පසුගිය දා ප්‍රවීණ ගායක අනෙස්ලි මාලේවන මහතා ඇතුළු ශිල්පීන් විසින් Waters Edge හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වූ සංගීත ප්‍රසංගයක් අතරතුර දී ඇතිවූ කලහාකාරී තත්ත්වයක දී ප්‍රසන්න රණතුංග ඇමති ආරක්ෂක අංශ නිලධාරීන් විසින් එහි සිටි කාන්තාවකට පහරදුන් බව ට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් ම පළවී තිබුණා.

සමාජ මාධ්‍ය සටහන් :

වෝටර්ස් එජ් හෝටලයේදී ප්‍රසන්න රණතුංගට විරෝධය පෑ කතකට ඇමැති ආරක්ෂකයන් අම්බානක ගහලා...!

(ලංකා ඊ නිව්ස් -2022.අගෝ.29, ප.ව.6.45) වෝටර්ස් එජ් හෝටලයේ පසුගිය අගෝස්තු 27 දා ඇනස්ලි මාලේවන ගායන ශිල්පියාගේ සංගීත ප්‍රසංගයක් පැවැති අතර ඒ සඳහා නිවාස හා නාගරික සංවර්ධන කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහභාගී විය.” යනුවෙන් සඳහන් කළ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived

මෙම සටහනේ සම්පූර්ණ ලිපිය Lankaenews වෙබ් අඩවියේ, පළ වී තිබුණා. එහි සඳහන් කර ඇත්තේ, ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සංගීත ප්‍රසංගයට පැමිණෙන නිසා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ බවත්, මෙහිදී එක් කාන්තාවක් විසින් මෙසේ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත්තේ ඇයි දැයි ආරක්ෂක නිලධාරීන්ගෙන් විමසා ඇති අතර ඔවුන් පවසන ලද්දේ ප්‍රසන්න රණතුංග මෙම ප්‍රසංගයට පැමිණෙන බවයි. ඒ හේතුවෙන් කෝපාවිෂ්ඨ වූ අදාළ කාන්තාව මෙවැනි පුද්ගලයන් පැමිණීමෙන් සාමාන්‍ය ජනතාවට දැඩි බාධාවක් බව පැවසූ බවද, සඳහන් වේ.

ප්‍රසන්න රණතුංගට දැඩි විරෝධතාවයක් දැක්වූ ඉහත කී කාන්තාව ඉංග්‍රීසි භාෂාවේ පරුෂ වචන පාවිච්චි කරමින් දැඩි ලෙස බැණ වදිමින් වහාම හෝටල් පරිශ්‍රයෙන් පිටවන ලෙසට දිගින් දිගටම පවසන්නට වූ බවත් සඳහන්. මෙහිදී ප්‍රසන්න රණතුංගගේ ආරක්ෂක නිලධාරීන් එම කාන්තාවට දැඩි ලෙස පහර දුන් බවත් තම බිරිඳට පහර දෙනු දුටු එම කාන්තාවගේ ස්වාමිපුරුෂයා එතනට පැමිණි අතර ඔහුට ද දැඩි ලෙස පහර දුන් බවත්, මෙහිදී ආරක්ෂක නිලධාරීන් විසින් මේස මත අංකනය සිදුකරන යකඩ කුට්ටියකින් පහර දීම නිසා එම කාන්තාවගේ අතට දැඩි හානි සිදුවී ඇති බවටත් එම වාර්තාවේ තවදුරටත් සඳහන් කර තිබුණා. එම සම්පූර්ණ වාර්තාව පහතින්.

LankaEnews | Archived

මෙම කරුණු ඇතුළත් ව පළවූ තවත් සටහනක් මෙතනින් | Archived

මෙලෙස සිදුවීමක් වූවාද යන්න පිළිබඳ තොරතුරු තහවුරු කරන ලෙස අපට ලැබුණු පාඨක ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙහි නිරවද්‍යතාවය පිළිබඳ විමසා බැලීමක් සිදු කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප ප්‍රථමයෙන් පසුගිය සෙනසුරාද (අගෝස්තු 27), බත්තරමුල්ල පිහිටි Waters Edge හෝටලයේ පැවති ප්‍රවීන ගායන ශිල්පී ඇනස්ලි මාලේවන මහතා සහ ගායිකා ෆැලන් ඇන්ඩ්‍රියාගේ ගෘහස්ථ සංගීත ප්‍රසංගයට සහභාගී වූ පිරිස් විසින් සමාජ ජාලා වෙත එක් කර තිබූ දර්ශන අවධානය යොමු කළා.

ඒ ඉහත සටහනේ දැක්වෙන පරිදි කාන්තාවකට පහරදීමක් සිදුවූ දර්ශන හෝ ඡායාරූප ඇත්දැයි යන්න පිළිබඳ විමර්ශනය කිරීම සඳහායි. නමුත් අපට එවැනි තොරතුරක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වී තිබෙණු අපට දැක ගන්නට නොලැබුණි.

මේ හේතුවෙන්, අප අගෝස්තු 27 දා එම සංගීත ප්‍රසංගයට සහභාගී වූවන් කිහිප දෙනෙකුගෙන් මේ පිළිබඳව විමසීමක් සිදු කළා.

ඔවුන් සඳහන් කළේ ද, කාන්තාවකට පහරදීමක් එම ප්‍රසංගය පුරාවට දැක ගන්නට නොලැබුණු බවයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද, එම අවස්ථාවට සහභාගී වී සිටි බවත්, බීමත්ව සිටි කාන්තාවක් අමාත්‍යවරයාගේ පැමිණීම සම්බන්ධයෙන් තම නොසතුටට පළ කළ බව දැක ගන්නට ලැබුණු බවත්, බීමත්ව සිටි එම පිරිස තවත් පිරිසක් සමඟ බහින් බස් වීමක් ඇති වූ හෙයින් එම අවස්ථාවට පැමිණි හෝටල් කාර්ය මණ්ඩලය විසින් එය සමථයකට පත් කළ බවත් ඔවුන් පැවසුවා. කෙසේ වෙතත් කිසිවෙකු විසින් මෙහිදී පහර දීමක් සිදු නොවුණු බවත් ඔවුන් තහවුරු කර සිටියා.

අප මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පාර්ශව කිහිපයක් ම සම්බන්ධ කරගනු ලැබුවා.

සංගීත ප්‍රසංගයේ සංවිධායක

අප මුලින්ම Waters Edge හි පැවති එම සංගීත ප්‍රසංගය සංවිධානය කළ සංවිධායකවරයෙක් දුරකථන මාර්ගයෙන් සම්බන්ධකරගනු ලැබුවා. ප්‍රසංගයේ සංවිධායක චමින්ද ද සිල්වා මහතා සඳහන් කළේ, එම ප්‍රසංගයට පැමිණි පිරිස් අතරින් ඉහත සිදුවීමට සම්බන්ධ ස්වාමිපුරුෂයා සහ දියණිය සමග පැමිණි කාන්තාවක් බීමත්ව සිටි අතර ප්‍රසංගය අතරතුරදී අසභ්‍ය වචන භාවිත කරමින් හැසිරුණු අතර ප්‍රසංගයට පැමිණි තවත් පාර්ශවයක් සමග බහින් බස් වීමක් ඇති කර ගැනීම හේතුවෙන් හෝටල් ආරක්ෂක නිලධාරීන් විසින් ඉල්ලීමක් කර තිබුණේ අනෙක් පිරිසට බාධා නොවන අන්දමින් ඔවුන්ට ඉන් ඉවත් වන ලෙසටයි. 

කිසිදු අවස්ථාවක කිසිදු අයෙකුට පහර දීමක් හෝටල් ආරක්ෂක අංශය හෝ වෙනත් පාර්ශවයක් විසින් සිදු නොවුනු බව ඔහු සඳහන් කරනු ලැබුවා. එමෙන්ම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද, එම ප්‍රසංගයට සහභාගී වී තිබූ අතර ප්‍රසංගය අවසන් වන තෙක්ම සිටි අතර කිසිදු අවස්ථාවක අමාත්‍යවරයා හෝ ඇමති ආරක්ෂක නිලධාරීන් හෝ මේ සඳහා මැදිහත් නොවූ බවත් සඳහන් කළා.

Waters Edge - හෝටල් ආරක්ෂක අංශ ප්‍රධානි

හෝටල් ආරක්ෂක අංශ ප්‍රධානි චූලා ද සිල්වා මහතාගෙන්ද, අප මේ පිළිබඳ විමසීමක් සිදු කළා. ඒ මහතා සඳහන් කළේ, ඇනස්ලි මාලේවනගේ සංගීත ප්‍රසංගය Waters Edge හි ග්රෑන්ඩ් බෝල්රූම් ශාලාවේ පැවති බවත් ඒ සඳහා 500කට අධික පිරිසක් ඒ සඳහා සහභාගී වූ බවයි.

ප්‍රසංගයට සහභාගී දෙපිරිසක් දෙකක් අතර බහින් බස් වීමක් ඇති වී තිබූ අතර ඔවුන් සියලු දෙනාම පාහේ බීමත්ව ද සිටි බවත් ඒ මහතා පවසනවා. එම පිරිස අතර සිටි එක් කාන්තාවක් අසැබි වචන භාවිත කරමින් අනෙක් පිරිසට බාධා වන අයුරින් හැසිරුණු බැවින් ඔවුන් ඉවත් කිරීමට තම ආරක්ෂක කණ්ඩායම පියවර ගත් බවත් එහිදී එම කාන්තාවත්, සැමියත් ඇගේ දියණියත් එම ශාලාවෙන් පිටවූ බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

වයින් වීදුරුවක් එම කාන්තාව අතින් බිඳීමෙන් ඇති වූ තුවාලයක් හේතුවෙන් මෙලෙස ආරක්ෂක නිලධාරීන් විසින් මේසයේ මත අංකනය සිදු කරන යකඩ කුට්ටියකින් පහර දීම නිසා එම කාන්තාවට දැඩි හානි සිදු වී ඇති බවට අසත්‍ය තොරතුරු පතුරුවා ඇති බවත් ඔහු පැවසුවා. කිසිදු අවස්ථාවක හෝටලය තුළ එවැනි පහර දීම් හෝටල් ආරක්ෂක අංශ විසින් සිදු නොකරන බවත්, වෙනත් පාර්ශව විසින් එවැන්නක් සිදු කිරීමට ද අවස්ථාවක් නොදෙන බවත්, එවැන්නක් සිදුවුණි නම් මේ වන විට පොලීසිය මගින් හෝ මේ පිළබඳව විමර්ශනය අරඹා තිබිය යුතු බවත්, නැත්නම් අදාළ පාර්ශවය විසින් මේ වන විටත් පොලීසිය වෙත පැමිණිලි කර තිබිය යුතු බවත් ඔහු තවදුරටත් පැහැදිලි කරනු ලැබුවා.

කෙසේවෙතත් අමාත්‍යවරයා ප්‍රසංගය පටන් ගැනීමට පෙර සිටම මෙම ප්‍රසංගය පැවැත්වූ ශාලාවට පැමිණි බවත්, ප්‍රසංගය අවසන් වූ පසුව පිටව ගිය බවත්, අමාත්‍යවරයා හා මෙම සිදුවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් Waters Edge හෝටල් ආරක්ෂක අංශ ප්‍රධානි චූලා ද සිල්වා පැවසුවා.

කෙසේ වෙතත් මේ තොරතුරු වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා එම ප්‍රසංගය අතර තුරදී වූ මෙම බහින් බස්වීමෙන් පසු හෝටල් ආරක්ෂක නිලධාරීන් එම ආරවුල ඇති කර ගත් පිරිස ඉවත් කිරීමෙන් පසු, ඔවුන් හෝටලයෙන් ඉවත් වන අයුරු දැක්වෙන අවස්ථා කිහිපයක CCTV දර්ශන ද පරීක්ෂා කිරීමේ දී ද අපට තහවුරු වූයේ එම පිරිස බලහත්කාරයෙන් හෝටල් ආරක්ෂක නිලධාරීන් විසින් ඉවත් කිරීමට තැත් නොකරන බවත් කිසිදු පහර දීමක් එහිදී සිදු නොවුණු බවයි.

*සැ.යු: මෙම CCTV දර්ශන හෝටල් වර්තාගන සිද්ධිය තහවුරු කරගැනීම සඳහා පමණක් අප හෝටල් ආරක්ෂක අංශ සමඟ පරීක්ෂා කළ අතර සිදුවීමට අදාළ පාර්ශවන්ගේ පුද්ගලිකත්ව ආරක්ෂා වන පරිදි මෙහි පෙන්වා නොසිටීමට කටයුතු කළෙමු.

ප්‍රසන්න රණතුංග මාධ්‍ය අංශය

ඇනස්ලි මාලේවෙන සංවිධානය කල සංගීත ප්‍රසංගය සඳහා අමාත්‍යවරයා සහභාගී වූවත් ඇමති පොලිස් ආරක්ෂකයින් එම අවස්ථාවට නොපැමිණි බවත්, කිසිදු අවස්ථාවක අමාත්‍යවරයා සමග කිසිදු පාර්ශවයක් ආරවුලක් ඇති නොකර ගත් බවත් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා අපට පවසා සිටියා.

බීමත්ව සිටි කාන්තාවක් අමාත්‍යවරයාට බැන වැදී ඇති බවත්, නමුත් ඒ සඳහා වෙනත් කිසිදු පාර්ශව හවුල් නොවූ බවත්, අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර නොදක්වා ඇති බවත් සඳහන් කර සිටියා. බීමත්ව සිටි එම කාන්තාව පසුව වෙනත් පිරිසක් සමග ඇති කර ගත් බහින් බස් වීමක් හේතුවෙන් හෝටල් ආරක්ෂක අංශය විසින් එම දෙපාර්ශවය ඉවත් කිරීමට පියවර ගත් බවට ඉහත ලිපිය පළ වූ පසු කළ සෝදිසි කිරීමේදී දැන ගන්නට ලැබුණු බවත්, කිසිදු අවස්ථාවක අමාත්‍යවරයා හෝ ඇමති ආරක්ෂක අංශයේ සාමාජිකයන් හා ඉහත සඳහන් කළ කාන්තාව අතර ගැටුමක් හෝ බහින් බස් වීමක් ඇති නොවුණු බවට ඔවුන් සඳහන් කළා.

එසේම මාධ්‍ය ලේකම්වරයා තවදුරටත් පවසා සිටියේ ඉහත දැක්වෙන ආකාරයේ කිසිදු හෝ පහරදීමක් සිදුවුණි නම් මේ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබිය යුතුව තිබෙන අතර මේ දක්වා ඒ ආකාරයේ කිසිදුහෝ පැමිණිල්ල සිදුව ඇතැයි පොලීසිය විසින් ඇමති ආරක්ෂක අංශ වෙත දන්වා නැති බවයි.

Also Read : FACT CHECK: සජිත්ටත් හූ ප්‍රහාරයක් ?

ඇමැති ප්‍රසන්න රණතුංගට තලවතුගොඩ හෝටලයකදී ජනතාවගෙන් හූ ප්‍රහාරයක්?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන Waters Edge හෝටලයේ පැවැත් වූ ගායන ශිල්පී ඇනස්ලි මාලේවනගේ සංගීත ප්‍රසංගයට සහභාගි වූ පිරිස අතර සිටි බීමත් කාන්තාවක් ඇතුළු පිරිසක් තවත් පාර්ශවයක් සමඟ ඇති කර ගත් ගැටුමක් හේතුවෙන් අනෙක් පිරිසට බාධාවන අයුරින් හැසිරුණු එම පිරිස් ඉවත් කිරීමට හෝටල් ආරක්ෂක අංශය පියවර ගත් අවස්ථාව පදනම් කොට ගෙන, එම කාන්තාවට සහ ඇගේ සැමියාට ඇමති ආරක්ෂකයන් විසින් පහර දී ඔවුන් ඉවත් කළ බවට නිර්මාණය කළ සටහනක් ලෙස දැක්විය හැක.

Avatar

Title:Waters Edge හෝටලයේදී ප්‍රසන්න රණතුංගට විරෝධය පෑ කතකට ඇමැති ආරක්ෂකයින්ගේ ප්‍රහාරයක් එල්ල වුණාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading