ශ්‍රී ලංකාවේ පා පන්දු ක්‍රීඩාවට නව එලියක් එක් කරමින් ලොව අවධානය දිනා ගැනීමට ආසියාවේ විශාලතම පා පන්දු ක්‍රීඩංගනය මෙරටේ ඉදි කිරීමට නියමිත පසුගියදා පළවූ පුවත්පත් වාර්තාවක් පාදක කරගනිමින්, එම යෝජිත ක්‍රීඩාංගනය බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප වල දැක්වෙන්නේ සැබවින්ම මෙරට ඉදිකිරීමට නියමිත බව පැවසෙන ආසියාවේ විශාලතම පා පන්දු ක්‍රීඩංගනයේ ඡායාරූපයක් ද? මේ ඒ පිළිබඳව අප කළ විමසා බැලීමක්.

සමාජ මාධ්‍ය සටහන් :

දකුණු ආසියාවේ විශාලතම පාපන්දු ක්‍රීඩාංගනය කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට සූදානමක් පවතින බව වාර්තා වනවා. මෙම සුවිසල් ක්‍රීඩාංගනය සම්පූර්ණයෙන්ම අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ (FIFA)පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ ඉදි කරනු ලබනවා.” යනුවෙන් සඳහන් කරමින් ඉදිකරීමට නියමිත එම ක්‍රීඩාංගනයේ ඡායාරූපයක් බවට හඟවමින් එම ෆේස්බුක් සටහන පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එසේම මෙම යෝජිත ක්‍රීඩාංගණය චීන ආකෘතියකට අනුව සැකසෙන බව දක්වමින් මෙම ඡායාරුපය හුවමාරු කරගෙන තිබු තවත් සටහනක් පහතින්.

මේ තේමාවෙන් හුවමාරු වූ තවත් සටහන් පෙළක් පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

දකුණු ආසියාවේ විශාලතම පා පන්දු ක්‍රීඩාංගනය කොළඹ වරාය නගරයේ ඉදි කිරීමට නියමිත වී ඇත්දැයි විමසීම සඳහා අප ප්‍රථමයෙන්ම කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානීවරයාගෙන් මේ පිළිබඳව විමසීමක් සිදු කළා.

ඒ මහතා සඳහන් කළේ, වරයා නගරය තුළ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා සංකීර්ණයක් සඳහා ඉඩක් වෙන් කිරීමට සැලසුම් කිරීමේ මුල් අදියරේදී සලකා බැලිය මුත්, විවිධ තාක්ෂණික සහ ශක්‍යතා හේතූන් මත එය 2016 දී සම්මත කර ගත් ප්‍රධාන සැලැස්ම වෙත ඇතුළත් කර නොමැති බවයි.

එසේම වරාය නගරය තවමත් ඉදි කිරීමේ මුල් අදියරේ පවතින බැවින් සමස්ත ව්‍යාපෘති දැක්මට සහ ස්ථානගත කිරීමට බාධාවක් නොවන්නේ නම් සෑමවිටම වර්තමාන සංසිද්ධි ඇගයීමට ලක් කර ඒ අනුව ප්‍රධාන සැලැස්ම සංශෝධන කළ හැකි බැවින් ශ්‍රී ලංකා රජය සහ වරාය නගරය කොමිෂන් සභාව ඉඩම්වල හිමිකරුවන් වන බැවින් ඔවුන්ට නිසි ඇගයීම් මත ඕනෑම වෙනසක් කළ හැකි බවත් ඔහු සඳහන් කළා.

මෙම අවස්ථාවේදී, වරාය නගරයේ දකුණු ආසියාවේ විශාලතම පාපන්දු ක්‍රීඩාංගනය ඉදිකිරීමට නියමිතද යන්න සම්බන්ධයෙන් වරාය නගර ව්‍යාපෘති සමාගමේ පාර්ශ්වයෙන් අදහස් දැක්වීමට නොහැකි බවත් ඊට හේතුව වන්නේ එය ප්‍රථමයෙන් ශ්‍රී ලංකා රජය විසින් ඇගයීමට ලක් කළ යුතු බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.

කෙසේ වෙතත් කොළඹ වරාය නගරය තුළ දකුණු ආසියාවේ දැවැන්තම පාපන්දු ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීමට සූදානම් බවත් මේ සඳහා අවශ්‍ය ඉඩම වෙන් කරවා දීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බව පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා පැවසූ බවත්, ඉතා ඉක්මනින් කොළඹ වරාය නගරය තුළ පිහිටි ඉඩම ගැනීමත් සමඟ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කළ හැකි බව සභාපතිවරයා පැවසූ බවට දිනමිණ පුවත් වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived

එම පුවත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිල ෆේස්බුක් පිටුවේ ද මෙසේ හුවමාරු කරගෙන තිබූ බැවින් අප මේ පිළිබඳ පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා මෙන්ම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධ කරගැනීමෙන් පසුව යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

එමෙන්ම අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ගිහානී ඉන්ෆැන්ටිනෝ මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ මෙරට අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට ආධාර දෙන බවට එකඟතාව දක්වා ඇති හෙයින් කොළඹ වරාය නගරය තුළ පාපන්දු ක්‍රීඩාංගණය ඉදි කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වී ඇතැයි උමර් මහතා සඳහන් කළ බවද ඉහත පුවත වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.

සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබු ඡායරූපයේ පසුබිම

චීන පාපන්දු සංගමයේ කණ්ඩායම චීනයේ Guanzhou ප්‍රදේශයේ Evergrande ආයතනය විසින් 2022 වන විට නිම කිරීමට බලාපොරොත්තු වන ලොව විශාලතම පාපන්දු ක්‍රීඩාංගයේ ඡායාරූපයක් ඉහත සමාජ මාධ්‍ය සටහන් සඳහා භාවිතා කර ඇති බව, සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබු ඡායාරුපය Reverse Image සෙවුමකට යොමු කල විට අපට නිරීක්ෂණය වුණා.

එම ක්‍රීඩාංගනය ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 1.7 ක ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත්, එහි ආසන ධාරිතාව 100,000ක් බවටයි පුවත් වාර්තා පෙන්වා දෙන්නේ. මෙම ක්‍රීඩාංගනය පිළිබඳ පළ වූ වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

Forbes.com | Archived Link Business Insider

ESPN FC නිල ට්විටර් ගිණුමේ මෙම ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් දක්වා තිබුණේ මෙලෙසින්.

https://twitter.com/ESPNFC/status/1251585970677350404

එසේම 2022 වසරේ නිම කිරීමට යෝජිතව තිබු මෙම ක්‍රීඩාංගනය Guangzhou Evergrande පාපන්දු ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් මූල්‍යමය හේතු මත මාස ගණනක් තිස්සේ නවතා තිබූ බවට ද චීන රජයේ බලධාරීන් විසින් මෙහි ඉදිරි කටයුතු පවරා ගත් බවටත් පුවත් මෙසේ වාර්තා වී තිබුණා.

ආසියාවේ / දකුණු ආසියාවේ විශාලතම ක්‍රීඩාංගන

ආසියාවේ මෙන්ම ලෝකයේ ද විශාලතම ආසන ධාරිතාව ඇති පාපන්දු ක්‍රීඩාංගනය වන්නේ, උතුරු කොරියාවේ Pyongyang හි පිහිටා ඇති, ආසන ධාරිතාව 150,000ක් වූ Rungnado May Day Stadium ක්‍රීඩාංගනයයි. ආසියාවේ විශාලතම පාපන්දු ක්‍රීඩාංගන සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්.

දකුණු ආසියාවේ විශාලතම ක්‍රීඩාංගනය ලෙස සඳහන් වන්නේ ඉන්දියාවේ Narendra Modi Stadium වන අතර මෙය ප්‍රධාන වශයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොදා ගැනෙන අතර විශාලතම දකුණු ආසියාතික පාපන්දු ක්‍රීඩාංගනය ලෙස 85,000 ක පමණ ආසන ධාරිතාවක් සහිත කල්කටාවේ Salt Lake ක්‍රීඩාංගනය හැඳින්වේ. මේ පිළිබඳ තොරතුරු මෙතනින්

එසේම FIFA ලෝක කුසලාන අවසන් තරඟ පැවැත්වීම සඳහා ක්‍රීඩාංගනයකට අවශ්‍ය අවම ධාරිතාව ලෙස ආසන ධාරිතාව 40,000 හෝ ඊට වැඩි ධාරිතාවක් විය යුතු වෙනවා.

මේ අනුව මෙරට වරාය නගරය තුළ දකුණු ආසියාවේ විශාලතම පාපන්දු ක්‍රීඩාංගනය ඉදි කිරීම ඉදිරියේදී සිදු විය හැකි වුවද සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබු සටහන් සඳහා යොදාගෙන තිබුණේ චීනයේ ඉදිවෙමින් පවතින විශාල පාපන්දු ක්‍රීඩාංගනක ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන අවස්ථාවේ යොදාගත් ආකෘතියේ ඡායරූපයකි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Read more : Port City තුළ භාවිතය සඳහා රු.10,000ක නෝට්ටුවක් චීන රජය විසින් නිකුත් කළාද?

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ දකුණු ආසියාවේ විශාලතම පාපන්දු ක්‍රීඩාංගනය කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට සූදානමක් පවතින බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ඡායාරූපය, චීනයේ ඉදිවෙමින් පවතින විශාල පාපන්දු ක්‍රීඩාංගනක ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන අවස්ථාවේ යොදාගත් ආකෘතියේ ඡායරූපයක් බවයි.

Read more : Galleface Green ඉදිරිපිට ලංකාවේ විශාලතම මුස්ලිම් පල්ලි ඉදිකිරීමට මුල්ගල තිබ්බාද?

Avatar

Title:වරාය නගරය කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට සුදානම් වන දකුණු ආසියාවේ විශාලතම පාපන්දු ක්‍රීඩාංගනයේ ඡායාරූපයක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: Missing Context