විදේශ රටවල බහු ජාතික සමාගම්වල උප සමාගම් ආරම්භ කිරීම නිසා යටිතල පහසුකම් සංවර්ධනය වීම හා රැකියා අවස්ථා හිමි වීම, විදේශිය රටවල ප්‍රසිද්ධ අවන්හල් වල අත්දැකීම් විඳ ගැනීමට අවස්ථා උදාවීම වැනි කරුණු හේතුවෙන් බහු ජාතික සමාගම් කෙරෙහි ඇතැම් පාරිභෝගිකයන් පසු වන්නේ තෘප්තියෙනි. එසේම බහු ජාතික සමාගම් ව්‍යාප්ති තුළින් දේශීය ව්‍යාපාර කෙරෙහි ඇතිවන බලපෑම පිලිබඳව කණස්සල්ලෙන් පසුවන පිරිසක් ද සිටිනවා.

කෙසේ වෙතත් මෙම බහු ජාතික සමාගම්, පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙරටින් ඉවත් වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබූ සටහන් සම්බන්ධයෙන් අප කළ කරුණු පැහැදිලි කිරීමක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

රුපියල කඩා වැටීමත් සමග බහු ජාතික සමාගම් ශ්‍රී ලංකාවෙන් පිට වීමට සැරසෙන ලකුණුයනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

KFC, Domino’s Pizza Pizza Hut MCdonald, Coca-cola, Pepsi වැනි බහු ජාතික සමාගම් මෙරටින් පිටවීමට සූදානම් ලෙසයි මෙමගින් පෙන්වා දී තිබුණේ.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Instagram ඔස්සේ මෙම සටහන සංසරණය වූයේ මෙලෙසින්.

https://www.instagram.com/p/Cd7_827LLqK/?utm_source=ig_web_copy_link

Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙරට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ පවතින ඉහත සඳහන් ආහාර වර්ග සැපයීමේ නිරත වන බහු ජාතික සමාගම් (Multi-National Companies – MNCs) මෙරටින් පිටත් වීමට සූදානම් වීමේ තීරණයක් ඇත්දැයි යන්න පිළිබඳ අප විමසා බැලීමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

බහු ජාතික සමාගම් ලෝක ආර්ථිකය තුළ විවිධ අංශ කෙරෙහි බලපෑමක් ඇතිකර ගැනීමට සමත් වී තිබෙනවා. මෙම බහුජාතික සමාගම්වල උප ශාඛා ඔස්සේ විශාල සේවකයින් සංඛ්‍යාවකට රැකියා අවස්ථා ලැබීමේ අවස්ථා හේතුවෙන් විදේශ රටවල සේවා නියුක්ති අවස්ථා නිර්මාණය කිරීමට උපකාරී වේ.

එවන් පසුබිමක ඉහත සඳහන් බහු ජාතික සමාගම්, ලංකාවේ වර්තමාන ආර්ථික අවපාතය හමුවේ, මෙරටින් ඉවත් වීම සම්බන්ධ මෙම පුවත පිළිබඳ බොහෝ පිරිසක් අවධානයෙන් පසු වනවා.

අප ප්‍රථමයෙන්ම පරීක්ෂා කරනු ලැබුවේ ප්‍රධාන මාධ්‍ය ධාරා ඉහත සඳහන් බහු ජාතික සමාගම් මෙරටින් ඉවත් වීමේ සූදානම සම්බන්ධයෙන් වාර්තා කර ඇත්දැයි යන්නයි.

නමුත් එවැනි පුවතක් අපට දැක ගන්නට නොලැබුණි.

මේ හේතුවෙන් අදාළ සමාගම් වලින් මේ පිළිබඳව විමසා බැලීමක් කිරීමට අප පියවර ගනු ලැබුවා.

KFC Sri Lanka

ලංකාවේ KFC සමාගම අයිතිය ඇත්තේ Cargills (Ceylon) PLC සමාගමටයි. ඒ අනුව, අප එහි අලෙවි කළමනාකරු වන ආදිල් හෆීස් මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබූ අතර ඔහු සඳහන් කළේ, එය සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා මව් සමාගමෙන් හෝ කිසිදු දැන්වීමක් සිදු නොකර ඇති බවයි.

Pizza Hut Sri Lanka

මෙරට Gamma Pizzakraft Lanka (Pvt) Ltd අයත් Pizza Hut සමාගමෙන් ද අප විමසා සිටියේ මෙරට පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙරටින් පිටත්වීමේ සූදානමක් පවතිනවාද යන්නයි. ඔවුන් සඳහන් කළේ, එවන් තීරණයක් ගෙන නොමැති බවත් එම සටහන් අසත්‍ය බවත්ය.

Domino's Pizza Sri Lanka

Jubilant Food Works Ltd සමාගමට මෙරට Domino's Pizza ආයතනය අයත් වන අතර එහි ඉහළ කළමණාකාරීත්වය ද, පවසා සිටියේ එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

McDonald's Sri Lanka

Abans Restaurant Systems Ltd යටතේ ලංකාවේ ක්‍රියාත්මක වන McDonald's අවන්හල් ජාලයේ මෙරට මව් ශාඛාවෙන් ද තහවුරු කරනු ලැබුවේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි.

Coca-Cola Sri Lanka

Coca-Cola Beverages Sri Lanka Ltd ආයතනයට අයත් මෙම සමාගමේ කලාප කළමනාකරු වන රජිව් සෙනෙවිරත්න මහතාගෙන් අප විමසීමක් සිදු කළේ, පවතින ආර්ථීකය මත මෙරටින් Coca-Cola සමාගම ඉවත් වීමට ඉඩ තිබෙනවාද යන්නයි.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙම ආයතන සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ඩොලර් හිඟවීම හේතුවෙන් පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා කොකා කෝලා ආයතනයේ විධායක නිලධාරී ඇතුළු සිසිල් බීම වර්ග නිෂ්පාදනය කරන අනෙකුත් ආයතනයන්හි විධායක නිලධාරීන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි.

අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වී ඇති පරිදි බීම වර්ග නිෂ්පාදනය කරන ආයතන සඳහා ආනයනයන් සිදු කිරීමට ඩොලර් සපයා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු පවසා සිටියා.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පරිදි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Pepsi Sri Lanka

මෙරට Pepsi ආයතනය අයිතිය ඇති VARUN BEVERAGES LANKA PVT LTD ආයතනයේ කළමනාකරුවෙකු වන චාලක දළුවත්ත මහතා සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. Pepsi ආයතනය මෙරටින් ඉවත් කිරීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මීට පෙර ආර්ථික අවපාතයකට ලක්වූ රටවල් මෙම තත්ත්වයට මුහුණ දුන්නේ කෙසේ ද?

ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි වෙනිසියුලාවේ ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටීම සමග ලෝක ප්‍රසිද්ධ සමාගම් සියල්ල රට දමා ගොස් ඇති බවට සඳහන් කරමින් ඉහත සඳහන් සමාගම්ද මෙරටින් පිටවන බවට අනුමාන කරන බවට සඳහන් කර තිබුණේ මෙලෙසින්. Archived Link

ඒ පිළිබඳව ද අපගේ අවධානය යොමු වූ අතර ඒ සම්බන්ධ තොරතුරු පරිශිලනය කිරීමෙන් දැක ගන්නට ලැබුණේ, ලෝකයේ විශාලතම තෙල් සංචිත තිබියදීත්, 2018 වසරේ වෙනිසියුලාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණු පසුත් ඇතැම් බහු ජාතික සමාගම් වෙනුසියුලාවෙන් පිටත් වී තිබුනේ නැති බවයි.

Clorox, Kimberly-Clark, General Mills, General Motors සහ Harvest Natural Resources ඇතුළු සමහර සමාගම් වෙනිසියුලාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වූවත්, Ford, Colgate, Johnson & Johnson, Fiat Chrysler සහ තවත් බහුජාතික සමාගම් 150ක් වෙනිසියුලාවේ රැඳී සිටි සමාගම් අතර, අඩු වැඩ කාලසටහන් සහ කප්පාදු කිරීම් මෙන්ම, ඔවුන්ගේ නිෂ්පාදන සීමිත තේරීමක් වෙළඳපොළට ඉදිරිපත් කර තිබුණා.

වෙනිසියුලාවේ කිරි සහ සබන් වැනි අවශ්‍යතා ලෙස වෙනිසියුලානු රජය සලකන නිෂ්පාදන සඳහා දැඩි පිරිවැය රෙගුලාසි ඇතුළුව, අනෙකුත් රජයේ නියෝගවලට අනුගත වීමට බහුජාතික සමාගම් හැඩ ගැසී තිබෙනවා.

නිරන්තර උද්ධමනය සමඟ මිල ගණන් පවත්වා ගත නොහැකි වීම හේතුවෙන් Colgate සමාගම මෙයට අනුගත වී තිබුණේ, එහි සම්මත රතු ඇසුරුම්වලට වඩා මිල අඩු දුඹුරු කාඩ්බෝඩ්වලින් ඇසුරුම් කරන ලද මිල පාලනය කළ හැකි දන්තාලේපයක් නිෂ්පාදනය කිරීමෙනි.

ඉහළ අවදානම් සහිත ආර්ථික තත්ත්වය වෙනස්වන තත්වයන්ට අනුවර්තනය වීමට ඇති හැකියාව සහ නිදහස ඉතා වැදගත් වූ අතර ආර්ථික තත්ත්වයන්ට ප්‍රතික්‍රියාශීලීත්වයට දක්වනවාට වඩා වෙනිසියුලාවේ ක්‍රියාශීලී ව්‍යාපාර සියල්ල ජයග්‍රහණය කිරීම මීට කදිම නිදසුනකි.

මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link | Archived Link

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ බහු ජාතික සමාගම් වන KFC, Domino’s Pizza Pizza Hut MCdonald, Coca-cola, Pepsi යන සමාගම්, ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදකාරී තත්වය හමුවේ, මෙරටින් පිටත් වන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් නොමග යවන සුළු බවයි.

එම සමාගම්වල නියෝජිතයින් සහ කළමණාකාරීත්වය සඳහන් කළේ, එවැනි තීරණයක් ගෙන නොමැති බවත්, එම සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවත්ය. කෙසේනමුත් ඉදිරියේදී අමුද්‍රව්‍ය ආනයන කිරීම් ඇතුළු සැපයුම් දාමයේ ඇතිවිය හැකි ගැටළු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කොට ඊට අදාළ විසඳුම් ලබා ගෙන ඇති බවත් එක් ආයතනයක් සඳහන් කර සිටියා.

මීට පෙර මේ ආකාරයේ ආර්ථික අවපාතයන් ට මුහුණු දුන් රටවල ඇතැම් බහුජාතික සමාගම් සිය මෙහෙයුම් නවතා තිබු අතර තවත් සමාගම් එම තත්වයන්ට අනුගත වී තිබුනේ, සම්පුර්ණයෙන්ම මෙහෙයුම් නවත්වන්නේ නැතිව, ඇතැම් අංග පමණක් නවතා දැමීම වැනි ක්‍රමවේද හරහායි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්නFacebook | Twitter | Instagram | Google News

Avatar

Title:KFC, Domino’s Pizza Pizza Hut MCdonald, Coca-cola, Pepsi සමාගම් මෙරටින් ඉවත් වීමේ සූදානමක් ?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading