ශ්‍රී ලංකාව මුහුණපා තිබෙන ආර්ථික අර්බුදය හමුවේ, බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල හිඟය, දෛනික ජන ජීවිතය අඩාල කිරීමට මේ වන විටත් සමත් වී හමාරයි. මේ අතර රෝහල් වල ඖෂධ නොමැති බවටත්, ඒ ඔස්සේ රෝගීන්ට මුහුණපෑමට සිදුවන දුෂ්කරතා මෙන්ම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන මෙවැනි අනුවේදනීය සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍යද වාර්තා නිතරම වාර්තා කරනු ලබයි.

පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් සමාජයේ අවධානය යොමු වී තිබූ අතර එහි දක්වා තිබුණේ, පූසෙකුගේ සීරීමක් හේතුකොට ගෙන රෝහලකට ඇතුළත් කළ කුඩා දරුවෙකු, ප්‍රතිකාර සඳහා ඖෂධ නොමැති වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බවයි. මෙහි නිරවද්‍යතාවය සොයා Fact Crescendo අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

“ පුත්තලම මහරෝහලේ අවුරුදු තුනක ළමයෙක් පූසෙකුගේ සීරීමකින් එම රෝහලේ බෙහෙත් නැති නිසා මරණයට පත්වී තිබෙනවා 😥😢” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Facebook

ෆේස්බුක් ඔස්සේ මෙලෙස සඳහන් කළ සටහන් හා වීඩියෝ ෆේස්බුක් පරිශීලකයින් විසින් බහුලව හුවමාරු කරගෙන තිබුණේ මෙලෙසින්.

සත්‍ය වශයෙන් පූසෙකුගේ සීරීමක් හේතුකොට ගෙන මෙලෙස දරුවෙකු රෝහලට ඇතුළත් කළා ද? එසේ ඇතුළත් කිරීමේදී බෙහෙත් නොමැති වීමෙන් මෙම දරුවා ජීවිතක්ෂයට පත් වූවා ද? මේ පිළිබඳ සත්‍ය තොරතුරු සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප ප්‍රථමයෙන්ම පූසෙකු හීරීම හේතුකොටගෙන දරුවෙකු පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී බෙහෙත් හිඟ කමින් අදාළ ප්‍රතිකාර කිරීමට නොහැකිව දරුවෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවට ප්‍රධානය මාධ්‍ය වාර්තා කර තිබුණේ ද, යන්න පිළිබඳ අප නිරීක්ෂණය කළා.

නමුත් එවැනි පුවතක් වාර්තා වී ඇති බවට අපට දැක ගන්නට නොලැබුණි.

පුත්තලම මූලික රෝහල

ඉන් අනතුරුව අප පුත්තලම මූලික රෝහලේ කාර්ය මණ්ඩලයෙන් ද, මේ පිළිබඳ විමසා සිටි අතර අදාළ වීඩියෝව සම්බන්ධයෙන් ඔවුන් සඳහන් කළේ, එලෙස පූසෙකු හීරීම හේතුවෙන් කුඩා දරුවෙකු රෝහල්ට ඇතුළත් කළ නොමැති අතර, එම වීඩියෝ දර්ශනයන්හි දැක්වෙන පසුබිම පුත්තලම රෝහල ද, නොවන බවයි.

එම තොරතුරු වැඩි දුරටත් තහවුරු කර ගැනීම සඳහා අප පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ඇන්ටන් ප්‍රනාන්දු මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර, වෛද්‍ය අධිකාරීවරයා ද, තහවුරු කරනු ලැබුවේ, මෙම රෝහල පුත්තලම රෝහල නොවන බවත්, පූසෙකු හීරිම හේතුවෙන් පුත්තලම රෝහලට පසුගිය දා දරුවෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් නොකළ බවයි. එමෙන්ම බෙහෙත් නොමැති කමින් එවැනි දරුවෙකු ජීවිතක්ෂට පත් වූ බවට පැවසෙන සමාජ මාධ්‍ය ජාලා සටහන් අසත්‍ය බව ද ඒ මහතා තහවුරු කර සිටියා.

එසේම පුත්තලම රෝහලේ කාර්ය මණ්ඩලයේ හෙද නිලධාරිනියක් ද මෙම සටහන් අසත්‍ය බවත් එවැන්නක් එම රෝහලේ සිදු නොවූ බවත් හඟවමින් පලකර තිබු ෆේස්බුක් සටහනක් මෙතනින්

මියගිය දරුවාගේ ඥාතියෙක්

සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වී තිබූ ඉහත වීඩියෝවක් සඳහා එම දරුවාගේ ඥාතියෙකු බවට දැක්වූ කාන්තාවක් පෙන්වා දේ තිබුනේ, මෙය අසත්‍ය බවත්, වීඩියෝවේ දැක්වෙන දරුවා ජීවිතක්ෂයට පත් වූයේ, වළකට වැටීමෙන් බවත්, එම වීඩියෝවේ දැක්වෙන්නේ, පානදුර රෝහල බවයි. එම ප්‍රතිචාරය පහතින්.

අප මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීමට මෙම පැහැදිලි කිරීම දක්වා තිබු තරුණිය සම්බන්ධ කරගත් අතර ඇය සඳහන් කළේ, එම වීඩියෝවේ දැක්වෙන්නේ, තම ඥාති සහෝදරයෙකුගේ අවුරුද්දකුත් මාස 6ක පුතෙකු බවත්, එම දරුවා නිවසේ වැසිකිළි වළකට වැටී පසුගිය ජුනි 17 වන දා ජීවිතක්ෂයට පත් වූ බවයි.

පානදුර රෝහලට ඇතුළත් කිරීමේදීත් දරුවා මිය ගොස් තිබු බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ, මේ සිදුවීම යොදාගනිමින් අසත්‍ය ප්‍රචාර පළ වන බවත්, දරුවාගේ හදිසි වියෝව මෙන්ම ඉන්පසුව මෙසේ හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් හේතුවෙන් ද දරුවාගේ දෙමාපියන් තදබල ලෙස මානසික පීඩනයකට ලක්ව සිටින බවයි ඇය වැඩි දුරටත් සඳහන් කළේ.

පානදුර මූලික රෝහල

ඉහත සිදුවීම පානදුර රෝහල ට සම්බන්ධ සිදුවීමක් බව ට පවසා සිටි බැවින්, මේ පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරිය ගෙන් ද, මේ සම්බන්ධයෙන් විමසීමක් සිදුකළා. ඇය තහවුරු කළේ ද, පූසෙක් සීරීම හේතුවෙන් දරුවෙකු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බෙහෙත් නොමැති කමින් එම දරුවා මිය ගිය බවට පළ වන තොරතුරු අසත්‍ය බවයි.

පානදුර ප්‍රදේශයේ දරුවෙකු වැසිකිළි වලකට වැටීම හේතුවෙන් පානදුර රෝහලට මීට දින කිහිපයකට පමණ පෙර ඇතුළත් ඇති බවත්, රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර වලට යොමු කොට ජීවත් කරවීමේ අවස්ථාවක් පවතිනවාද යන්න පරීක්ෂා කර බැලූ බවත්, එසේනමුත් අවාසනාවන්ත ලෙස එම කුඩා දරුවා රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත් වී සිටි බවත් ඇය සඳහන් කළා.

මරණ පරීක්ෂණයෙන් අනතුරුව, පානදුර රෝහල් පරිශ්‍රයේ දී ලබා ගත් එම දරුවාගේත් මවගේත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පතුරවමින් සංසරණය වූ බවත් ඇය වැඩි දුරටත් පවසා සිටියා.

මහජන සෞඛ්‍ය පරීක්ෂක

පානදුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ද, සඳහන් කළේ, වැසිකිළි වළකට වැටී දරුවෙකු පානදුර රෝහලට ඇතුළත් කර තිබූ අතර, පූසෙකුගේ සීරීමක් හේතුවෙන් පානදුර රෝහලට ඇතුළත් කිරීමේ දී දරුවෙකු ජීවිතක්ෂයට පත් වූ බවට තොරතුරක් වාර්තා නොවූ බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන්ද, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි සඳහන් කර තිබුණේ, පසුගිය ජුනි 17 වන දින, පානදුර, පල්ලියමුල්ල ප්‍රදේශයේ අවුරුදු 01 මාස 08ක් වයසැති කුඩා පිරිමි දරුවෙකු නිවසේ වැසිකිළි වලට වැටී මිය ගොස් ඇති බවයි. මීට වසර කිහිපයකට පෙර, මෙම වැසිකිළ වළේ අපද්‍රවය ඉවත්ත කිරීම සඳහා එය ආවරණය කර තිබූ කොන්ක්‍රීට් ලෑල්ලේ කුහරයක් සකසා ඇති බවත්, පසුව එම කුහරය කාඩ්බෝඩ් වැනි යමකින් වසා තිබු බවත් මිය ගිය දරුවා ඒ මතට නැගීම හේතුවෙන් මෙලෙස එම වලට වැටීම හේතුවෙන් මියගොස් ඇති බවට අනාවරණය වී ඇති බවයි.

එම මාධ්‍ය නිවේදනය පහතින්.

එම සිදුවීම පිළිබඳව ජුනි 17 වනදා ලංකාදීප පුවත්පතේ වෙබ් අඩවියේ ලිපියක් පළ වී තිබුණේ මෙලෙසින්. Archived Link

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, අවුරුදු තුනක ළමයෙකු පූසෙකුගේ සීරීමක් හේතුකොට ගෙන පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී, අවශ්‍ය ප්‍රතිකාර සඳහා එම රෝහලේ බෙහෙත් නොමැති වීමෙන් ජීවිතක්ෂයට පත් වූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවයි.

පුත්තලම රෝහලට එවැනි තත්ත්වයේ දරුවෙකු ඇතුළත් කළ නොමැති බවට පුත්තලම රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා තහුවරු කරනු ලැබූවා. වීඩියෝවේ දැක්වෙන්නේ, ජුනි 17 වනදා පානදුර ප්‍රදේශයේ සිය නිවසේදී ම, අනාරක්ෂිත වැසිකිළි වළකට වැටී, අවාසනාවන්ත මරණයකට මුහුණ දුන් අවුරුදු 1කුත් මාස 08ක් වයසැති කුඩා දරුවෙකුගේ මෘත දේහය ඉදිරියේ හඬා වැටෙන මවකගේ දර්ශන පෙළකි.

Avatar

Title:පූසෙකුගේ සීරීමකට පුත්තලම රෝහලට ඇතුළත් කළ අවුරුදු තුනක ළමයෙක් බෙහෙත් නොමැති වීම නිසා ජීවතක්ෂයට පත් වුණා ද?

Fact Check By: Pavithra Sandamali

Result: False