දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 ජූලි 16 වන දා ප්‍රංශ සංචාරයක් සඳහා සහභාගී වීමට නියමිතව තිබූ අතර, මෙවැනි පසුබිමකදී, ප්‍රංශය විසින් ජනාධිපතිවරයාගේ වීසා ඉල්ලීම ප්රතික්ෂේප කර ඇති බවත්, බන්ධනාගාර මනුෂ්‍ය ඝාතනය, මහ බැංකු මුදල් වංචාව, පාස්පෝට් හොර ටෙන්ඩරය, ගොවීන්ගේ අරගලය යන කරුණු මත මෙසේ ජනපතිවරයාගේ වීසා ඉල්ලීම ප්රතික්ෂේප කර ඇති බවත් දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයාබලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ජනපති අනුරට ප්‍රංශ රජයෙන් වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව හඟවමින්, එසේ එවැනි තත්වයකට මුහුණදුන් ප්‍රථම ලාංකික ජනපති වත්මන් ජනාධිපතිවරයා බවත් දක්වමින්, සටහන් රැසක් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.




Facebook| Archived Link Facebook Facebook Facebook Facebook Facebook Facebook X
ඒ අනුව මෙහි සත්‍යය අසත්‍ය භාවය සොයා බැලීමට අප කටයුතු කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතාගේ නිල ආරාධනයකට අනුව 2026 ජූලි 16 වනදා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රංශ සංචාරයක් සඳහා සහභාගී වීමට නියමිතව තිබු බවට මාධ්‍ය වාර්තා කර තිබුණි. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
2026 ජූලි 16 වනදාට නියමිතව තිබූ මෙම සංචාරය කල් දැමීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත
කෙසේ නමුත් 2026 ජූලි 16 වනදාට නියමිතව තිබූ මෙම සංචාරය කල් දැමීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව දක්වමින් මාධ්‍ය වාර්තා පළ වී තිබුණි. ඊට හේතු ලෙස දක්වා තිබුණේ ලංකාව තුළ පවතින අභ්‍යන්තර අවශ්‍යතාවන්ය. රට තුළ පවතින තීරණාත්මක අභ්‍යන්තර දේශපාලන කටයුතු හේතුවෙන් ජනාධිපතිවරයාට රට තුළ රැඳී සිටීමට සිදු වීම හේතුවෙන් මෙම සංචාරය කල් දමා ඇති බවට මාධ්‍ය වාර්තා දක්වා තිබුණි. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
කෙසේ නමුත්, එම කිසිදු වාර්තාවක, ප්‍රංශය විසින් ජනපතිවරයාගේ වීසා ඉල්ලීම ප්රතික්ෂේප කර ඇති බවට හෝ එසේ ප්‍රතික්ෂේප කිරීමට, බන්ධනාගාර මනුෂ්‍ය ඝාතනය, මහා බැංකු මුදල් වංචාව, පාස්පෝට් හොර ටෙන්ඩරය, ගොවීන්ගේ අරගලය වැන්නක් හේතු වී ඇති බවට වාර්තා කර තිබුණේ නැහැ.
මාධ්‍ය වාර්තා ඔස්සේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ සංචාරය සඳහා තවමත් නිශ්චිත නව දිනයක් අවසන් වශයෙන් තහවුරු කර නොමැති බවයි. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර ඇති පරිදි, සංචාරය කල් දැමීම පිළිබඳව ප්‍රංශ බලධාරීන් නිල වශයෙන් දැනුවත් කර ඇත. මෙම වසර අවසානයට පෙර සුදුසු දිනයක සංචාරය සිදු කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා නව දිනයක් ප්‍රංශ රජයෙන් ඉල්ලා ඇති බවත් මාධ්‍ය වාර්තා ඔස්සේ දක්වාා තිබුණි.
මෙය ජනාධිපතිවරයාට ප්‍රංශ රජයෙන් ලැබුණු නිල ආරාධනයකි.
මෙය ජනාධිපතිවරයාට ප්‍රංශ රජයෙන් ලැබුණු නිල ආරාධනයක් වන අතර, මෙම ආරාධනය සිදු කර ඇත්තේ 2026 පෙබරවාරි මාසයේදීය. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති කෘත්‍රිම බුද්ධි සමුළුව (AI Impact Summit) අතරතුර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර පැවැති ද්විපාර්ශ්වික හමුවේදී මෙම ආරාධනය සෘජුවම සිදු කර ඇත. වැඩිදුර තොරතුරු මෙතනින්.
ජනාධිපති මාධ්‍ය අංශය
අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී ජනාධිපති මාධ්‍ය අංශය විසින් සඳහන් කළේ, ප්‍රංශ ජනාධිපතිතුමා විසින් ප්‍රංශ සංචාරයක් සඳහා ඉන්දියාවේ පැවති කෘත්‍රිම බුද්ධි සමුළුව අතරතුර ජනාධිපතිවරයාට ආරාධනා කර තිබූ බවයි. ඒ සඳහා ජූලි මාසයේ දිනයක් ද ඔවුන් විසින් යෝජනා කර තිබූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් සඳහන් කළා.
කෙසේනමුත් මෙම කාලවකවානුව තුල අත්‍යවශ්‍ය කටයුතු සඳහා ජනාධිපතිවරයා මෙරට රැඳී සිටීම අවශ්‍ය වන බැවින් මෙම සංචාරය, බොහෝදුරට වසරේ අග භාගයට කල් දමා ගැනීමට කටයුතු කර ඇති බවත් සඳහන් කළා. ජූලි මාසයේදී ජනාධිපතිවරයාට මෙම සංචාරය සඳහා සහභාගි වීමට අපහසු වන බව ජූලි මාසය ආරම්භයේදීම පැහැදිලි වූ බවත්, ඒ අනුව මෙම සංචාරය කල් දැමීම සම්බන්ධයෙන් වන තීරණය මෙම මාසය ආරම්භයේදීම ගත් තීරණයක් බවත් ඔවුන් සඳහන් කළා.
තවද , ජූලි මාසයේදී සංචාරයක් සඳහා ප්‍රංශයෙන් නිල ආරාධනයක් ලැබී තිබුණත්, ජූලි 16 වන දින නිශ්චිතවම මෙවැනි සංචාරයක් සඳහා ජනාධිපතිවරයා සම්බන්ධ වන බවට තහවුරු කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිල නිවේදනයක් හෝ නිකුත් කර නොතිබූ බවද සඳහන් කළා. දිනය තහවුරු කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිල නිවේදනයක් හෝ තහවුරු කර නොමැති පසුබිමක මාධ්‍ය විසින් අදාළ දිනයේ ජනාධිපතිවරයා මෙවැනි සංචාරයක් සඳහා සම්බන්ධ වන බවට වාර්තා කර තිබීමද ගැටළු සහගත බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් වැඩිදුරටත් තහවුරු කළේ, මෙම සටහන ව්‍යාජ නිර්මාණයක් බවත්, ජනාධිපතිවරයාගේ වීසා ප්‍රතික්ෂේප වීමක් සිදු නොවූ බවත් ය. මෙය ප්‍රංශයෙන් ලැබුණු නිල ආරාධනයක් වන බවත්, එවැන්නකදී ජනාධිපතිවරයෙකුගේ ප්‍රතික්ෂේප වීමක් සිදුවීමට ඉඩක් නොමැති බවත් තවදුරටත් සඳහන් කළා.
මාධ්‍ය ලේකම් – විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්
අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ මාධ්‍ය ලේකම් විසින්ද සඳහන් කළේ, ජනාධිපතිවරයා ආරාධනා ලැබ තිබූ ප්‍රංශ සංචාරය මෙම වසර අවසානය තෙක් කල් දැමීම සත්‍යයක් බවයි. කෙසේ නමුත් එය වීසා ප්‍රතික්ෂේප වීම නිසා සිදුවූවක් නොවන බවත්, මෙම කාලවකවානුව තුළ අත්‍යවශ්‍ය කටයුතු සඳහා ජනාධිපතිවරයා රට තුළ රැඳී සිටීම අවශ්‍ය වන බැවින් මෙම තීරණය ගෙන ඇති බවත් ඔහු විසින් තහවුරු කළා.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රංශ සංචාරය කල් යෑම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රංශයෙන් ජනාධිපතිවරයාගේ වීසා ප්‍රතික්ෂේප කර ඇති බවට වන වාර්තා අසත්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා ඇත්තේ, මෙම සංචාරය කල් ගොස් ඇත්තේ වීසා ගැටළුවක් නිසා නොවන බවයි. රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල එකඟතාව මත දෙපාර්ශ්වයටම පහසු දිනයක් හෝ කාලවකවානුවක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර ඇත.
සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව මෙතැනින්.
සමාජ මාධ්‍ය සටහනෙහි දක්වා ඇති ඇතැම් සිදුවීම් හමුවේ සෘජුව සහ වක්‍රාකාරයෙන් ජනතාව පීඩනයට පත් වන බවට චෝදනා එල්ල වී ඇත. කෙසේ නමුත්, රට අභ්‍යන්තර සිදුවීම් මත පදනම්ව ප්‍රංශ රජයේ නිල ආරාධනාවක් මත සංචාරයක් සඳහා එක්වීමට සූදානම්ව සිටි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ වීසා ප්‍රංශ රජය විසින් ප්‍රතික්ෂේප කළ බවට ප්‍රකාශ කිරීමට හෝ එම ප්‍රකාශය තහවුරු කිරීමට පැහැදිලි පදනමක් නොමැති බව පෙනී යයි.
අප විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්‍යාලයෙන් ද විමසීමක් සිදු කර ඇති අතර ලැබෙන ප්‍රතිචාරය අනුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රංශ නිල සංචාරයේ ප්‍රධාන අරමුණු සහ සැලසුම්
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හමුවීම සංචාරයේ ප්‍රධානතම හමුව වන අතර, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, ඉන්දු පැසිෆික් කලාපීය සහ සාගර ආරක්ෂණ සහයෝගීතාව පුළුල් කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම පිළිබඳව රාජ්‍ය නායක මට්ටමින් සාකච්ඡා කිරීම මෙහි අරමුණයි.
එසේම, ශ්‍රී ලංකාවට හිමි GSP Plus බදු සහනය තවදුරටත් දීර්ඝ කරවා ගැනීම සඳහා යුරෝපා සංගමයේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස ප්‍රංශයේ රාජ්‍ය තාන්ත්‍රික සහාය ලබා ගැනීම ද සංචාරයේ මූලික අරමුණක් වී ඇත. එසේම ලොව විශාලතම සමුද්‍රීය ප්‍රවාහන හා ලොජිස්ටික්ස් සමාගමක් වන CMA CGM හි ප්‍රධානියා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණි. ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රය සහ බහාලුම් පර්යන්ත ආශ්‍රිත ආයෝජන පුළුල් කිරීම මෙහි මූලික අරමුණයි.
ප්‍රංශයේ ප්‍රධාන පෙළේ සමාගම් ප්‍රධානීන් හමු වී, වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා හඳුන්වා දීම සහ ප්‍රංශ ආයෝජන ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමටද අපේක්ෂා කර තිබුණි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රංශ ආධාර ලබන සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහාය ලබා ගැනීම, වැනි රාජ්‍යතාන්ත්‍රික හමුවවූම් මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්ථාපන ක්‍රියාවලියට සහ තාක්ෂණික දියුණුවට ප්‍රංශයේ සෘජු දායකත්වය ලබා ගැනීම අපේක්ෂා කර තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින්.
රාජ්‍ය නායකයෙකුගේ නිල සංචාරයක් සඳහා වීසා ලබාගැනීමේ ක්‍රියාවලිය
සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියෙකු ප්‍රංශයට යාමට Schengen කෙටිකාලීන (short-stay) වීසා ක්‍රියාවලිය ඔස්සේ, France-Visas නිල වෙබ් අඩවිය හරහා අයදුම් කර, බාහිර වීසා මධ්‍යස්ථානයකදී ජෛවමිතික දත්ත ලබා දේ. එම ක්‍රියාවලියේදී ප්‍රතික්ෂේප වීමක් සිදු වුවහොත්, ලිඛිත ප්‍රතික්ෂේප ලිපියක් සහ අභියාචනා අවස්ථාවක් ලැබේ.
එහෙත් රාජ්‍ය නායකයෙකු (ජනාධිපතිවරයෙකු වැනි) මෙම සාමාන්‍ය ක්‍රියාවලිය ඔස්සේ අයදුම් නොකරයි. රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රධාරීන්ගේ නිල සංචාර සඳහා ගමන් බලපත්‍ර කටයුතු, දෙරටේ විදේශ අමාත්‍යාංශ අතර තානාපති සටහන් (Note Verbale) ඔස්සේ සම්බන්ධීකරණය වන අතර, අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික වීසා තානාපති කාර්යාලය විසින්ම නිකුත් කරයි.
රාජ්‍ය නායක මට්ටමේ නිල හෝ රාජ්‍ය සංචාරයක් නම්, එය තානාපති හා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් (ජනාධිපති ලේකම් කාර්යාලය හා විදේශ අමාත්‍යාංශය ↔ එලිසේ මන්දිරය හා ප්‍රංශ විදේශ අමාත්‍යාංශය) කලින් එකඟ වී සිදු කෙරේ. දින, දූත පිරිස සහ අත්සන් කරන ගිවිසුම් කලින්ම සකසා ගනී. ගමන් බලපත්‍ර කටයුතු යනු දේශපාලන එකඟතාවෙන් පසු සිදුවන විධිමත් කාර්යයක් මිස, එයට පෙර ඇති බාධකයක් නොවේ.
නිල ආරාධනයක් ලද, සත්කාරක රාජ්‍ය නායකයා විසින්ම ආරාධනා කරන ලද රාජ්‍ය නායකයෙකුට වීසා ප්‍රතික්ෂේප කිරීමක් සිදුවුණි නම් එය රාජ්‍යතාන්ත්‍රික සිදුවීමක් වන අතර, එවැනි තත්වයකදී ප්‍රංශය එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සාධාරණීකරණය කළ යුතුව පවතී. එවැනි කිසිදු නිල නිවේදනයක් නොමැත.
“දූත පිරිසේ සාමාජිකයෙකුගේ වීසා” පිළිබඳ විපක්ෂය මතුකළ කරුණ
මෙම සංචාරය කල් දැමීම සම්බන්ධයෙන් විපක්ෂය ද ප්‍රශ්න මතු කර ඇත. සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසා ඇත්තේ, දූත පිරිසේ සාමාජිකයෙකුට වීසා ලබා දීම ප්‍රතික්ෂේප වීම හේතුවෙන් මෙතරම් වැදගත් රාජ්‍ය සංචාරයක් සම්පූර්ණයෙන් අවලංගු කිරීමට අවශ්‍ය නොවූ බවයි. වැඩිදුර තොරතුරු මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශනයට අනුව, ප්‍රංශය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වීසා ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවට හුවමාරු වන සටහන අසත්‍ය වේ. සංචාරය කල් දැමීම ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය, විදේශ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා යන තිදෙනාම තහවුරු කර ඇත. එය නිල ආරාධනයක් වූ බැවින්, සාමාන්‍ය වීසා ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවලියක් මෙහිදී අදාළ නොවේ.
කෙසේ නමුත්, සංචාරය සැලසුම් කළ පරිදි සිදු නොවීමට ප්‍රධානතම හේතුව ස්වාධීනව සම්පූර්ණයෙන් තහවුරු කළ නොහැක. ලබා ගත හැකි නිල තොරතුරු අනුව, අභ්‍යන්තර තත්ත්වය (විශේෂයෙන් මීගමුව බන්ධනාගාර සිද්ධියේ ප්‍රතිඵල) සහ ගිවිසුම්වල අන්තර්ගතය අවසන් නොවීම යන කරුණු වඩාත් සම්භාවිතාවක් ඇති පැහැදිලි කිරීම් වේ.
නව සංචාර දිනයක් තවම නිල වශයෙන් නිවේදනය කර නොමැති අතර, එය මෙම වසර අවසානය තෙක් අපේක්ෂා කෙරේ. මේ ගැන ප්‍රංශ තානාපති කාර්යාලයෙන් නිල ප්‍රතිචාරයක් ලැබුණහොත් මෙම ලිපිය යාවත්කාලීන කරනු ලැබේ.


