
ලංකාවේ පැතිර යන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ලත් සමගම විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද ජනාධිපති සහ රජයට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් උද්ඝෝෂණ පවත්වමින් සිටිනවා. එම උද්ඝෝෂණ පිළිබද ව්‍යාජ සහ නොමඟ යවන සුළු තොරතුරුද ඇතැම් අවස්ථාවලදී සමාජ ජාලා හරහා පැතිරෙනවා.
මැයි 1 වැනිදා ලන්ඩන් නුවර ද ලංකාවේ පාලකයින්ට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් ආරම්භ වුණා. එම උද්ඝෝෂණයට සහභාගීවූ පිරිස් LTTE ධජය අතදරා සිටි බව හැඟවෙන සේ නොමග යවන සුලු ඡායාරූපයක් සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්.
සමාජ ජාලා සටහන්
ලන්ඩන් හි වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව අසල, කොටි සංවිධානයේ කොඩි අතැතිව, උද්ඝෝෂණය කරන පිරිසකගේ ඡායාරූපයක් යොදාගත් සටහනක් මඟින් හැඟවීමට උත්සාහ කර තිබුණේ, ලංකාවේ අරගලයට සහාය දක්වමින් මැයි 1 වනදා වෙස්ට්මින්ස්ටර පාර්ලිමේන්තුව අසල පැවැත්වූ උද්ඝෝෂණයේදී කොඩි සංවිධානයේ කොඩි ඔසවාගත් පිරිසක් සිටි බවයි.
එම සටහන හුවමාරු වී තිබුනේ පහත වදන් පෙළද සමඟින්.
“ අද දිනයේ ලන්ඩන් නගරයේ
ගෝගෝටාහෝම්ලු.
මම හැම නිතරම කියනවා මේ ප්‍රශ්නය තෙල්මිල,හාල්මිල ප්‍රශ්නයක් නෙවෙයි කියලා.
මුන්ව පන්නන්න සිංහලයා එකතු වෙමු.”

ලන්ඩන් නුවර පැවති Gota Go Home උද්ඝෝෂණයේ අවස්ථාවක් මෙමගින් නිරූපණය වේද ?මෙම ඡායාරූපයේ සැබෑම පසුබිම් කතාව කුමක්ද ??ඒ පිළිබදව විමසා බැලීමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම )
මැයි 1 වැනිදා ලන්ඩන් නුවර ආරම්භ වූ, ඉදිරි සති 2 ක කාලයක් පැවැත්වීමට අදහස් කෙරෙන බව වාර්තා කර තිබු, රාජපක්ෂ විරෝධී උද්ඝෝෂණයට, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ ධජ රැගත් පිරිස් පැමිණ සිටි ආකරයක් වාර්තා වුණි ද යන්න දැන ගැනීමට කිරීමට, මුලින්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මඟින් එම සිදුවීම වාර්තා කළ ආකාරය පරීක්ෂා කර සිටියා.
BBC සිංහල (Video) | Lankadeepa (Photos)
මේ කිසිවක අපට ඉහත දැක්වෙන ආකාරයේ දෙමළ ඊළාමයේ ධජ අතැති පිරිස් සිටින ආකාරයක් දැක ගන්නට ලැබුනේ නැහැ.
මේ අනුව අප Reverse Image Search මගින් සමාජ මාධ්‍ය සටහන්හි හුවමාරු වන ඡායාරූපය පිළිබදව සොයා බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙය මෑතක දී ලබාගත් ඡායාරුපයක් නොව, 2009 වසරේ අප්‍රේල් මස Oli Scarff නම් ඡායාරුප ශිලිපියෙක් විසින් ලබාගෙන තිබු ඡායාරුපයක් බවයි.
දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයින් විසින්, වර්තමාන ලන්ඩන් උද්ඝෝෂණ පවත්වන, වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව අසල දී ම, 2019 වසරේ පවත්වා තිබු මෙම උද්ඝෝෂණයේ දී පවසා තිබුනේ ශ්‍රී ලංකා හමුදාවන් මගින් යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය කරන බවත් ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය නවත්වන ලෙසත් ය
එම මුල් ඡායාරූපය Getty Images ඔස්සේ පහතින්.
ඉන් අනතුරුව අප විසින් අවධානය යොමු කලේ මැයි 1 දින ලන්ඩනයේ ආරම්භ වූ උද්ඝෝෂණයේ සමාජ මාධ්‍ය ඔස්සේ පලවී තිබු රූප රාමු පිළිබදවයි . එහිදී අපට වීඩියෝ දර්ශන කිහිපයක් මගින් පැහැදිලිවම දැකගන්නට ලැබුණේ උද්ඝෝෂකයන් අත රැදී තිබුණේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩි සහ විවිධ සටන් පාඨ මිසක දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයට අයත් කොඩියක් නොවන බවයි.
ඒ සම්බන්ධ වීඩියෝවක් පහතින් .
ඒ සම්බන්ධ තවත් වීඩියෝ මෙතනින් සහ මෙතනින්.
කෙසේවෙතත් මෙසේ මැයි1 වැනිදා ආරම්භ වූ මෙම ලන්ඩන් උද්ඝෝෂණය, තවත් සති 2 ක කාලයක් පැවැත්වීමට අදහස් කර ඇති බව ද වාර්තා වෙනවා.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද කරුණු විමර්ෂණයේ දී තහවුරු වූයේ වර්තමාන ලන්ඩන් උද්ඝෝෂණ අතර තුර ලබාගත් ඡායාරුපයක් ලෙස හඟවමින් හුවමාරු වන්නේ 2009 වසරේ අප්‍රේල් මාසයේ දී ලන්ඩනයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයින් පිරිසක් විසින් පැවැත්වූ උද්ඝෝෂණයක දී ලබාගත් ඡායාරුපයක් බවයි. මෙම උද්ඝෝෂණ දෙකම පවත්වා තිබුණේ ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව අසල දීය.

Title:#GoHomeGota ලන්ඩන් විරෝධතාවයේදී LTTE ධජ අහසේ ලෙළ දුන්නාද ??
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,