ජාතිවාදය අවුස්සමින් දේශපාලන වාසි ලබා ගැනීමට සුළු ජාතීන් නියෝජනය කරන නායකයින් විසින් සිදු කළ ප්‍රකාශ යනුවෙන් අසත්‍ය පැතිරවීම සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව දැක ගන්නට ලැබෙනවා.

එලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් හිටපු ජනාධිපති හා සිංහල බලවේග සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ගෝඨාභයත් එක්කම එයාගේ සිංහල බලවේග අපි ළඟ දන ගස්සනවා යනුවෙන් මුජිබර් රහුමාන් මහතා සඳහන් කළ බවට ෆේස්බුක් සටහනක් පළ වී තිබුණා.

Facebook | Archived Link

මෙම සටහන් 2019 වසරේ සිට වරින් වර සංසරණය වී තිබූ අවස්ථා මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් හිටපු ජනාධිපති “ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සිංහල බලවේග අපි ළඟ දන ගස්සනවා” යනුවෙන් පවසා ඇත්දැයි යන්න පිළිබඳ අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළ ද එවන් ප්‍රකාශයක් දැක ගන්නට නොලැබුණි.

එමෙන්ම 2019 වසරේ සිට මෙම සටහන් සංසරණය වී තිබීම හේතුවෙන් අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා ද, අන්තර් ජාලය හරහාද, ‘Key word’ ඔස්සේ ද, එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂා කළත් ඔහු විසින් එවන් ප්‍රකාශයක් කර තිබු අවස්ථාවක් පිලිබඳ සඳහන් වී ඇති අයුරු නිරීක්ෂණය නොවුණි.

2019 වසරේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් ‘ගෝඨාභය රාජපක්ෂ මහතාට බය වෙලාද ඉන්නේ’ යනුවෙන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණේ, ගෝඨාභය රාජපක්ෂ මහතා අභියෝගයක් නොවන බවයි. එම අවස්ථාව මෙතනින්. නමුත් එම අවස්ථාවේදී හෝ මුජිබර් රහුමාන් මහතා විසින් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල දැක්වෙන පරිදි ප්‍රකාශයක් සිදු කර නොතිබුණි.

මන්ත්‍රීවරයාගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ද, මන්ත්‍රීවරයා එවන් ප්‍රකාශයක් කළ අවස්ථාවක් ඇත්දැයි යන්න පිළිබඳ ද, අප සොයා බැලීමක් සිදු කළත් එවැනි සටහනක් හෝ ප්‍රකාශයක් පිළිබඳ අපට දැක ගන්නට නොලැබුණි.

මේ හේතුවෙන් අප මේ පිළිබඳව වත්මන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගෙන් විමසීමක් කළා. මන්ත්‍රීවරයා සඳහන් කළේ, කිසිම අවස්ථාවක එවැනි ප්‍රකාශයක් තමන් සිදු නොකළ බවත්, තමන් එවැනි ප්‍රකාශයක් සිදු කළා නම් ඒ බව ඔප්පු කිරීමට සාක්ෂි පෙන්වන ලෙසයි ඔහු සඳහන් කළේ.

තමන් නොකියූ ප්‍රකාශයක් ඇතුළත් කොට තමන් පැවසූ ප්‍රකාශයක් ලෙස බොහෝ කලක සිට මෙම සටහන් හුවමාරු වන බවත්, සිංහල ජනතාව කුපිත කිරීමේ අරමුණින් තමන්ගේ පටු දේශපාලන අදහස් මුදුන් පත් කර ගැනීම සඳහා මෙවැනි සටහන් නිර්මාණය කරන බවයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා සිටියේ.

එමෙන්ම ඉහත සටහන සඳහා යොදා ගෙන තිබූ ඡායාරූපය 2014 වසරේ එවකට එජාප මන්ත්‍රීවරයෙක්ව සිටි මුජිබර් රහුමාන් මහතා මුස්ලිම් තරුණයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාවකදී ලබා ගත් ඡායාරූපයක් බවට මෙලෙසින් පෙන්වා දිය හැක.

2019 ජනපතිවරණ මැතිවරණ සමයේ ද මේ ආකාරයට මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඉල්ලක්ක කරමින් පළවූ ව්‍යාජ සටහන් පෙළක් පිලිබඳ අප එම අවධියේ සිදුකළ කරුණු විමර්ෂණයක් පහතින්.

Fact Check : ජාතික ගීය අරාබි භාෂාවෙන් කියන්න.. සජිත් දිනවන්න ?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ මෙම කරුණු සොයා බැලීමෙන්ම පෙන්වා දෙනු ලබන්නේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින්ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සිංහල බලවේග සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් ලෙසට, ගෝඨාභයත් එක්කම එයාගේ සිංහල බලවේග අපි ළඟ දන ගස්සනවා යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් නොමග යවන සුළුයි. එවැනි ප්‍රකාශයක් මන්ත්‍රීවරයා සිදු නොකළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ අප කළ නිරීක්ෂණයෙන් තහවුරු වූ අතර, මන්ත්‍රීවරයාද, පැවසූමේ තමන් කිසිදු ස්ථානයකදී එවන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

Avatar

Title:“ගෝඨාභයත් එක්කම එයාගේ සිංහල බලවේග අපි ළඟ දණ ගස්සනවා” - මුජිබර් රහුමාන් ?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading