මතුගම බාලිකා පාරේ නිවසකට කඩාවැදී තිදරු මවක වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම මෙහෙයවා ඇත්තේ එම ප‍්‍රදේශයේ පාතාල කණ්ඩායමකට නායකත්වය ලබාදෙන පාතාල ප‍්‍රබයෙකුගේ බිරිඳ බවත් පොලීසිය සඳහන් කළා. අත්අඩංගුවට පත් මෙම කාන්තාව පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක තනතුරට පත් කර ඇති බවට පළ වූ සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

මතුගම වෙඩිතබා ඝාතනය කොට ඇත්තේ, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ගජමිතුරෙකු වන ශාන්ගේ බිරිඳ ටනීෂා ලක්මාලි බවත් පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක තනතුරද පියල් මහතා විසින් එම කාන්තාවට ලබා දී ඇති බවත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

මෙම කාන්තාව පරිවාස හා ලමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව සහකාර අධ්‍යක්ෂක වරියක් බවට සඳහන් කරමින් පළ වී තිබූ ෆේස්බුක් සටහන් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පසුගිය පෙබරවාරි 15 වන දා මතුගම තිදරු මවකගේ හිසට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ඝාතනය සැලසුම් කිරිමට කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බවට මතුගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මතුගම ශාන් අරෝස් නැමැත්තාගේ බිරිඳ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව ප්‍රධාන මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

එමෙන්ම අත්අඩංගුවට පත් මෙම කාන්තාව රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ නිලධාරිනියක් වශයෙන්ද කටයුතු කරන බවටද ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණේ මෙලෙසින්. Archived Link

මෙම කාන්තාව පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක තනතුරක් හෙබවූවාද යන්න නිරීක්ෂණය කිරීම සඳහා අප ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වෙත අපගේ අවධානය යොමු කළ අතර, එවන් පුවතක් වාර්තා නොවී ඇති බවට අපට දැක ගන්නට ලැබුණා.

ඉන් අනතුරුව අප අත්අඩංගුවට පත් එම කාන්තාව වන ටනීෂා ලක්මාලි සමරවීර යන තැනැත්තිය සැබවින්ම පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක තනතුරක් හෙබවූවාද යන්න විමර්ශනය කිරීම සඳහා අප ප්‍රථමයෙන්ම එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය නිරීක්ෂණය කරනු ලැබුවා.

පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ ටනීෂා ලක්මාලි සමරවීර නමැත්තියෙකු එම වෙබ් අඩවියේ දක්වා නොතිබුණි. වෙබ් අඩවියේ දක්වා ඇති කාර්ය මණ්ඩලය පිළිබඳ මෙතනින්. Archived Link

ඒ හේතුවෙන් අප එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් එච්. ඩබ්. සුධීර නිලංග විතාන මහතාගෙන් දුරකතන මාර්ගයෙන් අප විමසීක් කළ අතර ඔහු සඳහන් කළේ, එම දෙපාර්තමේන්තුවේ ඉහත නම සඳහන් කාන්තාවක් සේවය නොකරන බවයි. එමෙන්ම සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂකවරියක් සිටින බවත් ඇය ඩී. එන්. ගමගේ නමැති මහත්මියක් බවත් ඒ මහතා සඳහන් කළා.

මතුගම තිදරු මවක් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක ධුරයේ සේවය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරීමත් සමග එම පුවත අසත්‍ය බව සඳහන් කරමින් තමන් මාධ්‍ය දැනුවත් කිරීමට ද, පියවර ගත් බව කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ පිළිබඳව අප පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාතේ, මතුගම පරිවාස කාර්යාලයෙන්ද විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටියේද, එනමින් කාර්ය මණ්ඩල සේවකයෙකු නොසිටන බවයි.

අප මේ පිළිබඳව කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, අත්අඩංගුවට පත් එම තැනැත්තිය පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය නොකරන බවයි. ඇය රජයේ ආයතනයක නිලයක් නොදරන බවත් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

එමෙන්ම මෙම සැකකාර කාන්තාව රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ නිලධාරිනියක් වශයෙන්ද කටයුතු කරන බවටද හොඩුවාවක් ලැබී තිබෙන අතර විමර්ශන කටයුතු මූලික වශයෙන් තිදරු මවගේ ඝාතනය සම්බන්ධ සිදුවන බව ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

මේ පිළිබඳව කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක වරයා සඳහන් කළේ, එම තැනැත්තියගේ ස්වාමිපුරුෂයා රාජ්‍ය අමාත්‍යවරයා සමගින් ලබා ගත් ඡායාරූපයක් අවභාවිතකොට ඔවුන් රාජ්‍ය අමාත්‍යවරයාගේ මිතුරන් බවට සමාජගත කිරීමට උත්සහ දරන බවත්, පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක ධුරයට එම කාන්තාව පත් කළ බවත් සඳහන් කරමින් සහ එම තැනැත්තිය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය බවට සඳහන් කරමින් අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවයි.

සැ.යු : සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් කාන්තාව සැබවින්ම රාජ්‍ය අමාත්‍ය පියාල් නිශාන්ත මහතාගේ හෝ වෙනත් රාජ්‍ය අමාත්‍යවරයෙක්ගේ හෝ වරියක්ගේ සම්බන්ධීකරණ නිලධාරිනියක් වශයෙන් කටයුතු කරනවාද, නැද්ද යන්න අපට ස්වාධීනව සත්‍යාපනය කළ හැකි කරුණක් නොවේ. මෙහිදී අප පෙන්වා දී ඇත්තේ අත්අඩංගුවට පත් ටනීෂා ලක්මාලි සමරවීර නම් කාන්තාව පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක ධුරයේ සේවය නොකරන බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, මතුගම තිදරු මව වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වී සිටින ටනීෂා ලක්මාලි සමරවීර තැනැත්තිය පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක ධුරය හොබවන බවට පළ වූ සටහන් අසත්‍ය බවයි. එවන් තැනැත්තියක් එම දෙපාර්තමේන්තුවේ මීට පෙරද සේවය නොකළ බවට එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා පැවසූ අතර, කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාද මේ පිළිබඳ තහවුරු කළා.

Avatar

Title:මතුගම තිදරු මව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ අත්අඩංගුවට පත් වුණේ, පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව, සහකාර අධ්‍යක්ෂකවරියක්ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading