ලෝකය පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද, ඉතා සීඝ්‍රයෙන් පැතිර ගිය, බිහිසුණු කොවිඩ් වෛරසය වූයේ ඩෙල්ටා ප්‍රභේදයයයි. එම ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණුය යි කියැවෙන නව කොවිඩ් ප්‍රභේදයක් වන ‘ඔමික්‍රොන්’ මේ වන විට අප්‍රිකාවෙන් ජනිත වී ලොව පුරා පැතිරෙමින් මෙතෙක් සොයාගෙන ඇති වඩාත්ම විකෘති වූ ප්‍රභේදයක් ලොව පුරා ව්‍යාප්ත වීම ආරම්භ වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ද, මේ පිළිබඳව අනතුරු අඟවා තිබුණා. මේ සම්බන්ධයෙන් WHO වැඩිදුර පැහැදිලි කිරීම මෙතනින්.

ලොව තවත් රටවල් කිහිපයකින් ඔමික්‍රොන් කොවිඩ් වෛරස ප්‍රභේදය හඳුනාගැනීමත් සමග එම ප්‍රභේදය ව්‍යාප්තවූ රටවල් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. ඒ බවට දැක්වෙන විදෙස් වාර්තා මෙතනින් සහ මෙතනින්.

කෙසේ වෙතත් මේ සමගම මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණු සටහන් කිහිපයක දක්වා තිබුණේ කොවිඩ් ප්‍රභේද වල නාමයන් කලින් දැන ගත්තේ කෙලෙසද යන්නයි ඒ සඳහා ඔවුන් පෙන්වා දෙනු ලබන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින්, Johns Hopkins University, ලෝක ආර්ථික සංසදය(World Economic Forum) විසින් එළි දක්වා ඇති වාර්තාවක මේ පිළිබඳව දක්වා ඇති බවයි.

අප මේ පිළිබඳව විමර්ශනයේදී දැක ගන්නට ලැබුණේ, ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ කෝවිඩ් දත්තයන් පිළිබඳ දෛනිකව වාර්තා කරන Johns Hopkins විශ්වවිද්‍යාලය හෝ ලෝක ආර්ථික සංසදය එකතුවෙන් මෙවන් වාර්තාවක් එළිදක්වා නොමැති බවයි. ඒ බවට ඔබට මෙතනින්, මෙතනින් සහ මෙතනින් පැහැදිලිවම නිරීක්ෂණය කළ හැක.

2019 වර්ෂයේ දත්තයන් බවට පැවසූවද මෙම සමාජ මාධ්‍ය සටහන් වල කිසිදු නිල මූලාශ්‍රයක් හමු නොවුණි.

Archived Link | Archived Link | Archived Link

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ්-19 රෝග කාරක කොරෝනා වෛරස ප්‍රභේද සඳහා නාමකරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. සාමාන්‍ය පුද්ගලයන් යම් සංවාදයකට යොමුවන අවස්ථාවන්වලදී මෙම අක්ෂර භාවිත කිරීම පහසුවක් වීමට ග්‍රීක අක්ෂර යොදා ගැනීම සිදු කරනු ලැබුවා. ඒ පිළිබඳ WHO වාර්තා මෙතනින්. කොවිඩ් ප්‍රභේද යොදා ගැනීම සම්බන්ධ සිංහල බසින් දීර්ඝ පැහැදිලි කිරීමක් මෙතනින්.

ඒ අනුව කොවිඩ් ප්‍රභේද සඳහා ග්‍රීක අක්ෂර යොදා ගනු ලබයි. ග්‍රීක අක්ෂර පිළිබඳ මෙතනින් සහ මෙතනින්.


Source: Adobe Stock Image

මෙම සටහනේ දැක්වෙන්නේ ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය 2021 ජූනි මස පැතිරුණු බවටයි. නමුත් The New York Times වාර්තා පෙන්වා දෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය මේ වර්ෂයේ මාර්තු මසදී හඳුනාගත් බවයි.

The New York Times | Archived Link

ඉහත සටහනේ දක්වා ඇත්තේ Lambda වෛරස් ප්‍රභේදය 2022 වර්ෂයේ දෙසැම්බර් 22 වන දා හඳුන්වා දෙන බවයි. නමුත් එම ප්‍රභේදය Lambda ප්‍රභේදය ප්‍රථම වරට 2020 වර්ෂයේ පසුගිය දෙසැම්බරයේ පේරු හි හඳුනාගෙන තිබුණා.

Aljazeera | Archived Link

එමෙන්ම එහි තවත් රතු ඊතලයකින් දක්වා තිබූ Omega වෛරස් ප්‍රභේදය 2023 වර්ෂයේදී පැමිණෙන බවයි. මෙතෙක් එවැනි කොවිඩ් ප්‍රභේදයක් නම් කර නොතිබුණි.

එමෙන්ම මෙම සටහනින් දක්වා ඇති වර්තමානයේ මේ වන විට ඉතා භයානක බව පැවසෙන ‘ඔමික්‍රොන්’ කොවිඩ් ප්‍රභේදය 2022 මැයි මසදී හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවටයි. නමුත් B.1.1.529 නැතහොත් Omicron ප්‍රභේදය 2021 නොවැම්බර් මස දී හඳුනාගනු ලැබිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙතෙක් නම් කර ඇති කොවිඩ් ප්‍රභේද සහ එය හඳුනාගත් රටවල් ඇතුළු විස්තර පහතින්.

WHO | Archived Link

එමෙන්ම B.1.1.529 කොවිඩ් ප්‍රභේදය සඳහා ‘ඔමික්‍රොන්’ යන ග්‍රීක අක්ෂරය භාවිතා කිරීමත් ඊට පෙර එන ග්‍රීක අක්ෂර ලෙස Nu සහ Xi භාවිතා නොකිරීම සම්බන්ධයෙන් CNN විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ WHO විසින් ඒ පිළිබඳව පවසා ඇත්තේ, Nu යන ග්‍රීක අක්ෂරය උච්චාරණයේදී 'new' ලෙස වරදවා භාවිතා කිරීමට හැකියාව පවතින බවත්, Xi අක්ෂරය යොදා නොගන්නේ Xi යනුවෙන් වාසගමක් පවතින හේතුවෙනි. ඒ බවට පළ වූ CNN වාර්තාව මෙතනින්. Archived Link.

ඉහත සටහනේ Nu සහ Xi ලෙස ද කොවිඩ් ප්‍රභේද වල නම් 2022 වර්ෂයේදී නම් කර ඇති බවට පෙන්වා දෙයි. ඒ අනුව එම කරුණද අසත්‍ය වනවා.

මෙම නිල දත්තයන් නිරීක්ෂණයේදී පැහැදිලි වන්නේ ඉහත සඳහන් සටහනේ දැක්වෙන දත්තයන් පදනම් විරහිත බවයි.

විදේශිකයින් විසින්ද සමාජ මාධ්‍ය හරහා සංසරණය කර තිබූ මෙම සටහන මගින් පෙන්වා දීමට උත්සහ කර තිබුණේ කොවිඩ් සඳහා වන එන්නත් කරණයෙන් වැළකී සිටින ලෙසටයි ඊට හේතුව වශයෙන් පෙන්වා තිබූ එන්නත් මගින් 5G පද්ධතිය සමඟ හසුරුවන මෙහෙයුම් පද්ධතියක් ඔබේ ශරීරය තුළ ස්ථාපනය කරන බවටයි.

මීට පෙර 4G පද්ධතියක්ද මොඩනා එන්නත මගින් ශරීරයේ ස්ථාපනය කරන බවට පළවූ එවැනි සටහන් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනය පහතින්.

FACT CHECK: Moderna එන්නත මගින් අනාගතයේදී මිනිසුන් පාලනය කිරීමේ හැකියාවක්?

එමෙන්ම අප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම සටහන සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, මෙම සටහනේ දැක්වෙන දත්ත නිවැරදි නොවන අතර මෙය හුදෙක් අසත්‍ය පැතිරවීමක් බවයි. එමෙන්ම කෙදිනකවත් එකම ලියවිල්ලක ලෝක සෞඛ්‍ය සංවිධානය, Johns Hopkins University, ලෝක ආර්ථික සංසදය යන ආයතන තුනේම ලාංඡන (Logo) ඇතුළත් එකම වාර්තාවක් එළි නොදක්වන බවයි.

එමෙන්ම අප ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී, ඩෙංගු පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කරන මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන්ද මේ පිළිබඳව විමසීමක් කළ අතර ඇය පවසන්නේ, මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත සටහනක් බවයි.

මේ පිළිබඳව වෙනත් ජාත්‍යන්තර කරුණු විමර්ශන කණ්ඩායමක් විසින් සිදු කළ ලිපියක් මෙතනින්.

Update :ලෝක සෞඛ්‍ය සංවිධානයේ  මෙරට ශාඛාවේ, සෞඛ්‍ය ප්‍රවර්ධන සහ සන්නිවේදන නිලධාරිනි මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී තහවුරු කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කොවිඩ් ප්‍රභේද නාමයන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද්දක් නොවන බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :Fact Cresendo අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙනු ලබන්නේ , සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත සටහනේ දක්වා ඇති දත්තයන් සත්‍ය දත්ත හා සැසඳීමේදී අසත්‍ය සටහනක් බවට ඔප්පු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ කෝවිඩ් දත්තයන් පිළිබඳ දෛනිකව වාර්තා කරන Johns Hopkins විශ්වවිද්‍යාලය හෝ ලෝක ආර්ථික සංසදය එකතුවෙන් මෙවන් වාර්තාවක් එළිදක්වා නොමැති බවයි.

Avatar

Title:ඉදිරියේදී එන්නට නියමිත කොවිඩ් ප්‍රභේද ගැන වාර්තාවක් ලීක්වෙයි?

Fact Check By: Pavithra Sandamali

Result: False