ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හා සමගම ඩොලර්වලින් තෙල් නැව් වලට  මුදල් ගෙවා ඉන්ධන ලබාගැනීමට අපහසු තත්ත්වයක් ඇතිවීම හා සමගම පෙට්‍රල්, ඩීසල් ආදී පෙට්‍රෝලියම් ඉන්ධනවල අධික හිගයක් ඇතිව ඇති අතර සිය වාහන සදහා ඉන්ධන ලබාගැනීමට කිලෝමීටර ගණනක් දිග පෝලිම් වල සිටීමට ජනතාවට සිදුව තිබෙනවා.

එම වටපිටාව තුළ  පෙට්‍රල් , ඩීසල් ආදී ඉන්ධන වෙනුවට වෙනත් ප්‍රභව(ඉන්ධන) වලින් ශක්තිය ලබාගෙන වාහන ධාවනය කල හැකිදැයි කතාබහක් සමාජ ජාලාවල ඇතිව තිබෙනවා.ජපානයේ නිෂ්පාදිත වතුරෙන් ධාවනය කල හැකි වාහනයක් පිළිබදව  කතාබහ ඇතිව තිබෙන්නේ එවන් පසුබිමකයි.මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.

සමාජ මාධ්‍ය සටහන් :

පැයකට කිලෝමීටර 80 ක් , ජලය ලීටර එකකින් ධාවනය කල හැකි, වතුරෙන් දුවන කාර් රථයක් පිළිබදව පුවත්පතක පළවූ සටහනක් උපුටා දක්වමින් සමාජ ජාලා සටහනක් පැතිර පැවතියේ මේ ආකාරයෙන්.

Facebook | Archived

මෙම පුවත්පතේ සටහන්ව තිබුණේ පහත අන්තර්ගතයයි.

වතුර ලීටරයෙන් පැයට කි.මී. 80ක් .ජලයෙන් දුවන මෝටර් රථයක් ..

මේ දිනවල අපට මූලිකව බලපාන ඉන්ධන ගැටලුව හමුවේ ජලයෙන් ධාවනය කළ හැකි මෝටර් රථයක් ගැන අසන්නට ලැබුණොත් ඔබට එය මිලදී ගන්නට තරම් අවශ්‍යතාවයක් ඇතිවන බව නොඅනුමානය.

ශ්‍රී ලංකාවේද විටින්විට ජලයෙන් ධාවනය කල හැකි මෝටර් රථ නිපදවූවත් එම සුවිශේෂී මෝටර් රථය නිපදවා ඇත්තේ ජපානයේ ජිනිපැක්ස්(Genepax) මෝටර් රථ සමාගම විසිනි.ජලයෙන් ධාවනය කිරීමට හැකි පරිදි විශේෂිතවූ වොට් 120 ක කුටීර සැලැස්මක් සහ වොට් 300 ක පද්ධතියකින් සමන්විත වේ.මෙහිදී සිදුවන්නේ මෙම ප්‍රබල පද්ධති මගින් ජලය හයිඩ්‍රජන් බවට හැරවීමයි.

මෙම මෝටර් රථයට මුහුදින්, ගංගාවලින් වුව ජලය ඇතුලත් කලද ඉන් කිසිදු ගැටලුවක් නොවන බව ජිනිපැක්ස් සමාගම පවසයි.මෙහිදී ජලය ලීටරයකින් පැයකට කිලෝමීටර 80 ක් ගමන් කළ හැක.

මෙම මෝටර් රථයේදී ජලය ද්‍රව හයිඩ්‍රජන් බවට ටැංකියේ ඉතා අඩු උෂ්ණත්වයකට ස්වයංක්‍රීයව ගබඩා කෙරේ.මෙම හයිඩ්‍රජන් ටැංකි මිලෙන් අධික වන අතර බරෙන් තරමක් වැඩිය.

මෝටර් රථයේ එංජිම මගින් ටැංකියේ ද්‍රව හයිඩ්‍රජන් වායුමය තත්ත්වයට පත්කර ඉන්ධනයක් ලෙස ක්‍රියාකරන අතර ඉන් පිටවන වායුමය ගෑස් පරිසරයට හිතකාමීවේ .එන්ජිම රත්වීමද ඉන් වළක්වාලයි.මෙහි ද්‍රව හයිඩ්‍රජන් ටැංකිය මිලෙන් ඉතා අධික වුවත් අනෙකුත් ඉන්ධන හමුවේ එය ඉතා ලාභදායී ආයෝජනයක් වන බව ජිනිපැක්ස් සමාගම වැඩිදුරටත් පවසයි.

මෙවැනි මෝටර් රථ ශ්‍රී ලංකාවට හදුන්වා දුනහොත් එය අපේ රටේ ඉන්ධන ප්‍රශ්නයට කදිම විසදුමක් වනු ඇත.

මෙවැනි සටහන් ෆේස්බුක් වල ව්‍යාප්තව පැවතියේ පහත ආකාරයෙන්.

ලංකාවේ දැනට පවතින ඉන්ධන අර්බුදය හමුවේ දැන්වත් මේ ආකරයේ විකල්ප ඉන්ධන වෙත යොමු වීම පිළිබඳව පළවී තිබු තවත් සමාජ මාධ්‍ය සටහනක් පහතින්.

Facebook | Archived

වේගයෙන් ව්‍යාප්ත වන සටහන් පෙළක් නිසා මේ පිළිබදව සොයා බැලීමක් කිරීමට අප තීරණය කළා.

Fact Check( සත්‍ය තොරතුරු විමසා බැලීම )

අප මුලින්ම විමසා බැලුවේ වෙබ් වාර්තාවල මෙවැනි ජපානයේ නිපදවන ලද කාර් රථයක් සම්බන්ධව සදහන්ව තිබේද , ඒ කුමන කාලවකවානුවකද යන කාරණය පිළිබදවයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ Genepax නමැති සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලදැයි පැවසෙන මෙම කාර් රථය සම්බන්ධ පුවත 2008 තරම් අතීතයකට යන පුවතක් බවත් සහ එය අලුත් පුවතක් නොවන බවයි.

2008 වසරේදී රොයිටර් පුවත් සේවය විසින් මෙම සමාගම මගින් නිපදවූ බවට පැවසෙන ජලය මගින් ධාවනය වන කාර් රථය සම්බන්ධ පුවත වීඩියෝවක්ද සමග වාර්තා කර තිබුණා. කෙසේ වෙතත් එම වීඩියෝව මේ වන විට ඉවත් කර තිබෙනවා. එම රොයිටර්ස් පුවත මෙතනින්. Archived

කෙසේ වෙතත් රොයිටර් පුවත් සේවය මුලින්ම පළකල එම වීඩියෝව යූ ටියුබ්හි මේ වන විටත් දක්නට ලැබන අතර එම වීඩියෝව පහතින්.

https://youtu.be/WLjVVPeyDKk

ඉන් අනතුරුව අප අවධානය යොමු කළේ, Genepax සමාගම පිළිබදව 2009 වසරේදී පළවුණු වෙනත් ලිපියක් පිළිබදවයි. Kiyoshi Hiroshawa නම් ජෙනෙපැස් හි ප්‍රධාන විධායක නිලධාරියා විසින් මෙම මෝටර් රථය ධාවනය සදහා බාහිර ද්‍රව්‍යයක් ලෙස එක්කල යුත්තේ ජලය පමණක් බව රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබුණා.

කෙසේ වෙතත් 2008 වසරේදී රොයිටර්ස් පුවත් සේවය මේ පිළිබදව වාර්තා කිරීමේදී සදහන් කර තිබුණේ ලෝහ හයිඩ්‍රයිඩ වලට ජලය එක්කිරීම මගින් හයිඩ්‍රජන් වායුව නිපදවීමේ ප්‍රකට ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් මෙහිදී සිදුවන බවට උපකල්පනයක් කල හැකි බවයි.

එමෙන්ම අදාළ සමාගමේ වෙබ් අඩවිය genepax.co.jp නම් මෙහි 2008 වසරේ සක්‍රීයව තිබුණු වෙබ් අඩවියද අදාල සමාගමේ විධායක නිලධාරියා විසින් රොයිටර්ස් පුවත් සේවයට මෙම ආන්දෝලනාත්මක තොරතුර අනාවරණය කිරීමට සති කිහිපයකට පෙර අරඹා තිබුණු අතර එය මේ පිළිබදව ඇති සැක සංකා තව දුරටත් තීව්‍ර කරන්නේ වසර ගණනාවක් පර්යේෂණ කර නව නිපයුමක් සිදු කළා යයි පැවසෙන සමාගමක වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ එය මාධ්‍යයට පැවසීමට ඉතාමත් ආසන්නයේ පමණක් වීමයි.

2009 වසර වන විට අදාල වෙබ් අඩවිය වසා දැමීමට ජෙනෙපැස් සමාගම කටයුතු කර තිබූ අතර වියදම් දරා ගැනීමට අපහසු නිසා එසේ සිදුකල බවයි ඔවුන් පවසා තිබුණේ. ඉන්පසුව මෙම නිපැයුම සම්බන්ධ විස්තරද කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් තිබුණා. ඒ සම්බන්ධ විස්තර මෙතනින්. Archived

මෝටර් රථ ජලයෙන් ධාවනය වන ක්‍රියාවලිය කුමක්ද ?

TreeHugger පාරිසරික වෙබ් අඩවියද මේ සම්බන්ධයෙන් ලිපියක් 2018 වසරේදී සකසා තිබුණා. ඔවුන් එහිදී මතුකර තිබුණේ ලෝකයේ විවිධ රටවල ඉන්ධන මිල ගණන් ඉහලයාම් හා සමගම ජලයෙන් දුවන මෝටර් රථ පිළිබදව කතාබහක් ඇතිවන නමුත් එම ක්‍රියාවලීන් ප්‍රායෝගිකව සිදු කිරීම අපහසු බවයි.

තාපගතික විද්‍යාවේ පළමු නියමය වන “ශක්තිය මැවිය හෝ නැසිය නොහැකියි” යන නියමය කඩ නොවන සේ ඉන්ධනයක් ලෙස ජලය භාවිත වන ආකාරයක් පෙනී යන ලෙසට නිපදවිය හැකි වුවත් එහිදී සැබැවින්ම ඉන්ධනය ලෙස භාවිතා වන්නේ ජලය නොවේ. මෙහිදී ලෝහ හයිඩ්‍රයිඩ ජලය සමහ ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් වායුව නිපදවීම සිදුවේ. එම හයිඩ්‍රජන් වායුව දහනය කිරීමෙන් ජලය සහ වාහනයේ එංජිමේ ක්‍රියාකාරීත්වයි සදහා අවශ්‍ය ශක්තිය නිපදවේ.

මෙහිදී සැබැවින්ම ඉන්ධනයක් ලෙස ක්‍රියා කරන්නේ ජලය නොව ලෝහ හයිඩ්‍රයිඩයි. ලෝහ හයිඩ්‍රයිඩ වේගයෙන් ක්ෂයවේ. ලෝහ හයිඩ්‍රයිඩ බැටරියක් ලෙස ක්‍රියා කරන අතර ලෝහ හයිඩ්‍රයිඩ නිෂ්පාදනය කිරීම් සදහාද ඉතා විශාල ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වේ. එම නිසා පැහැදිලිව පැවසිය හැකි කාරණයක් වන්නේ ජලයෙන් ධාවනය වන බවට පැවසෙන මෙම වාහන තිරසාර භාවිතයක් සදහා දිගුකාලීනව යොදාගත නොහැකි බවයි. ඒ සම්බන්ධ වැඩිදුර විස්තර මෙතනින්.Archived

ජලයෙන් ධාවන වන මෝටර් රථයක් මෙරට නිපදවූවාද ?

2008 වසරේදී තුෂාර එදිරිසිංහ නම්  ලාංකික තරුණයෙක්ද ජලයෙන් ධාවනය වන බව පැවසෙන මෝටර් රථයක් නිෂ්පාදනය කල අතර එයටද භාවිත කර ඇත්තේ මිල අධිකව වැයවෙන ඉහත සදහන් කල ආකාරයේ  විද්යුත් විච්ඡේදන ක්‍රියාවලියක්. එවකට අගමැතිව සිටි රත්නසිරි වික්‍රමණායකද එහි දියුණුව සදහා ඔහුට පූර්ණ සහයෝගය දෙන බව පවසා තිබුණත් ඉන් ඔබ්බට එහි එතරම් සාර්ථකත්වයක් දක්නට ලැබුණේ නැහැ. ඒ සම්බන්ධ වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්.Archived

අග්නිදිග විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ අංශ ප්‍රධානී

අප මේ සම්බන්ධ වැඩිදුර විස්තර අග්නිදිග විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ අංශ ප්‍රධානී ලබාගැනිම සදහා අග්නිදිග විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය අබ්දුල් මජිද් ගෙන්ද කරුණු විමසා සිටියා.

ඔහු අප සමග පවසා සිටියේ මෙතෙක්, ජලය ඉන්ධනයක් ලෙස බහුලව භාවිතා කිරීම සදහා අවශ්‍ය ප්‍රායෝගික තාක්ෂණයක් සොයාගෙන නොමැති බවයි. නමුත් විද්යුත් විච්චේදනය හා ලෝහ හයිඩ්යිඩ ජලය සමග ප්‍රතික්‍රියා කරවා හයිඩ්රජන් වායුව නිපදවා එය ඉන්ධනයක් ලෙස බාවිතා කිරිමෙන් වාහන ධාවනය කල හැකි ක්‍රමවේදයක් තිබුණත් එය අතිශය වියදම්කාරී බව සහ ප්‍රායෝගික නොවන බවයි මහාචාර්ය වරයාගේ අදහස. අඩු වියදමකින් ධාවනය කල හැකි සහ ජලය ඉන්ධනයක් ලෙස බාවිතා කරන වාහන මෙතෙක් සොයාගෙන නොමැති බවයි මහාචාර්ය වරයා පැවසුවේ .

එමෙන්ම පෙට්‍රල් ,ඩීසල් භාවිතය අවම කිරීම සදහා ඉලෙක්ට්‍රික් /හයිබ්‍රිඩ් වාහන හදුන්වා දුන්නද එම වාහනවලට ද ආරෝපණ /විදුලිය ලබාගන්නේ පොසිල ඉන්ධන දහනයෙන් නම් එයින්ද ප්‍රයෝජනයක් නැති බවයි මහාචාර්ය වරයාගේ අදහස .

ජලය මගින් ධාවනය වන බව පවසා නිපදවා ඇති බොහෝ වාහනවල ,නිසි යාන්ත්‍රණයක් ඉදිරිපත් කිරීමට අදාළ සමාගම් අපොහොසත්ව ඇති අතර එම බොහෝ ප්‍රචාරයන් ව්‍යාජ බවට ඔප්පුවී ඇති බව ඔහු පැවසුවා.

අනාගතයේ පෙට්‍රල් ,ඩිසල් වෙනුවට වෙනත් ඉන්ධන වර්ගයක් තිරසාර සහ ප්‍රායෝගික භාවිතය සඳහා මෙතෙක් ලෝකයේ සිදුකර ඇති පරීක්ෂණ හරහා තොරතුරු ඇතිද යන කරුණ විමසූ විට ඒ සම්බන්දයෙන් අදහස් පලකල මහාචාර්ය වරයා පැවසුවේ මේ වන විට ඒ සම්බන්ධ බලාපොරොත්තුවක් ලෙස පුනර්ජනනීය හයිඩ්රජන් ඇති බවයි.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

වතුර ලිටරයෙන් පැයට කිලෝමිටර 80ක් ගමන් කල හැකි බවට හඟවමින්, නව නිෂ්පාදනයක් ලෙස හැගවෙන සේ මේ දිනවල සමාජ ජාල හරහා හුවමාරු වන සටහනේ දැක්වෙන්නේ 2008 වසරේදී ජපානයේ එළිදක්වා තිබු, පසුකාලීනව මෙහෙයුම් නවතා දැමු ජපාන ආයතනයක් හඳුන්වාදුන් තිරසාර නොවන නිර්මාණයකි. එහි වතුරෙන් ධාවනය වන බවට පැවසුවත් එය අතිශයෝක්තියක් වන අතර සැබැවින්ම මේ ආකාරයේ නිෂ්පාදන සිදුකරන්නේ නම් ඒ සඳහා යොදාගත හැක්කේ මිලෙන් අධික ලෝහ හයිඩ්‍රයිඩ බවත් එය මිලෙන් ඉතා අධික බැවින් ඉන්ධන අර්බුදයට විසඳුමක් නොවන බවත් විශේෂඥ මතයයි.

Avatar

Title:ඉන්ධන අර්බුදයට විසදුමක් ලෙස වතුරෙන් දුවන මෝටර් රථයක් ?

Fact Check By: Kalana Krishantha

Result: Misleading