කොරෝනා වෛරස වර්ගයක් වන Covid 19 ව්‍යාප්තිය මගින් ගෝලීය වසංගතයක් නිර්මාණය වීම සමගම කොරෝනා වෛරස මාදිලි, ඒවායේ පැතිරීම හා සම්බන්ධව ලෝකය පුරා විද්‍යාඥයින්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාව තුළද විශාල අවධානයක් යොමුවුණා. එවන් පසුබිමක මේ හා සම්බන්ධව නොමග යවන සුලු ප්‍රචාර විශාල වශයෙන් සමාජ ජාලා තුළ පැතිරීම අදටත් සිදුවෙමින් පවතින කාරණයක්. මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් සහ කොරෝනා වෛරස වර්ග සම්බන්ධයෙන් පැතිරුණු නොමග යවන සුලු ප්‍රචාරයක් පිළිබඳව අප විසින් සිදු කල කරුණු සොයා බැලීමක්.

සමාජ ජාලා සටහන්

ෆේස්බුක් පරිශීලකයෙක් විසින් කොරෝනා වෛරස මාදිලියක් වන NeoCov සම්බන්ධයෙන් දිගු සටහනක් අන්තර්ජාලයට එක්කර තිබුණා.එම සටහන පහතින්.

නව කොවිඩ් වෛරසය හිස ඔසවයිද..??

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

මිනිසාට මාරාන්තික තත්ත්වයක් ඇති කළ හැකි කොරෝනා වෛරසයේ නවතම ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවේ වවුල් විශේෂක් ආශ්‍රිතව හඳුනාගෙන ඇතිබව චීන විද්‍යාඥයින් පිරිසක් අණාවරනය කරගෙන ඇත.

එම වෛරසය මිනිසා අතර සම්ප්‍රේෂනය වුවහොත් සෑම පුද්ගලයන් තිදෙනකුගෙන් එක් අයකු මියයාමේ අවදානමක් පවතින බවට විද්‍යාඥයින් අනතුරු අගවා ඇත.

කිරෝනා වෛරසයේ විකෘති ප්‍රභේදයන් ලෙස හඳුනා ගත් ඩෙල්ටා සහ ඔමික්‍රෝන් මගින් මිනිසාට විශාල බලපෑම් එල්ලවී ඇති පසුබිමක මෙම වෛරසයේ නව ප්‍රභේදය *නියොකොව් * ලෙස හඳුන්වා ඇත. වූහාන් විශ්ව විද්‍යාලය සහ චීන විද්ව විද්‍යාල ඇකඩමියේ විද්‍යාඥයින් මෙම නව ප්‍රභේදය පෙන්වා දී ඇත.

මේ වනවිට ලොව පුරා ව්‍යාප්තව ඇති සියලු කොරෝනා වෛරස් ප්‍රභේද වලට වඩා ඉතා ඉහළ සම්ප්‍රේෂන හැකියාවකින් මෙම * නියොකොව් * ප්‍රභේදය වඩාත් මාරාන්තික වීම ඉතා අවදානම්බව පෙන්වා දී ඇත.

මෙම වෛරසයේ සාන්ද්‍රණ සම්ප්‍රේෂනය වුවහොත් එය ආසාදිත වන පුද්ගලයාගෙන් අතිමහත් බහුතරය මිය යාමේ අවධානමක් පවතින බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

https://www.ndtv.com/.../neocov-chinese-scientists-warn...

කෙසේ වෙතත් මෙම වෛරසය ආසාදනය වූ මිනිසුන් පිළිබඳව තවමත් නිශ්චිතව තොරතුරු අනාවරණය වී නොවන බැවින් නියොකොව් වෛරසය පිළිබඳ තව දුරටත් පරීක්ෂණ සිදු කළයුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසයි .

මීට පෙර 2012 වර්ෂයේ දී මැදපෙරදිග කලාපය ආශ්‍රිතව දැඩි සෞඛ්‍ය තර්ජනයක් එල්ල කළ *මර්ස්* වෛරසයට සමානකම් පවතින නියොකොව් ප්‍රභේදය යම් හෙයකින් ලොව පුරා ව්‍යාප්ත වුවහොත් ඇතිවිය හැකි තත්ත්වය බරපතල බව සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.

මේ අනුව කොරෝනා වෛරසයේ නිරන්තරයෙන් ඇතිවිය හැකි විකෘති ප්‍රභේද වෙනුවෙන් ඒවාට මුහුණ දිම අරමුණු කර ගනිමින් මෙම සියලු වෛරසයන්ට එරෙහිව මතුවටත් ආරක්ෂාව ලැබෙන අයුරින් විශ්මීය කොරෝනා එන්නතක් සංවර්ධනය කිරීමට ඇමරිකානු බලධාරීන් මේ වනවිට පියවර ගෙන ඇත.

"පෑන් කොරෝනා වෛරස් එන්නත" ලෙස හඳුන්වන මෙම එන්නත නම් කර ඇති අතර මෙම එන්නතෙහි නව කටයුතු සඳහා ඇමරිකානු විද්‍යාඥයින් මේ වනවිටත් වැඩ අරඹා ඇත. මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතෙහි නව නිශ්පාදණයක් ලෙසින් ඉදිරිපත් කර ඇති නාසික ඉසින එන්නත පිළිබඳවද සහායික පරීක්ෂණද ආරම්භ කර ඇති බව පැවසේ.

සියල්ල අභිමුව අසරණ වන ලෝක ජනතාව එන්නත්කරණය හමුවේ සියලු සහනය යදිමින් සිටී. නව ප්‍රභේද හමුවේ කෙසේ හෝ මුහුණ දීමට ශක්තිය ඇති කර ගත යුතුය .සියලු දේටම ප්‍රධාන වන්නේ එන්නත්කරණයයි. නොපමාව එන්නත්කරණය සදහා යොමු වන්න. මේ සඳහා කළ හැකි හොඳම විසඳුම එයයි.

රෂිකා සඳමාලි හෙන්නායක

2022.01.29

Facebook | Archived

මෙම සටහන මගින් මතු කිරීමට උත්සාහ දරන්නේ මෙය කොරෝනා වෛරසය නව මාදිලියක් ලෙස සහ ඇතැම් අවස්ථාවලදී කොවිඩ් 19 හි ප්‍රබේද වන ඔමික්‍රෝන් සහඩෙල්ටා වැනි ප්‍රබේදයක් (Variant) බවයි. සැබැවින්ම NeoCov යනු කොරෝනා වෛරස නව ප්‍රබේදයක්ද ? මේ පිළිබඳව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

Fact Check(සත්‍ය කරුණු විමසා බැලීම )

අප මුලින්ම අවධානය යොමුකළේ, NeoCov යනු සැබැවින්ම මෑතකදී සොයාගත් කොරෝනා වෛරස නව කාණ්ඩයක්ද යන්නයි. මෙය ආසන්න වශයෙන් වසර 2013 දී පමණ සිට ලෝක විද්‍යාඥ ප්‍රජාවගේ අවධානයට, පර්යේෂණයන්ට ලක්වූ වෛරස ප්‍රබේදයක් වන බවත් මෙය 2012 දී පමණ ලොව ව්‍යාප්තවූ Middle East Respiratory Syndrome (MERS) වෛරසය හා සමාන ලක්ෂණ සහිත වවුලන් අතර සම්ප්‍රේෂණය වන කොරෝනා වෛරස වර්ගයක් බව අපට දැකගන්නට ලැබුණා. ඒ සම්බන්ධයෙන් 2013 වසරේ පළවූ දකුණු අප්‍රිකානු වවුලන් අතර ව්‍යාප්ත වෙමින් පැවති මෙම වෛරසය පිළිබඳ පර්යේෂණ වාර්තාවක් මෙතනින්.Archived.

දකුණු අප්‍රිකානු වවුල් විශේෂයක මල ද්‍රව්‍ය සාම්පල කොටස් පරීක්ෂාවට ලක්කළ පර්යේෂණ කණ්ඩායම් 2014 වසරේ සිට කරන ලද පර්යේෂණ වලින් NeoCov වෛරසයේ ජාන සංයුතිය නිශ්චය කිරීමට සමත්ව තිබෙනවා. මෙහිදී අනාවරණය වී ඇති කාරණයක් වන්නේ NeoCov වෛරසය නියුක්ලියෝටයිඩ අනුපිළිවෙල අනුව 85% ක් පමණ MERS වෛරසයට සමාන බවයි. මේ පිළිබඳ වැඩිදුර විස්තර මෙතනින්.Archived

ඉහත සටහන් කළ කරුණු අනුව තහවුරු වන කාරණය නම් NeoCov වෛරසය මෑතදී සොයාගත් බව සහ එයඩෙල්ටා ,ඔමික්‍රෝන් වැනි කොවිඩ් 19 හි ප්‍රබේදයක්(Variant) ලෙස හැගවීමට උත්සාහ දරන සමාජ ජාලා සටහනේ කරුණු අසත්‍ය සහ නොමග යවනසුලු බවයි.

Charité – Universitätsmedizin Berlin නම් යුරෝපයේ ප්‍රධානතම වෛද්‍ය පර්යේෂණ සහ අධ්‍යාපන ආයතනයක ප්‍රකාශකයෙක් රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබුණේ NeoCov වෛරසය වවුලන් අතර සම්ප්‍රේෂණය වීම හැරුණු කල එය මිනිසුන් හෝ වෙනත් සත්ව විශේෂයකට සම්ප්‍රේෂණය වීම පිළිබඳව මෙතෙක් කිසිදු සාක්ෂියක් හමු වී නොමැති බවයි. එසේම දැනට පවතින දත්ත අනුව එය මිනිසාට සම්ප්‍රේෂණය වීම සිදුවිය නොහැකි බවයි ඔහු පවසා තිබුණේ. මේ සම්බන්ධයෙන් වන රොයිටර්ස් වාර්තාව මෙතනින්. Archived.

චීනයේ වූහාන් විද්‍යාඥයන් කණ්ඩායමක් NeoCov වෛරසය පිළිබඳව මෑතකදී සිදුකළ අනාවරණය කිරීම් පවතීද ? ඒ මොනවාද? මෙම වෛරසය මිනිසාට සම්ප්‍රේෂණය වීමෙන් එය වැළදෙන තිදෙනෙකුගෙන් එක් අයෙක් මිය යන බවට ඔවුන් පවසා ඇද්ද ?මේ පිළිබඳවද අප ගවේෂණයක් සිදු කළා.

Peer Review කිරීමට නියමිත පර්යේෂණ පත්‍රිකාවක් චීන විද්‍යාඥයන් පිරිසක් විසින් අන්තර්ජාල වෙබ් අඩවියක පළ කර තිබුණා. එම පත්‍රිකාව පළකර තිබුනේ වූහාන් විශ්ව විද්‍යාලයේ සහ චීන විද්‍යා ඇකඩමියේ පර්යේෂකයින් පිරිසක්. එම පත්‍රිකාව මෙතනින්.

ඔවුන් මෙම පර්යේෂණ පත්‍රිකාව මගින් ප්‍රධානසොයා ගැනීම් දෙකක් විස්තර කරනු ලබනවා. MERS වෛරසය මිනිස් සිරුරට පිවිසෙන්නේ සෛල පටලයේ පිහිටා ඇති DPP4 නම් ප්‍රතිග්‍රාහක විශේෂය හරහායි. කෙසේ වෙතත් NeoCov වෛරසය වවුලන්ගේ සිරුරු තුළට ඇතුලුවන්නේ කුමන මාර්ගයකින්ද යන්න මෙතෙක් රහසක්ව පැවතුණා. කෙසේ වෙතත් මෙම චීන පර්යේෂණ කණ්ඩායම අනාවරණය කරගත්තේ NeoCov වවුලන්ගේ සිරුරට ඇතුලු වන්නේ ඔවුන්ගේ සෛලවල සෛල පටලයේ ඇති ACE2 නම් ප්‍රතිග්‍රාහක විශේෂයක් හරහා බවයි. මිනිස් සෛලවලද hACE2 ප්‍රතිග්‍රාහක පවතිනවා. කෙසේ වෙතත් චීන විද්‍යාඥ කණ්ඩායම සිදු කල පර්යේෂණ වලින් අනාවරණය කරගෙන ඇත්තේ hACE2 ප්‍රතිග්‍රාහක ඔස්සේ NeoCov වෛරසයට මිනිස් සිරුරට ඇතුලුවිය නොහැකි බවයි. කෙසේ වෙතත් මෙම පර්යේෂණ පත්‍රිකාව මගින් ඔවුන් අනතුරු හඟවන්නේ කිසියම් ආකාරයක ජාන විකෘතියකට ලක්වුවහොත් මෙම වෛරස් ප්‍රබේදය මගින් වුවත් මිනිසාට අහිතකර තත්ත්වයක් ඇතිවිය හැකි නිසා මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවයි.

කෙසේ වෙතත් ඉහත සඳහන් චීන විද්‍යාඥයන්ගේ පර්යේෂණ පත්‍රිකාවේද NeoCov වැළදී තුන් දෙනෙකුගෙන් එක් අයෙක් මිය යන බව හෝ එය මිනිසා හරහා වේගයෙන් සම්ප්‍රේෂණය වන බවත් සඳහන්ව නැහැ. කෙසේ වෙතත් එම පර්යේෂණ පත්‍රිකාවේද මෙහි ජාන සංයුතිය බොහෝ දුරට MERS වෛරසයේ ජාන සංයුතියට සමාන බව සඳහන්ව තිබෙනවා . MERS වෛරසය වැළදුනු 35% ,(තිදෙනෙකුගෙන් එක් අයෙක්) මියගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කෙසේ වෙතත් ඔවුන් වැඩිදුරටත් දක්වා ඇත්තේ සුලු රෝග ලක්ෂණ සහිත රෝගීන් වාර්තා නොවීම නිසා මරණ ප්‍රතිශතය මීට වඩා අඩුවිය හැකි බවයි.

කෙසේවෙතත් මෙම කොරෝනා වෛරස මාදිලිය මගින් මිනිසාට තර්ජනයක් ඇතිවිය හැකිදැයි තවදුරටත් අධ්‍යයනය කිරීම අවශ්‍ය බවයි ,රුසියානු TASS පුවත් ඒජන්සියට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පවසා ඇත්තේ. ඒ පිළිබඳ වැඩිදුර විස්තර මෙතනින්.Archived.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ ඉහත සමාජ ජාලා සටහනේ NeoCov වෛරසය පිළිබඳව ඇති සටහන් නොමග යවන සුලු බවයි. NeoCov වෛරසය අලුතින් සොයාගත් වෛරසයක් නොවේ. එය 2012-13 වකවානුවේ සිට විද්‍යාඥයන්ගේ අවධානයට ලක්වූ වෛරසයක්. එමෙන්ම එය ඩෙල්ටා, ඔමික්‍රෝන් වැනි කොවිඩ් 19 හි විකෘති ප්‍රබේදයක්ද නොවන අතර එය වෙනස් කොරෝනා වෛරස වර්ගයක් . එමෙන්ම චීන, වූහාන් විද්‍යාඥයන් විසින් එය වේගයෙන් මිනිසා අතර පැතිරෙන වෛරසයක් ලෙස හෝ ආසාදිත තිදෙනෙකුගෙන් එක් අයෙකු මිය යන වෛරසයක් ලෙස ඔවුන්ගේ පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් කර නැහැ. ඔවුන් පවසා ඇත්තේ එහි විකෘති ප්‍රබේද ඇතිවේද යන කාරණය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි.

Also Read: Is NeoCov A New Variant Of Coronavirus Like Omicron?

Avatar

Title:අලුතින් හදුනාගත් කොරෝනා වෛරස විශේෂයක් වන “NeoCov” ,ආසාදිතයින් 35% ක් මරුට ??

Fact Check By: Kalana Krishantha

Result: Misleading